රාජ්‍ය සේවකයාගේ වගකීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජනයාට සේවය කිරීමයි. මහජන බදු මුදලින් වැටුප් ලබන යම් රාජ්‍ය සේවකයකු සිය වගකීම් පැහැර හරින්නේ නම් එය ජනරජයට ද්‍රෝහිවීමකි. ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ විගසම සිය පළමු රාජකාරිය කර ගත්තේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමයි. ඒ අනුව ජනපති රාජ්‍ය ආයතන කිහිපයක හදිසි සංචාරවල නිරත විය. ඒ අතරින් 2019 වසරේ දෙසැම්බර් 26 වැනිදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයට ජනපතිගේ පැමිණීම ඉහළ අවධානයක් දිනාගන්නට සමත් විය.
එහිදී ජනතාව විඳින අපහසුතා දුටු ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ප්‍රසිද්ධියේමය. ඒ සමඟම ජනපතිගේ මෙම හදිසි සංචාරය කාගේත් ප්‍රශංසාවට ලක් විය. අපගේ නිරීක්ෂණය පරිදි පසුගිය සතිය වන විට ජනපතිගේ වේරහැර ගමනට මාස හයක් සම්පූර්ණ වී තිබිණි. එම නිසාම ජනපතිගේ ගමන පිළිබඳ පසුවදනක් ලිවීමට අපි උත්සුක වූයෙමු. ඒ වෙනුවෙන් අපි වේරහැර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමු.
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොටසක් මෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කොටසක් ද පිහිටා තිබේ. මේ දිනවල කෝවිඩ් හේතුවෙන් ඔවුන් අනුගමනය කරමින් සිටින්නේ විශේෂිත ක්‍රමවේදයකි. එම ක්‍රමවේදය අපි නිරීක්ෂණය කළෙමු. පොදුවේ එය පෙර පැවති ක්‍රමවේදයට වඩා සාධනීය බව කිව යුතුය. එහෙත් ඇතැම් තැන්හි ගැටලු නැත්තේ ද නොවේ. පසුගියදාක වේරහැර ප්‍රධාන පිවිසුම අද්දර තිබූ විශාල පෝලිමක් මාධ්‍යයේ අවධානයට ද ලක් වූයේ ඒ අනුවය. අපට ද ස්ථාන කිහිපයක තරමක් කුඩා පෝලිම් දක්නට ලැබුණි. කෙසේවෙතත් ආයතන පරිශ්‍රයට පිරිස ඇතුළත් කර ගැනීමේ දී කල් ඇතිව සකස් කළ ලැයිස්තුවක ඔවුන්ගේ නම් තිබේදැයි ආරක්ෂක නිලධාරීහු පරීක්ෂා කරමින් සිටියහ.
ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට වේරහැර පරිශ්‍රයේ වර්තමාන කොමසාරිස් ලෙස කටයුතු කරන වසන්ත ගුණරත්න මහතා සමඟ අපි පළමුව සම්මුඛ වීමු.
දැන් සාධනීය කාරණා කිහිපයක් මෙහි ඉටුවෙලා තියෙනවා. එයින් ප්‍රධානම දෙයක් තමා නව පෝලිම් ක්‍රමයක් සැකසීම. ඉස්සර මෙහි එන ජනතාවට සිතුණා මම මුලින් ආවට මාව ගන්නේ නැද්ද? වෙන අය ඇතුළෙන් යනවාද? වගේ දේවල්. දැන් එහෙම නෑ. තමන් ගත්ත අංකය තිරයේ දර්ශනය වෙනවා. එය පෙන්නද්දී ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ නිසා දැන් මෙතන කාලගෝට්ටියක් නෑ. නමුත් ඇත්තටම මීට අදාළ ඉතිරි වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යන විට තමා කොරෝනා තත්ත්වයට අපි මුහුණ දුන්නේ.
ජනාධිපතිවරයා මෙම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකා නිරතවන විට සේවයේ යෙදී සිටි කොමසාරිස්වරිය පසුව මෙම කිව් සිස්ටම් හෙවත් පෝලිම් ක්‍රමය හඳුන්වා දී තිබේ. වර්තමාන කොමසාරිස්වරයා පෙන්වා දෙන ආකාරයට ජනාධිපතිවරයාගේ ගමනින් පසු යම් පමණකට කාර්ය මණ්ඩල හිඟය ද මගහරවා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. ඒ අනුව රියැදුරැ බලපත්‍ර බලාත්මක කිරීමේ අංශයේ තිබූ තදබදය මගහරවා ගැනීමට ඔවුහු සමත්ව සිටිති.
තව අඳුරගත්ත වෙනස්කම් කිහිපයක් කිරීමට සූදානමින් ඉන්න අතර තමා අනපේක්ෂිත කොරෝනා වසංගතය ආවේ. ඒ කාලේ එක්දහස් එකසීයකට වගේ දෛනික සේවාවක් දුන්නා. කොරෝනත් එක්ක අපි සීයකින් පටන් ගත්තා. ටික ටික වැඩි කළා. එක දවසින් ලබාදෙන සේවාව පටන් ගත්තා. මේ සතියේ අපි සාමාන්‍ය සේවාව පන්සීයක්, එක්දින සේවාව තුන්සීයක් දක්වා ඉහළ ගෙනාවා. ඊට අමතරව ට්‍රයල් පෙන්නලා එන අය පිරිසකුත් සේවාව ලබාගන්නවා. එහෙම බැලුවම මේ කොරෝනා තත්ත්වය තුළ අටසිය පනහක් පමණ පිරිසකට අපි සේවාව ලබා දෙනවා. මේ සියල්ල සිදුවෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කාර්ය මණ්ඩලය සීයට සීයක් කැඳවන්නේ නැතුව
ජනපතිවරයාගේ වේරහැර ගමනේදී අවධාරණය වූ ප්‍රධානම කරුණ නම් ප්‍රමාදයකින් තොරව මෙහි කටයුතු සිදුවිය යුතු බවයි. මේ වන විට යම් පමණකට හෝ ප්‍රමාදය මගහරවා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ කොමසාරිස්වරයා සමත්ව සිටියි. ඔහු පෙන්වා දෙන පරිදි කෝවිඩ් අභියෝගය හමුවේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පිරිස කල් ඇතිව දුරකතන මාර්ග ඔස්සේ වෙන්කර ගැනීම් සිදුකර ගත යුතුය. එහිදී ඔවුනට මෙහි පැමිණිය යුතු දිනය වේලාව ලබාදීමට ආයතනය කටයුතු කරයි. ඒ අනුව තාවකාලිකව සේවකයන් කිහිප දෙනකු යොදවා දුරකතන ඇමැතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඔවුහු පියවර ගෙන සිටිති. ප්‍රධාන පිවිසුම අසල වූ ආරක්ෂක නිලධාරීන් පරීක්ෂා කර බලන්නේ එසේ දුරකථන මාර්ග ඔස්සේ වෙන් කිරීම් සිදුකරගත් පිරිසගේ ලැයිස්තුවයි. නමුත් පෙර නම් ලබා නොදුන් අය ද මෙහි පැමිණෙති. එවිට ඔවුනට වෙනත් දිනයක් වේලාවක් ලබාදීම නිලධාරීන්ගේ රාජකාරියයි. කෙසේ වෙතත් තවමත් මෙම පිවිසුමේ ඉඳහිට ගැටලු ද මතුවෙයි.
මෙම ගමනේ දී අපට සම්මුඛ වූ මහජනතාව අතරින් වර්තමාන සේවා ගැන සාපේක්ෂව යහපත් අදහස් මතුවිය. නමුත් ප්‍රායෝගික පරීක්ෂණ ආදියේදී තවමත් අකටයුතුකම් සිදුවන බවට ඇතැම්හු චෝදනා නැගූහ. අප කළ සොයා බැලීම් අනුව එම චෝදනාවල යම් සත්‍යතාවයක් ද පවතී. කෙසේවෙතත් නව කොමසාරිස්වරයා අප සමඟ පවසා සිටියේ කෙටි පණිවිඩ භාවිතයෙන් මහජන සේවය කාර්යක්ෂම කිරීමට තවදුරටත් සැලසුම් සකස් කර ඇති බවයි.
අපි වේරහැරට යාමට පෙර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, සුමිත් අලහකෝන් මහතා ඇමතීමු. ඔහු අප සමඟ පවසා සිටියේ සිය දෙපාර්තමේන්තුව අදාළ විධිමත් කිරීම් සිදුකර ඇති බවයි. මේ දිනවල කොරෝනා අර්බුදය නිසා යම් යම් ගැටලු සහිත වුවද කටයුතු නිසි පරිදි සිදුවන බව ඔහු පැහැදිලි කළේය. වේරහැර ගමනේදී ඕනෑම රෝහලකින් වෛද්‍ය සහතික ලබා ගැනීමට ඉඩකඩ ලබා දෙන ලෙසට ජනපති ලබා දුන් උපදෙස් තවම ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද අපි විමසා සිටියෙමු. කොමසාරිස්වරයා පැවසුවේ සෞඛ්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් විමසිය යුත්තේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් බවයි. එම ආයතනය ස්වාධීන ආයතනයක් බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
පසුව අපි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා ඇමතුවෙමු. ඔහුගේ ඉල්ලීම පරිදි නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාව ද නිරත වීමු. එහිදී අපට පැහැදිලි වූයේ කිසිසේත් රෝහලක් ඔස්සේ කාර්යක්ෂමව සාධනීය ලෙස ඉටුකරගත නොහැකි සේවයක් මෙම ආයතනය විසින් සපයන බවයි. ඔවුහු පසුගිය කොරෝනා සමය තුළ පවා අයැදුම්කරැවන් හැත්තෑ දහසකට ආසන්න ප්‍රමාණයක පරීක්ෂණ කර ඇති බවට සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළහ. නමුත් මෙම කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියැදුරැ බලපත්‍ර නිකුත් කිරීම සීමා කර තිබුණි. කෙසේවෙතත් දිස්ත්‍රික් මට්ටමින් මෙම ආයතනය සතු ශාඛාවල අධික තදබදයක් දකින්නට ලැබෙන බව අප හට නිරීක්ෂණය විය.
අපේ ආයතනය පිහිටුවලා තියෙන්නේ පාර්ලිමේන්තු පනතකින්. මේ ආයතනයේ පරමාර්ථය තමයි සෑම සුක්කානමක් පිටුපසම කායිකව මානසිකව නිරෝගී පුද්ගලකු සිටීම. දැනට රටේ අනතුරැවලට ප්‍රධානම හේතු දෙක මත්පැන් පානය සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමයි. අපි මෙතැන විධිමත්ව සෞඛ්‍ය ගැන බලලා සෞඛ්‍ය සම්පන්න පිරිසක් පාරට දාන නිසා සෞඛ්‍ය දුර්වලතා මත මෙරට අනතුරු සිදුවෙන්නේ නෑ. ඉස්සර මෙම සහතික කිරීම රජයේ ඕනෑම වෛද්‍යවරයකුට කරන්න පුළුවන් වුණා. ඒ නිසා නොයෙකුත් අක්‍රමිකතා සිදු වුණා. ඒ නිසා තමා මේ වගේ ආයතනයක් ස්ථාපිත කරලා විධිමත්ව මේ කටයුත්ත සිදු කරලා තොරතුරැ ජාලගත කරලා තියෙන්නේ. රජයේ රෝහලක් තුළ මේක කිරීම පහසු නෑ. අදාළ පුද්ගලයා වෙනුවට වෙනත් අයෙක් පෙනී සිටීම, රෝහල් මාරැ කරමින් කූට ලෙස වෛද්‍ය සහතික ලබාගැනීම සිදුවෙන්න පුළුවන්.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ දිස්ත්‍රික් මට්ටමින් ඇති තදබදය අඩුකිරීමට කටයුතු කරමින් සිටින බවයි.
අපේ ඍජු නිරීක්ෂණය අනුව නුගේගොඩ පරිශ්‍රයේ කටයුතු අතිශය විධිමත්ය. මෙම ආයතනයේ කටයුතු රෝහල්වලට පැවරීම දුරබැහැර ප්‍රදේශවල ජනතාවට පහසුවක් නමුත් සේවයේ ගුණාත්මක බව සහ විධිමත්භාවය ඒ හරහා සැලකිය යුතු ලෙස අඩුවිය හැකිය.
මෙම නිරීක්ෂණ චාරිකාව අවසානයේ අපි ප්‍රවාහන අමාත්‍යංශය ද ඇමතුවෙමු. ඒ වෛද්‍ය සහතික පිළිබඳ ගැටලුව සහ වේරහැර පරිශ්‍රයේ ගැටලු පිළිබඳ අමාත්‍යාංශ පාර්ශ්වයන්ගෙන් පැහැදිලි කිරීමක් ලබාගැනීමේ අරමුණිනි.
එහිදී සම්බන්ධ වූ අතිරේක ලේකම්වරයකු හරහා මේ සම්බන්ධ යම් කරුණු පැහැදිලි කිරීමක් ලබාගැනීමට අපි සමත් වීමු. ඔහුට අනුව රියැදුරැ බලපත්‍ර සඳහා සෞඛ්‍ය පරීක්ෂණය ඕනෑම රෝහලකින් ලබාගැනීමට අවකාශ උදාකිරීමේ අරමුණින් කැබිනට් ප්‍රතිකාවක් යොමු කර තිබේ. මේ වන විටත් ඊට අනුමැතිය ද ලැබී අවසන්ය. නමුත් කෝවිඩ් ආගමනයත් සමඟ මෙම කටයුත්ත සඳහා රෝහල් සූදානම් කිරීමේ ප්‍රමාදයක් සිදුව තිබේ. ප්‍රතිපත්තිමය එකඟතා ඇතත් අදාළ තීන්දුව තවමත් ක්‍රියාත්මක නොවන්නේ එබැවිනි. කෙසේවෙතත් මෙම සංවාදයේ දී තවත් වැදගත් කරැණක් මතුවිය. එනම් රියැදුරැ බලපත්‍ර එක්දින සේවාව ලබාගැනීම සම්බන්ධව මහජනයා තුළ වන දැඩි පෙළඹවීම සහ ආයතනික ශක්‍යතාවයි. අපගේ නිරීක්ෂණය පරිදි ද යම් ගැටලුවක් ඒ තුළ වෙයි. එම නිසාම පුළුල් විමර්ශනයක් හරහා එක්දින සේවයට අත්‍යවශ්‍ය පිරිස හඳුනාගැනීම, ආයතනික ශක්‍යතාව අධ්‍යයනය වැදගත් වේ.
ජනපතිවරයාගේ වේරහැර ගමනට මාස හයක් ගතවූ තැන අප කළ මෙම පසුවිපරමේ අවසානය මෙසේ සටහන් කළ යුතුය. වේරහැර පරිශ්‍රයේ යම් සාධනීය වෙනසක් වී ඇති බව සැබෑය. එහෙත් එය තවදුරටත් කටයුතු සාර්ථක කර ගැනීමට නම් නව තාක්ෂණය සහ නව ශ්‍රමය එම ආයතන තුළට අත්‍යවශ්‍යය. එසේම සාම්ප්‍රදායික අක්‍රමිකතා වලින් මිදීමට ඇතැම් අංශවලට ඒකාධිකාරය බිඳ දැමීම වටිනා බව පෙනේ. මහජන දැනුවත් කිරීම් ද සැලකිය යුතු ලෙස ඉහළ යා යුතුය. නොඑසේ නම් ජනපති බලාපොරොත්තු වූ ආකාරයේ කඩිනම් විනිවිධ සේවාවක් මෙහි ස්ථාපිත කිරීම පහසු නොවේ.
කෙසේවෙතත් ඔවුන් මේ වන විට ලබාගෙන ඇති ප්‍රවේශය සාධනීයය. ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා රෝහල්වලට පැවරීම පිළිබඳ ද මේ සමඟ නැවත සිතා බැලීමද වටී. මන්ද රෝහල්වලට දැනටමත් පමණ ඉක්මවූ රාජකාරි තිබේ. එසේම විධිමත් බවත් ගැටලුසහගතය. කෙසේ නමුත් මෙම තීරණය පූර්ණ සංවාදයකින් පසු ගත යුත්තක් බව අපගේ අදහසයි. සංවාදයක් තුළින් නියත වශයෙන්ම නව අදහස් දළුලනු ඇත. එකමුතුව මෙන්ම සහයෝගීතාව ද වර්ධනය වනු ඇත. එවිට මෙම රාජ්‍ය සේවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන සේවයක් වනු නොඅනුමානය.
චමිඳු නිසල් ද සිල්වා
ඡායාරූප : සුමුදු හේවාපතිරණ