2020 ජුලි 11 වන සෙනසුරාදා

රටටම ඇසුණු කුසල් මෙන්ඩිස්ගේ අනතුර

 2020 ජුලි 11 වන සෙනසුරාදා, ප.ව. 06:00 66

හොරේතුඩුව මුස්ලිම් දේවස්ථානය ළඟ පාර අයිනෙ කවුදෝ කෙනෙක් ෆුට් බයිසිකලයක් එක්ක බිම වැටිලා ඉන්නවා. සමහර විට කවුරුහරි හප්පලා ගිහින් වගේ පේන්නෙ...

හොරේතුඩුව ප්‍රදේශය පසුකර යමින් සිටි පුද්ගලයකු තමා දුටු සිදුවීම පානදුර උතුර පොලිස් ස්ථානයේ ගේට්ටුව අසල රාජකාරියේ නිරතව සිටි නිලධාරියකු හමුවේ පවසා පිටව ගොස් තිබිණ. ඒ පසුගිය ඉරිදා අලුයම 5.10ට පමණය. අනතුර හෝ සිදුවීම කෙසේවෙතත් මිනිස් ජීවිතයක වටිනාකම දන්නා පොලිස් නිලධාරීහු වහාම ක්‍රියාත්මක වී පොලිස් ස්ථානය තුළ වූ සුවසැරිය ගිලන් රථය අදාළ ස්ථානය වෙත පිටත් කර යවන්නට පියවර ගත්හ.

මිනිත්තු 20 – 25 අතර කාලයක දී හොරේතුඩුව මුස්ලිම් දේවස්ථානය අසලට ළඟා වූ පිරිසට දැකගැනීමට හැකිව තිබුණේ දැඩි සේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන ජීවිතයත් මරණයත් අතර පසුවූ අයකු පාර අයිනේ වැටී සිටින බවකි. එසැණින් රෝගියා රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර මොහුව යම් රථයකින් හප්පා පලා යන්නට ඇතැයි යන සැකය මත පානදුර උතුර පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් අල්විස් මහතා ඇතුළු පිරිස සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සූදානමින් පසුවූහ.


තුවාලකරු වැටී සිටි ස්ථානයේ තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වූ දර්ශනය අනුව කොළඹ දෙස සිට මොරටුව පරණ පාරේ පානදුර දෙසට වේගයෙන් ධාවනය වන සුඛෝපභෝගී මෝටර් රථයකි. හදිසියේම රථය නියමිත ධාවන තීරැවෙන් පැන විරුද්ධ මංතීරුව ඔස්සේ මීටර් කිහිපයක් ධාවනය වන්නේ මාර්ගයේ හරස් අතටය. ඒ වන විටත් එම මංතීරුවේ වම් කෙළවරෙන් පාපැදියක් පැදගෙන එන පුද්ගලයකු රථයේ ගැටෙන්නේ නොසිතූ ලෙසය. එසැණින් මොහොතකට නැවතුණු මෝටර් රථය යළිත් පණගන්වා නොනවත්වාම ධාවනය වේ.

රථය හඳුනා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී සිදුවීමෙන් පැය එකහමාරකට පමණ පසුව පානදුර උතුර පොලිස් ස්ථානයට පැමිණ බාරවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ය. තමා පැදවූ සුඛෝපභෝගී රථය හොරේතුඩුව 13 කණුව ප්‍රදේශයේ දී අනතුරකට ලක්වූ බවත් රථය තාප්පයක ගැටුණු බැවින් යළිත් එතැනින් පිටව ගිය බවද කියා තිබිණ. එහෙත් පොලීසිය කළ ප්‍රශ්න කිරීමේදී පාපැදිකරැවකු රථයේ ගැටුණු බව නොදන්නා බවද කියා තිබිණ. අනතුරුව සැකකාර කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගනු ලැබුවේ මාර්ග අනතුරක් සිදුකර මරණයක් සිදු කිරීම, අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය යන චෝදනා රාශියක් යටතේය. පොලීසිය විසින් සැකකරු සොයා අත්අඩංගුවට ගැනීමට මත්තෙන් සැකකරු පොලීසියට පැමිණ බාරවීම හේතුවෙන් රිය අනතුරක් සිදුකර පලා යාම යන චෝදනාවෙන් සැකකරැ මිදී ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

අනතුර සිදුවන්නට පෙර දිනයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවය කරන හිතවතකුගේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් පැවති උත්සවයකි. ඒ සඳහා ආරාධනා ලැබූ කුසල් මෙන්ඩිස් සාදයට සහභාගි වීමෙන් අනතුරුව තලංගම ප්‍රදේශයෙන් පිටව තිබුණේ පසුදා අලුයමය. එසේ යන විට ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස් සමඟ එම මෝටර් රථයෙන් ගමන් කර ඇතැයි කියති. පොලීසිය හමුවේ ඔහු ප්‍රකාශ කර තිබුණේ ඒ අවස්ථාවේ තමා නින්දේ පසුවූ බවත් සිදුවූ කිසිවක් නොදන්නා බවත්ය.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ පානදුර උතුර ගොරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 64 හැවිරිදි වියේ පසුවූ හෙතෙම නෙවිල් පීරිස් නැමැත්තෙකි. ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි. පානදුර - කොටුව බස් රථයක සේවය කළ ඒ මහතා සෑම දිනකම උදෑසන මොරටුව බස් නැවතුමෙන් රාජකාරි අරඹා තිබිණ.

ඒ අනුව ගොරකාපොළ නිවෙසින් සුපුරුදු ලෙස පිටත් වූ නෙවිල් පීරිස් මහතා සිය පාපැදියෙන් මොරටුව බස් නැවතුම බලා ගොස් තිබේ. හොරේතුඩුව මුස්ලිම් දේවස්ථානය පසුකරමින් මාර්ගය අයිනේ පාපැදියක නැගී ගිය නෙවිල් පීරිස් හමුවට වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් කඩා වැදී තිබුණේ ඔහුට බේරෙන්නට ඉඩක් නොතබාමය. අනතුර සිදුකළ රථය මොහොතකට නතරකොට යළි පණගන්වාගෙන ගිය බවක් හෝ නෙවිල් පීරිස්ට නොදැනෙන්නට ඇත. එහෙත් අනතුර සිදුකළ පසු කුසල් මෙන්ඩිස් එක එල්ලේම ගොස් තිබුණේ ගොරකාන ප්‍රදේශයේම පිහිටි ඔහුගේ නිවෙස වෙතය. එය අනාවරණය වී තිබුණේ සැකකරු පොලීසියට බාරවීමෙන් අනතුරුවය.
පොලීසිය පවසන්නේ අනතුර හේතුවෙන් නෙවිල් පීරිස් එම ස්ථානයේදීම මියගොස් සිටි බවය. මොළය කුඩුවී යාම, සුෂුම්නාව ස්ථාන දෙකකින් බිඳීයාම, ඉලඇට කැඩීම සහ අතපය ස්ථාන කිහිපයකින් බිඳීයාම ඇතුළු බරපතළ තුවාල සහිතව ඔහු මියගොස් සිටි බවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

නොසැලකිලිමත් ලෙස රිය පදවා සිදුකළ අනතුරට පසුව සැකකාර රියැදුරු වන කුසල් මෙන්ඩිස් බීමත්ව සිටියේ ද යන්න තහවුරැ කිරීම සඳහා ඔහුගෙන් ලේ සාම්පලයක් ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කර තිබිණ. එහි ප්‍රතිඵලය තවම නොලැබුණු නමුත් ඊට පෙර පානදුර රජයේ රෝහලේ දී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු බීමත්ව නොසිටි බවකි. අනතුර සිදුකළ කුසල් මෙන්ඩිස් මහතා 6 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
එහිදී ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවා ලක්ෂ දහයක ශරීරඇප මත මුදාහැරීමට නියෝග කෙරිණ. මරණකරුගේ පවුලේ සාමාජිකයන් වෙත අවමංගල්‍ය වැඩ කටයුතු සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදීමටත් ඉදිරියේදී අධිකරණ නියෝග මත වන්දි මුදලක් ගෙවීමටත් කුසල් මෙන්ඩිස් එකඟ වූ බව පැවසේ.

මේ අතර මියගිය පුද්ගලයා හා ඔහුගේ පවුල අසරණ බැවින් ඔවුන් වෙත නිවෙසක් ඉදිකිරීමට කටයුතු කිරීමට තමා බලාපොරොත්තුවෙන් පසුවන බවද කුසල් මෙන්ඩිස් පවසා තිබේ.
පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. වනිගතුංග මහතාගේ උපදෙස් මත රථවාහන අංශ ස්ථානාධිපති සමන් අල්විස් ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර