2020 ජුලි 11 වන සෙනසුරාදා

කොරෝනාවෙන් කණකොකා හඬන අරාබියේ රස්සා

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්වීම හේතුවෙන් ලොව බොහෝ රටවල ශ්‍රමිකයන්ගේ රැකියාවලටද බලපෑම් එල්ල වී තිබේ. මේ වන විට බොහෝ ශ්‍රමිකයන් රැකියා විරහිතයන් බවට පත්ව සිටින අතර ඉදිරියේදී තවත් විශාල පිරිසකට එම තත්ත්වයට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ලෝක කම්කරු සංවිධානය අනතුරු අඟවා ඇත. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රමිකයන් බිලියන 2.7ක් හෙවත් ගෝලීය ශ්‍රමික ප්‍රජාවෙන් පහෙන් හතරක් පීඩාවට පත්ව සිටිති. ලෝක කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් සඳහන් කරන පරිදි 2020 ජනවාරිය වන විට ලොව පුරා සිටි රැකියා විරහිතයන් සංඛ්‍යාව මිලියන 190ක් වූ අතර ඉදිරි කාලයේ තවත් රැකියා මිලියන 25ක් පමණ අහිමි වීමට නියමිත බවට ඔහු අනුමාන කරයි.
විදෙස් වාර්තාවලට අනුව යුරෝපා සංගමයට අයත් රටවල ශ්‍රමිකයන් 397,000කගේ රැකියා මේ වන විට අහිමි වී තිබේ. වැඩිම රැකියා ප්‍රමාණයක් අහිමිව ඇත්තේ ගුවන් සමාගම්වල සේවය කළ පිරිසටය.

මේ අතර මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඇතැම් පිරිසකට රැකියා අහිමිවීමේ තර්ජනයක් මතුව තිබේ. මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 8ත් 10ත් අතර පිරිසක් සේවය කරති. ඒ අතුරින් වැඩි ශ්‍රමිකයන් පිරිසක් සේවය කරනුයේ සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේටයේය.. ඔවුන් අතර ඉංජිනේරු, ගණකාධිකාරී, වාස්තු විද්‍යාඥ, වෛද්‍ය, ගුරු, නීතිඥ, බැංකුකරණ, හෝටල් සහ ආපනශාලා සේවක, පිළිගැනීමේ නිලධාරී, හෙද සේවක, අනුපූරක වෛද්‍ය සේවක, පරිගණක ක්‍රියාකරු සහ මෘදුකාංග නිර්මාණ ශිල්පී, මැෂින් ක්‍රියාකරවන්නන්, කර්මාන්තශාලා සේවකයන්, වෑල්ඩින් සහ මෝටර් රථ කාර්මික ශිල්පීන්, බරවාහන රියැදුරන්, වරාය සේවකයන්, දුරකථන සන්නිවේදන කාර්මිකයන්, නැවියන්, කම්කරුවන් සහ ගෘහ සේවකයන් වැනි ක්ෂේත්‍ර රැසක ශ්‍රී ලංකික ශ්‍රමිකයන් පිරිසක් සිටිති.

විදේශගත ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට හිමිවන විදේශ විනිමයෙන් 80ක් පමණ උපයා දෙන්නේ මෙම මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ය. පසුගිය කාලයේ ඇතැම් ආයතන වැසී යාම නිසා රැකියා අහිමිවීම හා ඇතැම් සේවකයන්ට වැටුප් හා අතිකාල සේවා අහිමි වූ බවටද වාර්තා විය. මේ අතර අප්‍රේල්, මැයි හා ජූනි යන මාසවල විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂාවෙන් සිටි තවත් විශාල පිරිසකටරැකියාවට යෑමට නොහැකි වීම මත රැකියා අහිමිවන තත්ත්වයක් උදා විය. එවැනි ගැටලුවලට මුහුණ දුන් ශ්‍රමිකයන්ගේ පැමිණිලි බාරගැනීමේ සේවයක් විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් ආරම්භ කර තිබූ අතර එයට ලැබී ඇති පැමිණිලිවලට අනුව දැනට පවතින විදේශ රුකියාවලින් 20කට ආසන්න සංඛ්‍යාවක් අහිමි විය හැකි බැව් පැවසේ. විශේෂයෙන්ම මෙම ගැටලුවට මුහුණ පා ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි ශ්‍රමිකයන් බවද පැවසේ. ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් එවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව නොමැත.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය කාලයේ එවැනි තර්ජනයක් මතු වී තිබුණද මේ වන විට එම තත්ත්වය ක්‍රමයෙන් සමනය වෙමින් ඇතැයි ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රැකියා සඳහා යාමට සිටි  පිරිසට රැකියාවට යාමට නොහැකි වුණා. එමෙන්ම විදේශවල සිටින අයගේ රැකියා ගිවිසුම් කාලය අවසන් වීම මත ඔවුන්ගේ රැකියා අහිමි වුණා. ගුවන් තොටුපළ විවෘත කර නොමැති හෙයින් රැකියා සඳහා වි‍දෙස්ගත වීමට තවමත් අවස්ථාවක් නැහැ. අප බලාගෙන ඉන්නේ ගුවන් තොටුපළ යළි විවෘත කරන තුරුයි. අපි මැදිහත්වීමක් සිදු කරන්නේ දැනට රැකියාවේ නියුක්ත පිරිස සම්බන්ධයෙන් පමණයි. රැකියා අහිමිවූ පුද්ගලයන් ලංකාවට ගෙන්වාගෙන ඔවුන් සඳහා ජීවනෝපාය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වෙනවා.

මැදපෙරදිග යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුවද දකුණු කොරියාව, ජපානය වැනි රටවලින් නව රැකියා අවස්ථා පිළිබඳව විදේශසේවා නියුක්ති කාර්යාංශය දැනුම්වත් කර ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන විදේශ රැකියා ක්ෂේත්‍රය සාධනීය සංවර්ධනයක් කරා ගෙන යාම සඳහා තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද විදේශසේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02