මහ මැතිවරණයට තවත් ඇත්තේ දින 24ක කාලයකි. මේ වනවිට මැතිවරණ උණුසුම වර්ධනය වෙමින් පවතී. ජනතාවට සේවය කිරීම සඳහා ද, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සඳහා ද ජනතා කැමැත්ත ඉල්ලා සිටින අපේක්ෂකයන් තම ජයග්‍රහණය උදෙසා විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව පෙනෙන්නට ඇත. ලෝකයේ අනිකුත් රටවල මෙන් නොව ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික ප්‍රජාතාන්ත්‍රික රටක මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ලක්ෂණයක් බවට පත්ව ඇත්තේ ප්‍රචාරණයයි. මේ සඳහා ඔවුන් වැඩිවශයෙන් උපයෝගී කර ගනු ලබනුයේ පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය, කටවුට්, පෝස්ටර් සහ සමාජ වෙබ් අඩවිය. පෝස්ටර් සහ කටවුට් ප්‍රචාරණයෙන් පරිසරයට සිදුවන හානිය විශාලය. ප්‍රචාරණය සම්බන්ධයෙන් මැතිවරණ නීති තුළ ප්‍රතිපාදන ඇතත්, මැතිවරණ සමයේ සිදුවන පාරිසරික හානිය වැළැක්වීම සඳහා නීති නොමැත.
මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ පෝස්ටර් හා කටවුට් වැඩි වශයෙන් දැකිය හැකි වූයේ මනාප පොරය ඉදිරියට ඒමත් සමඟය. ඉන් සිදුවූයේ රටේ පොදු ස්ථාන දැඩි ලෙස අපවිත්‍ර වීම සහ පෞද්ගලික දේපලවලටද අලාභ සිදුවීමය. මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද පොරොන්දු අතර පෝස්ටර් කටවුට් මගින් සිදුකරන හානියට වැට බඳින බවක් ප්‍රකාශ වී නොමැත. එහෙත් පෙර පැවති මැතිවරණවලට වඩා මෙවර පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනයේ අවමයක් දැකිය හැකිය.
අප රටේ මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීමකදී පෝස්ටර් ඇලවීම තහනම්ය. එසේ වුවද, ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ සිට ජනාධිපතිවරණ දක්වාම මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම පෝස්ටර් නොඇල වූ එකක් හෝ සොයාගත නොහැකිය. දේශපාලන පක්ෂත්, දේශපාලනඥයනුත් මේ අන්දමට මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවූයේ එය වරදක් බව දැන දැනමය. සමානුපාත ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වන්නට පටන් ගත් දා සිට ඡන්ද අපේක්ෂකයන්ට සිය ප්‍රචාරක කටයුතු කරන්නට තිබෙන බල ප්‍රදේශය පුළුල් වී තිබේ. වෙනදා මැතිවරණ බල ප්‍රදේශයක කළ තරම් සරලව දිස්ත්‍රික්කයක ප්‍රචාරක කටයුතු කරන්නට නොහැකි නිසා තහනම් වුවත් පෝස්ටර් නොගසා තම ප්‍රචාරක කටයුතු කරන්නේ කෙසේ දැයි ඔවුන් ඒ ගැන නිදහසට ඉදිරිපත් කළ කාරණය විය. මේ නිසා පෝස්ටර් ඇලවීම තහනම්ය. නීතිය බලාත්මක කිරීමට සිටින මැතිවරණ කොමිසමටත් පොලීසියටත් සෑම මැතිවරණයකදීම සිදු වූයේ පෝස්ටර් ගැලවීමට විශාල මහන්සියක් පමණක් නොව විශාල පිරිවැයක්ද දරන්නට සිදුවීමය. මේ පෝස්ටර් වසංගතය කොතරම් උග්‍ර වූයේද යත් කොළඹ මහ නගර සභාවට පෝස්ටර් ගැලවීම සඳහාම විශේෂ යන්ත්‍ර ආනයනය කරන්නටද සිදු විය. සාමාන්‍ය ජනතාව අතර ඒ යන්ත්‍රය ජනප්‍රිය වූයේ ‘පෝස්ටර් මාරයා’ යන නමිනි.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 74 වැනි වගන්තියට අනුව නාමයෝජනා භාර දුන් දින සිට මැතිවරණය අවසන් වන දින දක්වා ඡන්ද අපේක්ෂකයන්ට පෝස්ටරයක්, බැනර්, කටවුට්, චිත්‍රයක්, ඡායාරෑපයක්, ලකුණක්, කොඩියක්, අත් පත්‍රිකාවක් හෝ දැන්වීමක් පොදු මාර්ගයක ප්‍රචාරය කළ නොහැකිය. එසේම එවැනි කිසිවක් පොදු හෝ පෞද්ගලික ගොඩනැගිල්ලක ප්‍රදර්ශනය කිරීම සිදු කළ නොහැකි බවත් මැතිවරණ නීතියේ දැක්වෙයි.
එහෙත් මැතිවරණ නීතිය අනුව යම් අපේක්ෂකයකුට ඔහුගේ පෞද්ගලික වාහනයේ ප්‍රචාරක පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ඇත. මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් පැවැත්වෙන පොදු හෝ පෞද්ගලික ගොඩනැගිල්ලක එම රුස්වීම් දිනයේ පමණක් පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත.
මෙවර මහමැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන අපේෂකයන්ගේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම සඳහා පොලීසිය වෙත ලක්ෂ 758ක මුදල් ප්‍රතිපාදන හිමිව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මේ වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට අමතරව කම්කරුවන් 1539 දෙනකු පොලිස් ස්ථාන මට්ටමින් බඳවාගෙන ඇති බව වාර්තා වේ. එසේ බැලූ කළ අපේක්ෂකයන්ගේ මැතිවරණ පෝස්ටර් ඉවත් කිරීමට යොදාගන්නේ ජනතාවගේ බදු මුදල් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
සමන් ශ්‍රී රත්නායක
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම පවතින්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි. ඒ නිසා අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට අප පොලීසියට පවරනවා. පොලිසියට ඒ සඳහා ප්‍රමාණවත් කම්කරුවන් නැහැ. අප කම්කරුවන් සැපයිය යුතුයි. අපගේ දිස්ත්‍රික් කාර්යාල 25ම පෝස්ටර් ඉවත් කිරීම සඳහා කුලී පදනම මත කම්කරුවන් බඳවා ගන්නවා. නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සේවකයන් ලවා ද පෝස්ටර් ඉවත් කරනවා. මේ සියල්ල සඳහා වැයවන්නේ මහජනයාගේ බදු මුදල්. පෝස්ටරයක් මගින් ප්‍රචාරය කළ හැක්කේ කිසියම් රුස්වීමක් පිළිබඳව පමණයි. එම රුස්වීම පැවැත්වෙන ස්ථානය, දිනය, එයට සහභාගී වන කථිකයන් පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පමණක් පෝස්ටර් භාවිත කළ හැකියි. ඒ හැර අපේක්ෂයන්ගේ ප්‍රචාරය සඳහා වන පෝස්ටර් ප්‍රදර්ශනය කළ නොහැකියි. එවැනි පෝස්ටර් ප්‍රදර්ශනය කළහොත් ඒවා ඉවත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගන්නවා.
ජාලිය සේනාරත්න
2020 අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් පසුගිය 15 වැනිදා සිට ක‍්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව සංශෝධිත 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත ප‍්‍රකාරව ව්‍යාතිකරේක අවස්ථා කිහිපයකට යටත්ව අත් පත‍්‍රිකා, ප‍්‍රදර්ශන පත‍්‍ර, දැන්වීම් කොළ, චිත‍්‍ර දැන්වීම්, අපේක්ෂකයකුගේ ඡායාරූපයක්, ලකුණක්, සලකුණත්, කොඩියක්, පතාකයක් යනාදිය ප‍්‍රදර්ශනය කිරීම තහනම්. එමෙන්ම වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයිනේ සෑම පොලිස් බල ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් සිදුකර මාර්ග බාධක, ජංගම සංචාර හා යතුරු පැදි සංචාර ක‍්‍රියාත්මක කර මාර්ගයේ ගමන් ගන්නා බස් රථ, ත‍්‍රිරෝද රථ ඇතුළු සියලු වාහනවල සවිකර තිබෙන නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක ආදිය ගලවා ඉවත් කිරීමටත් පියවර ගනු ලබනවා. එසේම එලෙස මාර්ග බාධක යොදවා රථවාහන පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධී අයුරින් යම් ඡන්ද අපේක්ෂකයකුගේ ඡායාරූපයක්, අංකයක්, පෝස්ටරයක්, දැන්වීමක්, චිත‍්‍රයක් හෝ යම් පක්‍ෂයක් ප‍්‍රවර්ධනය වන ආකාරයේ සලකුණක් යම් බස් රථයක, ත‍්‍රිරෝද රථයක හෝ වෙනත් වාහනයක මුද්‍රණය කර තිබුණහොත් හෝ සවිකර තිබුණහොත් එම පුද්ගලයන්ට එරෙහිව මැතිවරණ නීතියට අමතරව මෝටර් රථ ප‍්‍රවාහන පනත ප‍්‍රකාරව ද නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා.
හසිත් අංජන