2020 ජුලි 11 වන සෙනසුරාදා

පුවත්පත් දැන්වීමකින් අල්ලාගත් සුපිරි රථය

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

ඒ 1989 කාලවකවානුවයි. එකල මෝටර් රථ ආනයනය කිරීමේදී සිලින්ඩර් ධාර්තාව අනුව වර්ගීකරණයක් පැවතියේය. සිලින්ඩර් ධාරිතාව 1500 සහ ඊට අඩු - වැඩි වාහන වශයෙන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කර තිබුණි. සිලින්ඩර් ධාරිතාව 1500ට අඩු වාහන සඳහා සාමාන්‍ය තීරැ බදු ප්‍රමාණයක්ද 1500ට වැඩි වාහන සඳහා වැඩි තීරුබදු ප්‍රමාණයක්ද අය කරන ලදී. ඊට අමතරව සිලින්ඩර් ධාරිතාව 1500ට වැඩි වාහන සඳහා ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුවෙන් ආනයන බලපත්‍රයක්ද ලබාගත යුතුව තිබුණි. එබැවින් මෝටර් රථ ආනයනකරැවෝ වැඩි ලාභ ඉපැයීම සඳහා සහ ආනයන බලපත්‍ර නොගෙන සිලින්ඩර් ධාරිතාව 1500ට වැඩි වාහන 1500ට අඩු වාහන ලෙස ආනයනය කිරීමට උත්සාහ කළෝය. ශ්‍රී ලංකා රේගුවේ බොහෝ නිලධාරීන්ට මෙය රහසක් නොවුණි. කෙසේ වෙතත් මෙවැනි රේගු වංචා වැළැක්වීමද රේගු නිලධාරීන්ගේ රාජකාරියේම කොටසක් විය.

මෙම කාල වකවානුවේදී අප කථානායක දන්තනාරායන මහතා වාහන ආනයනයට කිසිදු සම්බන්ධයක් නොමැති කොළඹ 02 රමාඩා රෙනයිසන් හෝටල් පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ තීරැ බදු රහිත භාණ්ඩ වෙළෙඳ සංකීර්ණයේ සේවය කරමින් සිටියේය. ලේක්හවුස් පුවත්පත් නිවෙසටම ගෙන්වාගෙන කියවීම මෙකල ඔහුගේ පුරැද්දකි. එක් ඉරිදාවක ඔබ්සර්වර් පුවත්පතේ වෙළෙඳ දැන්වීම් පරීක්ෂා කරමින් සිටියදී ටොයෝටා කැරීනා වර්ගයේ රථයක් පිළිබඳව ඔහුට උනන්දුවක් ඇතිවිය. උනන්දුව සැකයක් වීමට ගතවූයේ නිමේෂයකි. එම දැන්වීමේ විශේෂත්වයක් වූයේය. එහි Twin Cam, Turbo GT ලෙස සඳහන් වී තිබිණි. වාහන පිළිබඳ මනා අවබෝධයක් ඇති දන්තනාරායන මහතා මෙවැනි සුපිරි මෝටර් රථ ආනයනය කිරීම සුලභව සිදු නොවන බව දැන සිටියේය. ඊට වැඩි රේගු බද්දක් සහ ආනයන බලපත්‍රයක් ලබාගත යුතු බවත් ඔහුට සිහිවිය. එබැවින් මෙම මෝටර් රථය පිළිබඳව විමර්ශනයක් කිරීමට පෙළඹීමක් දන්තනාරායන් තුළ උපන්නේ නිරායාසයෙනි. 

ඔහු එදිනම එම දැන්වීමේ සඳහන් කොළඹ 08 කාසල් වීදියේ ලිපිනයට ගැනුම්කරැවකු ලෙස ගොස් එහි සිටි පුද්ගලයකුගෙන් වාහනය පිළිබඳව විමසීය. ඒ අවස්ථාවේදී වාහනයේ යතුර රුගෙන පැමිණි එම පුද්ගලයා ඉදිරිපස දොර විවෘත කොට පරීක්ෂා කිරීමට ඉඩ දී තිබේ. එය ඉදිරිපස දොර දෙකක් පමණක් ඇති කූපේ (Coupe) මාදිලියේ වාහනයකි.

වාහනයට නැගි දන්තනාරායන මහතාට දැකගත හැකි වී ඇත්තේ සාමාන්‍ය මෝටර් රථයක් තුළ දක්නට නොලැබෙන අමතර උපාංග සහ පහසුකම් රාශියකි. අනතුරැව එන්ජිම පණගන්වා ඇතුළතින්ම ස්වයංක්‍රීයව බොනට්ටුව විවෘත කොට පිටතට පැමිණි ඔහුට දක්නට ලැබී ඇත්තේ සාමාන්‍ය 1500 එන්ජිමකට වඩා විශාල ප්‍රමාණයේ Twin Cam, Turbo ලෙස සඳහන් අධි බලැති එන්ජිමකි. සාමාන්‍යයෙන් ජපන් වාහනවල වාහනයේ මාදිලි අංකය, චැසි අංකය සහ අනෙකුත් විස්තර දැක්වෙන්නේ ලෝහ තහඩුවකය. එය ඉවත්කොට එම ස්ථානයේ අකුරින් ලියන ලද්දාක් මෙන් සඳහන් කර ඇති චැසි අංකයකි. සැකය තහවුරු විය. දන්තනාරායන මහතා වාහනයේ ලියකියවිලි ඉල්ලාගෙන පරීක්ෂා කරන්නට වූවේය. ඒ අනුව පෙනී ගියේ මෙම වාහනය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිලින්ඩර් ධාරිතාව 1500ට අඩු වාහනයක් ලෙස ලියාපදිංචි කර ඇති බවයි. නිත්‍ය වශයෙන්ම මෙය රේගු බදු මුදල් නිසි ලෙස නොගෙවා වංචාකොට සහ ආනයන බලපත්‍රයක් නොමැතිව නිෂ්කාශනය කරගෙන ඇති බව අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් දැන් දන්තනාරායනයන්ට අවබෝධ වී හමාරය.

කෙසේ නමුත් වැඩිදුර විමර්ශන කළයුතු බවට අදිටන් කොටගෙන අප කතානායකයා එතැනින් නික්ම ගියේය. සඳුදා තම කාර්යාලයට පැමිණි ඔහු මෙවැනි වංචා පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරනු ලබන වරාය පරිශ්‍රයේ පිහිටා ඇති ප්‍රධාන නිවාරණ කාර්යාලයේ සේවයේ නියුතු ඔහුගේ රේගු කණ්ඩායම් සගයකුට දුරකතන ඇමතුමක් ගත්තේය. වාහනය පිළිබඳව සම්පූර්ණයෙන් පැහැදිලි කොට වැඩිදුර විමර්ශන සඳහා උසස් නිලධාරීන්ගේ සෝදිසි වරෙන්තුවක් ලබාගෙන වාහනය අත්අඩංගුවට ගන්නා ලෙසට දැන්වූයේය.

මඳක් චකිතයකට පත්වූ ඔහු, එසේ කිරීමට අපහසු බවත්, දන්තනාරායන මහතාම මූලිකත්වය ගන්නේ නම් සහභාගී විය හැකි බවත් ප්‍රකාශ කර ඇත. සඳුදා දිනයන් කාර්යබහුල විය. එබැවින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාවක් ඔහුට නොලැබුණි.

පසුදින අඟහරුවාදා ඩේලි නිවුස් පුවත්පතෙහිද වාහන දැන්වීම් තීරැවේ ඉරිදා දුටු දැන්වීම එම ආකාරයෙන්ම පළකර තිබෙනු දන්තනාරායන මහතාගේ නෙත ගැටුණි. මෙය කිසිසේත්ම අතහැර නොදැමිය යුතු රාජකාරියක් බව ඔහු ඉටා ගත්තේය. පුවත්පත් දෙකේම අදාළ පිටුත් රැගෙන තම කාර්යාලයට ගිය හෙතෙම එහි ප්‍රධානී, සහකාර රේගු අධ්‍යක්ෂවරයාට මේ බව පැහැදිලි කොට ප්‍රධාන නිවාරණ කාර්යාලයට පැමිණ එහි උසස් නිලධාරීන්ට පුවත්පත් දැන්වීම් දෙකම පෙන්වූයේය. දැනගත් කරැණු ලිඛිතව ඉදිරිපත් කොට වාහනය වැඩිදුර විමර්ශනය සඳහා අත්අඩංගුවට ගැනීමට පෙරදින අදිමදි කරන ලද සහකාර නිවාරණ නිලධාරි මහතා සහ කණ්ඩායම් සගයකු වන තවත් සහකාර නිලධාරි මහතකුගේ නම් ඇතුළත් කොට සෝදිසි වරෙන්තුවක් ලබාගත්තේය. සියල්ල සූදානම් වූ පසු ඔවුහු අදාළ ලිපිනය බලා පිටත්වූහ.

දන්තනාරායන මහතාගේ මූලිකත්වයෙන් පැමිණි කණ්ඩායම, එම ලිපිනයේ සිටි පුද්ගලයකුට සෝදිසි වරෙන්තුව පෙන්වා තමන් පැමිණියේ විකිණීම සඳහා දැන්වීම් පළකර තිබූ වාහනය පරීක්ෂා කිරීමට බව පැහැදිලි කොට විරැද්ධතාවයක් නොමැති නම් ඒ පිළිබඳව සටහනක් යොදා අත්සන් තබන ලෙසට උපදෙස් දී ඇත.

එවිට මඳක් කල්පනාකාරීව සිටි ඔහු මහත්තයා නේද ඉරිදාත් ඇවිත් වාහනය බැලුවේ යැයි ප්‍රකාශ කොට වාහනය තමන්ගේ නොවන බව පවසා හිමිකරුට දුරකතන ඇමතුමක් දී ගෙන්වා ගැනීමට කටයුතු කළේය. මඳ වේලාවකින් පසු පැමිණි වාහනයේ හිමිකරැට සෝදිසි වරෙන්තුව පෙන්වා පැමිණි කාරණය පැහැදිලි කොට විරුද්ධත්වයක් නොමැති නම් ඒ පිළිබඳව සටහනක් තබා අත්සන යොදන ලෙසට දන්තනාරායන මහතා දැනුම් දී ඇත. සෝදිසි වරෙන්තුව කියවා බලා අත්සන තැබූ ඔහු මෙය මිතුරකුගෙන් මිලදී ගත් වාහනයක් බවත් ආනයනය පිළිබඳව විස්තර තමා නොදන්නා බවත් ප්‍රකාශ කර තිබේ. පසුව ආනයනකරැටද එම ස්ථානයට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් ලබාදී ඇත.

ආනයනකරැට අදාළ ලියකියැවිලි ඇත්නම් ඒවාද රැගෙන කොළඹ වරායේ ප්‍රධාන නිවාරණ කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුම් දෙන ලෙස පවසා අප කතානායකයා ඇතුළු පිරිස වාහනය පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ. එසේ පරීක්ෂා කිරීමේදී වාහනයේ ලියකියැවිලි තබන කුටියේ තිබී සම්පූර්ණයෙන් ජපන් බසින් මුද්‍රිත සවිස්තර පොතක් ඔවුන්ට හමුවී ඇත. එහි ඇති ඉලක්කම්වලින් මෙය 1800 කාණ්ඩයට අයත් බව ප්‍රත්‍යක්ෂ කරගත් පිරිස වාහනය අත්අඩංගුවට ගෙන එක් සහකාර නිවාරණ නිලධාරියකු සමඟ වාහනය පදවාගෙන ප්‍රධාන නිවාරණ කාර්යාලයට පැමිණෙන ලෙසට හිමිකරුට උපදෙස් දුන්හ. දන්තනාරායන මහතාද අනෙක් නිලධාරියා සමඟ අත්අඩංගුවට ගත් රියට පසුපසින් ප්‍රධාන නිවාරණ කාර්යාලයට පැමිණියේය. එහිදී ඔවුන් හිමිකරැගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටියදී වාහනයේ ආනයනකරැ ඔහුගේ මිතුරකු සමඟ පැමිණ තිබේ.

ඔවුන්ගෙන් මෙම වාහනය පිළිබඳව වැඩි විස්තර විමසීමේදී ආනයනකරැ ප්‍රකාශ කර සිටියේ තමන් ආනයනය කරන ලද්දේ සිලින්ඩර් ධාරිතාව 1500 වාහනයක් බවත් තම මිතුරා පසුව සිලින්ඩර් ධාරිතාව 1800 එන්ජිමක් සවිකර දුන් බවත් එසේ කර නව හිමිකරැට විකිණූ බවත්ය. ඒ අනුව මිතුරාගේ කටඋත්තරයේ සඳහන්ව තිබුණේ ඔහු මෙම සිලින්ඩර් ධාරිතාව 1800 පාවිච්චි කරන ලද එන්ජිම රු.15000/-කට පංචිකාවත්තෙන් මිලට ගෙන මෙම රථයට සවිකරගත් බවයි. නමුත් මිලදී ගත් කුවිතාන්සිය ඉදිරිපත් කළ හැකිදැයි විමසූ විට ඔහු නිරුත්තර වූයේය. කෙසේ නමුත් මූලික විමර්ශන අවසානයේදී වාහනය සහ ලියකියවිලි රඳවා තබාගෙන නැවත දැන්වූ විට රේගු විමර්ශන සහ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන බවට දැක්වෙන ලියවිල්ලකට අත්සන් ගෙන ඔවුන් තිදෙනා මුදාහරින ලදී. පසුව වාහනයේ තිබී හමුවූ සවිස්තර පොතේ සහ වාහනයේ ඡායාරෑප කිහිපයක් ගෙන කොළඹ ජපන් තානාපති කාර්යාලය මගින් ජපානයේ ටොයෝටා වාහන නිෂ්පාදන ආයතනය වෙත විස්තර විමසා තැපැල් මගින් ලිපියක් යොමුකළේ දන්තනාරායන මහතාගේ මැදිහත් වීමෙනි.

ඒ අතරතුර හිමිකරැ සහ ආනයනකරැ විසින් වාහනය වරාය පරිශ්‍රයේ නවතා තැබීමෙන් වාහනයට දෝෂ ඇතිවිය හැකි බවත් එසේ වීමෙන් වාහනයේ වටිනාකම ක්ෂය වන බවත් දක්වා බැංකු ඇපකරයක් මත ඔවුනට වාහනය මුදාහරින ලෙස ඉල්ලීමක් කර තිබිණි.

ඒ පිළිබඳව සලකා බලන ලද උසස් නිලධාරීන් රේගු විමර්ශන සහ පරීක්ෂණ අවසන් කරනතුරැ වාහනයේ ලියකියවිලි රඳවාගෙන රු.1,00,000/-ක බැංකු ඇපකරයක් මත වාහනය මුදාහැරීමට උපදෙස් ලබාදී තිබේ. ඊට සති කිහිපයකට පසු ජපානයේ ටොයෝටා වාහන නිෂ්පාදන ආයතනය මගින් රේගුව වෙත දන්වා ඇත්තේ ඉදිරිපත් කරන ලද විස්තර පිළිතුරක් දීමට තරම් මඳ බවත් එබැවින් නිශ්චිතව පිළිතුරක් ලබාදීමට වැඩි විස්තර එවන ලෙසත්ය. ඒ අනුව වැඩි විස්තර සහිත ලිපියක් ජපන් තානාපති කාර්යාලය මගින් ටොයෝටා ආයතනය වෙත නැවත යොමු කෙරැණි.

මේ අතරතුර වරින්වර පැමිණි ආනයනකරැ සහ හිමිකරැ වාහනයට ගැනුම්කරැවකු සොයාගත් බැවින් සුදුසු දඩ මුදලකට යටත්ව ලියකියැවිලිද නිදහස් කර දෙන ලෙසට අභියාචනයක් ඉදිරිපත් කරන්නට වූහ. ජපානයෙන් පිළිතුරැ ප්‍රමාද වීම හේතුවෙන් ආනයනකරැට සහ හිමිකරැට අසාධාරණයක් සිදුවිය හැකි බව වටහාගත් නිලධාරීහු නිසි රේගු පරීක්ෂණයක් පවත්වා වාහනය රාජසන්තක කළෝය. ඒ වනවිට වාහනය නිෂ්කාෂණය කරගෙන තිබීම හේතුවෙන් අභියාචනය පිළිබඳව අවධානය යොමුකරන ලදුව, බැංකු ඇපකරය වන රු.1,00,000/- ලිහිල් කරන ලද දඩ මුදලක් ලෙසට අයකරගෙන වාහනයේ ලියකියවිලිද නිදහස් කිරීමට තීරණය වූයේය.

වාහනයේ ආනයනකරුගේ පියා ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක භාණ්ඩාගාරික ධුරය දැරූ අයෙකි. දැනටද ඔහු ව්‍යාපාර කිහිපයක් හිමි ප්‍රසිද්ධ වාහන ආනයනකරැවෙකි. ඔහුගේ මිතුරාද රේගුවට සම්බන්ධ ව්‍යාපාරිකයකු වේ. ඔවුන් දෙදෙනාම පසුව ඇතිකරගත් දැනහැඳුනුම්කම් මත අදටත් දන්තනාරායන මහතාගේ මිතුරන්ව සිටිති.

කෙසේ වුවද ඊට සති කිහිපයකට පසු ටොයෝටා නිෂ්පාදකගෙන් ලැබුණු පිළිතුර වූයේ මෙය සිලින්ඩර් ධාරිතාව 1800 වාහනයක් බවයි. කිසිම අයුරකින් 1500 නොවිය හැකි බව සහ අවම වශයෙන් 1500 එන්ජිමක් සවිකළ නොහැකි බවත් සහතික කොට දන්වා තිබුණි. නමුත් එම පිළිතුර එවන විට විමර්ශනය අවසන්ව තිබුණි. මෙම පිළිතුරැ අප්‍රමාදව ලැබුණේ නම් මීට වඩා වැඩි දඩ මුදලක් අයකර ගැනීමට රේගුවට හැකියාවක් තිබුණි. කෙසේ නමුත් සාපේක්ෂව එම දඩමුදල එදා සැලකිය යුතු මුදලක් විය. මෙවැනි අත්අඩංගුවට ගැනීම් රේගු වංචාවල් සිදුකිරීමට ඇති අවස්ථාවන් පාලනය වීමට සහ අනෙක් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමටද එකල ඉවහල් වූයේය.

දන්තනාරායන් පිළිබඳ රේගු ඉතිහාසයේ අප මෙලෙසින් ලියා තබන්නේ එනිසාමය. තවත් වික්‍රමාන්විත ක්‍රියාවන් රුසක් මේ අපූරැ මිනිසා තුළ ඉතිරිව ඇත. අපි ඉඩ ලැබුණු විට රට නොදත් ඒ අපූරු රේගු කතා ඔබ හමුවේ තබමු.

සංවාදය - චමිඳු නිසල් ද සිල්වා