රට වටේම මුහුදය. මේ මුහුද මාළුවලින් පොහොසත්ය. මාළු වර්ගද බොහෝය. එහෙත් රට වටේට මුහුද තිබුණත්, ඒ මුහුදේ මදි නොකියන්න මාළු සිටියත්, මාළු අල්ලන්නට ධීවරයන් සිටියත් මාළු විකුණන තැනකට ගොස් බැලූවිට මාළු කනවා තබා හාල්මැස්සෙක්, සාලයෙක් මිලදී ගන්නට බැරිතරම් මාළු ගිනි ගණන් බව ජනතාව මැසිවිලි නගති.
ජනතාවට මාළු එසේ ගිනි ගණන් වුවද ජනතා මනාපයෙන් දියවන්නාව තරණය කළ බොහෝ දෙනකුට එය එතරම් ගාණක් නැත. ඒ අන් කිසිවක් නිසා නොව ජනතාවගේ බදු මුදල්වලින් යැපෙමින් තිබෙනා ධීවර සංස්ථාවෙන්ම එම මැති ඇමතිවරැන්ට නොමිලයේ මාළු පෙට්ටියක් ලැබෙනා බැවිනි. ධීවර සංස්ථාව පාඩු ලබන සුදු අලියෙක් බවට කෑගසනා හිටපු ආණ්ඩුවල සියල්ලන්ම එලෙස හඬ නගන්නේ ධීවර සංස්ථාවෙන් ලබාදුන් එම මාළු කිලෝ 10,15 අනුභව කිරීමෙන් පසුවය.
විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණේ මසකට වරක් හිටපු මැති ඇමතිවරැන්ට නොමිලයේ ලැබෙනා එම මාළු ප්‍රමාණය කිලෝ දහසකට අධික බවය. එහෙත් ජනතාවට බොහෝ අවස්ථාවල මාළු කෑල්ලක රස බැලීමටවත් අවස්ථාවක් හිමි නොවන්නේ මාළු මිල ගිනි ගණන් නිසාය.
ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ එච් නිශාන්ත
ධීවර සංස්ථාව වසර ගණනක් මුළුල්ලේම පාඩු ලබන ආයතනයක් බව කවුරැත් දන්නවා. ඒ වගේම මේ ක්ෂේත්‍රය නියෝජනය කරන සියලුම දෙනාට ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්න අමාත්‍යාංශයට වගේම සංස්ථාවටත් නොහැකි වෙලා තියන්නේ මේ ආයතන පාඩු ලබන ආයතන බැවින්. නමුත් කාලයක් මුළුල්ලේම අපිටත් අනාවරණය වී තිබුණා බලයට පත්වෙලා ඉන්න ආණ්ඩුවල මැති ඇමතිවරැන්ට මසකට වරක් නොමිලයේ මාළු පෙට්ටියක් නිවෙස වෙතටම ධීවර සංස්ථාව මගින් ගෙනිහින් දෙන බව. ඉහළ පරිපාලනයේ අනුදැනුම ඇතිව තමයි මෙම ක්‍රියාව සිදුවී තිබෙන්නේ. එලෙස මසකට මාළු කිලෝ 1000ක් විතර නිකන් ලබාදුන්නාම ඒ පාඩුව එන්නෙත් ආයතනයටම තමයි. එහෙම වුණාම කොහොමද මේ ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්නේ.
අමාත්‍ය මහින්ද අමරවීර
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරැන් රුසකට ධීවර සංස්ථාව මගින් මසකට මාළු කිලෝ 15ත් 20ත් අතර ප්‍රමාණයක් නොමිලයේ ලබාදීමට කටයුතු කර තිබෙන බවට අපිට මේ වනවිටත් තොරතුරැ අනාවරණය වෙලා තිබෙනවා. ඒ ඒ මැති ඇමතිවරැන්ගේ තරාතිරමට අනුව තමයි මේ මාළු යැවීම සිදුකරලා තියෙන්නේ. මේ හේතුව නිසා ධීවර සංස්ථාව මාළු කිලෝ 1000ක් පමණ නිකම් ලබා දෙනවා. ධීවර සංස්ථාව පාඩු ලැබීමට එයත් එක හේතුවක්. කිසිම හේතුවක් මත මොන තරාතිරමක අයෙක් වුණත් එහෙම මාළු නිකම් දෙන්න වුවමනාවක් නැහැ. මේ මැති ඇමතිවරුන්ට මාසයකට වරක් යවන මාළු පෙට්ටිය නවතා දැමීමට උපදෙස් ලබාදී තිබෙනවා. වසර හැටපහකට පස්සේ දැන් තමයි අපි ලාබයක් ලබාගැනීමේ පරමාර්ථයෙන් පසුවෙන්නේ. ඒ නිසා මෙවැනි ව්‍යාපෘතිවලට ඉඩ ලබාදෙන්න බැහැ.
කවුරැන් අනුමත කළද මෙවැනි ව්‍යාපෘති මගින් සිදුවන්නේ ඕනෑම ආයතනයක් පාඩු ලැබීමය. එමෙන්ම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට ගොස් ජනතා බදු මුදලින් සුරසැප විඳිනා ඇතැමුන්ගේ මනදොළ සපීරීමට සිදුව ඇත්තේද මහජනයාට වීම කණගාටුවට කරුණකි.
සටහන: හසිත් අංජන