ඇය ජානකී නදීශානිය. ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ ජීවත්වන නදීශානි දක්ෂ මූර්ති ශිල්පිනියකි. උපාධිධාරී ගුරුවරියක් වන ජානකී එම වෘත්තියට ආයුබෝවන් කියමින් දැන් මූර්ති ශිල්පිනියක් ලෙසින් තම ජීවනෝපාය කරගෙන යන්නීය. මම මුලින්ම පාසල් ගියේ පරකඩුව නාරද මධ්‍ය මහා විද්‍යාලයටයි. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණු මම ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. එම පාසලේ දී මම කලා ශිල්ප විෂයට වැඩි නැඹුරැවක් දැක්වූවා. ඒ නිසාම පාසලේදී මල්, රුක් කලාව ආදී විවිධ කලා නිර්මාණ කළා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මම ගම්පහ යශෝධරා බාලිකාවට ඇතුළත් වෙලා චිත්‍ර කලාවෙන් උසස් පෙළ හැදෑරුවා. ජානකී එසේ තම පාසල් කාලය මතකයට නංවන්නීය.
උසස් පෙළ විෂය ධාරාව හදාරන සමයේ එක්තරා ව්‍යාපෘතියකට මූර්ති කලාව යටතේ ජානකී බිතු කැටයමක් කළාය. එය අඩි පහක් පමණ උස අඩි දහයක් දිග සිමෙන්ති වලින් කළ නිර්මාණයකි. ඊට පෙර සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා අවධියේ දී ජානකී පැතැලි නියනක් ආධාරයෙන් කළුගල් කැබැල්ලක කුඩා මුහුණක් ද, හුඹස් මැටි ආධාරයෙන් කුඩා නිර්මාණ කිහිපයක් ද නිර්මාණය කළාය. නමුත් ඇයගේ හිතට දැනෙන්නට ඇය කළ මුල්ම නිර්මාණය වූයේ උසස් පෙළ පන්තියේ දී කළ බිතු සිතුවමයි.
උසස් පෙළ සමත් වුණු ජානකී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. පළමු වසරේදී ඇය මූර්ති විෂය තෝරා ගත්තාය. බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් මූර්ති කලාව තෝරා නොගත්ත ද, ජානකී එම විෂයට ඇළුම් කළාය. ඇය චිත්‍ර කලාවට වඩා මූර්ති කලාවට ඇළුම් කළාය.
කුඩා කල සිටම ආච්චිඅම්මාගේ සෙවණේ හැදී වැඩුණු ජානකීගේ අධ්‍යාපන කටයුතු සඳහා ඇයගෙන් කිසිදු බලපෑමක් නොවීය. තමාට රිසි දේ, තමාට හැකි දේ කිරීමට ආච්චිඅම්මා ජානකීට පූර්ණ නිදහස දී තිබුණි. ඇය හය වසරේ සිට සෑම වසරකදීම ඇඳි චිත්‍ර පොත් එකතු කළාය. ජානකීට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකි. කුඩා කල සිටම තම සහෝදරයන්ගේ චිත්‍ර හැකියාව දෙස ඇය උනන්දුවෙන් බලා සිටියාය. තම වැඩිමහල් සහෝදරයා මේ වන විට වරායේ නැව්වල අකුරු අඳින බව ජානකී පවසන්නේ සතුටෙනි.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දී ඇය දක්ෂ මූර්ති ශිෂ්‍යාවක් වූවාය. විශ්වවිද්‍යාල ගුරුවරුන් මෙන්ම ඇයගේ වසරේ ශිෂ්‍යයෝ ද ජානකීව අගය කරමින් සහයෝගය ලබා දුන්හ. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ දී ගල් කැටයමක් නිර්මාණය කරන්නට ජානකීට සිදු විය. ඇය හරි අපූරු නිර්මාණයක් සිදු කළාය. ඇය කළුගලෙන් කුඩා බිළිඳකුගේ දෙපයක් කැටයම් කළාය. කළුගලකින් සියුම්, සියුමැලි බිළිඳකු මැවීම එතරම් පහසු කටයුත්තක් නොවීය. නමුත් ජානකී අපූරුවට ඒ කැටයම නිර්මාණය කළාය. ඇය බිළිඳාගේ කුඩා නියපොතු පවා හරි අපූරුවට නිර්මාණය කළාය. ඒ නිර්මාණය කෙතරම් සාර්ථක නිර්මාණයක් ද කිවහොත්, නව කලාකරුවෝ නම් ප්‍රදර්ශනයේ දී ඇයගේ එම නිර්මාණය ඉතා ඉහළ මිලකට අලෙවි කරන්නට ඇයට අවස්ථාව ලැබිණි. කේවල් නොකරම ඇය සඳහන් කළ මිලටම එම නිර්මාණය මිලදී ගන්නට ඉතා ඉක්මනින් ගැනුම්කරැවෙක් ඉදිරිපත් විය.
විශ්වවිද්‍යාලයේ දී ජානකීගේ ජීවිතයට හරි අපූරු මිතුරකු ද මුණගැසුණි. ඒ නිරංගය. ඔහු ජානකීගේ වසරේදීම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු සගයෙකි. එකම පන්තියේ ඉගෙනගත් ජානකීත්, නිරංගත් හොඳ මිතුරෝ වූහ. නිරංග පදවිය පරාක්‍රමපුර පදිංචි තරුණයෙකි. ඔහුගේ සීයා මූර්ති ශිල්පියෙකි. එකල මැදවච්චිය ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙකි. කල්යත්ම නිරංගත් ජානකීත් පෙම්වතුන් වූහ.
නිරංගත් මමත් එකම වසරේ ඉගෙන ගත්තේ. විශ්වවිද්‍යාල අවසන් වසරේදීම අපි දෙන්නා විවාහ වුණා. ඒ 2012 වසරේදීයි. 2013 අග භාගයේ දී අපි උපාධිය ලබාගත්තා. අපි අපේම මූර්ති කලාගාරයක් 2014 දී ආරම්භ කළා. ජානකී පැවසුවාය.
ජානකී මව් පදවිය ලැබුවේ 2014 වසරේදීය. තම පුතුණුවන් උපන් දාට පහුවදා ජානකීට ගුරු පුහුණුවට යාමට දිනය යෙදී තිබුණි. කුළුඳුලේ උපන් දරුවා තනිකර ගුරු පුහුණුවට යාමට ජානකී අකැමැති විය. ඒ නිසාම ඇය ගුරු වෘත්තිය අතහැර දැමූ අතර නිරංග තම ගුරු වෘත්තිය බාරගත්තේය. නමුත් ගුරු පුහුණුවෙන් සතියකට පසුව නිරංග ද නිවෙසේ නතර විය. එතැන් සිට අද දක්වා උපාධිධාරී ජානකීත් නිරංගත් තම ව්‍යාපාර කටයුතු කරමින් දරු දෙදෙනා සමඟ ජීවත් වෙති.
අද වන විට ඔවුන් දෙදෙනාගේ දියනෙත ඉතා සාර්ථක ව්‍යාපාරයකි. දුක් මහන්සියෙන් කාටත් බරක් නොවී ඔවුහු තම දෑතේ මහන්සියෙන් නිර්මාණශීලී මූර්ති නිර්මාණය කරමින් දිවි ගෙවති. පන්සල් හා දේවාලවල බුදුපිළිම හා දේවරූපවලට විශාල ඉල්ලුමක් ලැබෙමින් පවතී. නමුත් බුදුන් වහන්සේගේ රුව ඇඹීම සිදු කරනු ලබන්නේ නිරංගගේ අතිනි. ජානකීටත් ඒ හැකියාව තිබුණ ද, ගෞරවයක් ලෙසින් ඇය බුදුපිළිම ඇඹීම සිදු නොකරයි. නමුත් දේවරූප නිර්මාණය වන්නේ ජානකී අතිනි. ඉතා සියුම් ලෙස මුහුණේ ඉරියව් විදහා දක්වමින් නිර්මාණය වුණු එම නිර්මාණ හරි අපූරුය. ඇය විවිධ මූර්ති හා කැටයම් ප්‍රදර්ශනය සඳහා තම නිර්මාණ ඉදිරිපත් කරන්නීය. ඒවා සඳහා විශාල ඉල්ලුමක් පවතී. මීට අමතරව විවිධ ලෝහ වර්ග උපයෝගී කර ගනිමින් සිදු කරන නිර්මාණ සඳහා ද ඉල්ලුමක් පවතින බවත් ඔවුන් විසින් නිර්මාණය කළ බුදුපිළිම කිහිපයක්ම ඔස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි රටවල්වල ඇති විහාරස්ථානවලට ගෙන ගොස් ඇති බවත් ඇය පවසයි.
ජානකී අද දෙදරු මවකි. වයස අවුරුදු පහක් වූ පුලස්ති පුතණුවන් ද කුඩා කල සිටම චිත්‍ර කලාවට ඇල්මක් දක්වන බව ඇය කියයි. කැටයම් මඩුවේ ඇති සියලුම ආයුධ පුලස්ති හඳුනයි. පුලස්ති වැඩ මඩුවේ වැඩිපුර දවස ගෙවන්නට හරි කැමැතිය. නිතිලි තවමත් අවුරුද්දක් වයසැති දියණියකි. රජයේ රැකියා ලැබුණත්, ජානකීත් නිරංගත් තමාට ලැබුණු අවස්ථාව තවත් දෙදෙනකුට ලබාදෙමින් සිය ධෛර්යයෙන් නැගිටින්නට වෙර දරන දෙදෙනෙකි.
උපාධිය කියල කියන්නේ රැකියාවක් කරන්න ඕන කරන වෘත්තීය සුදුසුකමක්ම නොවේ. තම තත්ත්වය උසස් කර ගන්න උපාධිය සුදුසුයි. නමුත් තමන්ගේ හැකියාව මත තම රැකියාව කරනවා නම් අපිට ගොඩක් ඉදිරියට යන්න පුළුවන්. රජයේ රැකියාවක්ම බලාපොරොත්තුවෙන් කාලය නාස්ති නොකර තම හැකියාවෙන් දෙයක් පටන් අරගෙන තව කිහිප දෙනකුට රැකියා ලබාදෙනවා නම් ගොඩක් හොඳයි. අද අපි දෙන්නා යටතේ පහළොවක් පමණ සේවය කරනවා. ජානකී නදීශානි අවසන් වශයෙන් දේශයට පැවසුවාය.
සැබැවින්ම ජානකී ධෛර්යවන්ත කාන්තාවකි.
දිශානි
සේයාරූ - සුමුදු හේවාපතිරණ