කොවිඩ් 19 වසංගතය මෙරටින් යම්තාක් දුරකට මර්දනය වීමත් සමඟ රජයේ සහ පෞද්ගලික ආයතනවල රාජකාරි කටයුතු සුපුරුදු පරිදි සිදුවෙමින් පවතී. මාස ගණනාවක්ම නිවෙස්වලටම කොටුවී සිටිමින් කාලය ගෙවූ සේවකයෝ පෙර පරිදි තම රාජකාරියේ නිරත වෙති. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද පියවර කිහිපයකින් නැවත ආරම්භ වෙමින් පවතී.
මේ සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතිද්දී මෙරට ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන් තම කටහඬ අවදි කරමින් ගී ගැයූ ගායක ගායිකාවන්ගේ ප්‍රසංග කටයුතු සුපුරුදු පරිදි තවමත් සිදුවන්නේ නැත. ප්‍රසංගවලට සහභාගි වීම තම ජීවනෝපාය කරගත් බොහෝ පිරිස අද පත්ව සිටින්නේ මහත් අපහසුතාවයකටය. කලාකරුවන්ට ද බොහෝ ගැටලු ඇත. වේදිකාවේ සුපුරුදු සිනහව මුවට නගා ගී ගැයුවද, වේදිකාවේ අපූරු නර්තන සමඟ ගී ගැයුවද, සාමාන්‍ය ජනතාවට සේ ඔවුන්ට ද බොහෝ ගැටලු තිබේ. නමුත් අද ඒ සියල්ල නතරව තිබේ.
පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයෙන් ඔවුන්ගේ ජීවිතවලට ද හානි සිදුවිය. මෙම වසරේදී කොරෝනා ඔවුන්ගේ ජීවිත කනපිට පෙරළා තිබේ.
අපේ කලාවට මුලින්ම ප්‍රහාරය එල්ල වුණේ ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරයෙන්. සංගීත කණ්ඩායමක් නියෝජනය කරන පුද්ගලයෙක් විදිහට අපිට වැදුණු දරුණුම ප්‍රහාරය වෙන්නේ පාස්කු ප්‍රහාරයයි. මේ ප්‍රහාරයත් එක්ක මාස අටක් අපේ කලාකරුවන්ට ලොකු පාඩුවක් සිද්ධ වුණේ. අපි මේ වැටීමෙන් නැගිටින්න හැදුවේ පසුගිය අප්‍රේල් මාසයේදීයි. බොහෝ ප්‍රසංග අපිට ලැබෙන්නේ මේ කාලයේදීයි. නමුත් ඒ සියලුම බලාපොරොත්තු මේ වසරේදීත් බිඳ වැටුණා. ගිය අවුරුද්දේ ප්‍රහාරයෙන් අපි ණය වුණා. ලයිට් බිල් හිරවුණා. ලීසිං ගත්තු වාහනවලට පොලිය එකතු වුණා. ගෙවන්න ගත්තු බඩුවල ලීසිං වාරික හිරවුණා. ලංකාවේ සියලුම කලාකරුවන්ගෙන් තුන් හතර දෙනෙක් හැරෙන්නට මේ අපහසුතාවයට මුහුණදීලා හිටියා. නමුත් ඒ අහිංසක අප්‍රේල් බලාපොරොත්තුව මේ කොරෝනා වසංගතයත් එක්ක සුණු විසුණු වෙලා ගියා. සීදුව සකුරා සංගීත කණ්ඩායම 1991 දී ආරම්භ කළා. අද වෙද්දී මා යටතේ සංගීත කණ්ඩායම් තුනක් තියෙනවා. එහි සාමාජිකයෝ තිස් දෙනෙක් ඉන්නවා. ඊට අමතරව තවත් බොහෝ දෙනෙක් අපි වටා එකතුවෙලා ඉන්නවා. මේ වසංගතයත් එක්ක අද හැමෝම අසරණ වෙලා. අපි විතරක් නෙමේ, මේ රටේ හැම සංගීත කණ්ඩායමක්ම මුහුණදීලා තියෙන ගැටලුව මේකයි. යැයි සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නායක සහ කළමනාකරු වන අජිත් විතානගේ දේශයට අදහස් දක්වමින් පැවසීය.
සංගීත කණ්ඩායමක් ගත් කල සංගීත ශිල්පීන්ට අමතරව තවත් බොහෝ දෙනෙක් ඒ වටා ඒකරාශි වී සිටිති. සංගීත භාණ්ඩ ප්‍රවාහනය කිරීම, සංගීත භාණ්ඩ සවිකිරීම ආදියට බොහෝ සේවක මඩුල්ලක් එක් සංගීත කණ්ඩායමක් සමඟ එකට බැඳී සිටිති. මෙවර කොවිඩ් වසංගතයත් සමඟ සියලුම ප්‍රසංග නතර වෙද්දී ඒ සියල්ලගේම ආදායම් මාර්ගය ද නතර වුණි.
ප්‍රසංගයකදී සංගීත කණ්ඩායම, ගායක ගායිකාවන් තරමටම තවත් ප්‍රධාන රාජකාරි කටයුත්තක් සිදු කරන්නේ ප්‍රසංගයේ විදුලි අලෝක ශිල්පියාය. බොහෝවිට ප්‍රසංග ආරම්භ වන්නේ සවස් කාලයේදීය. අඳුර පොළොවට වැටුණු පසුවය. එතැන් සිට මහ රූ පුරාවටම මෙම ප්‍රසංග පැවැත්වේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය. මුළු පළාතම එළිය වැටෙන්නේ නිවි නිවී දැල්වෙන විදුලි ආලෝකයෙනි. එපමණක් නොව, පුළුල් තිරයකින් මෙන්ම විශාල වේදිකාවෙන් මුළු ප්‍රසංගයම තව තවත් ආලෝකමත් වෙයි. අතීතයේ මෙවැනි ප්‍රසංග සඳහා වේදිකා නිර්මාණය වූයේ පොල්කොට ආධාරයෙනි. නමුත් අද එවැනි පොල්කොට වේදිකා නැත. ඒ වෙනුවට විශාල යකඩ කණු ආධාරයෙන් ඉදිවුණු ඉතා විශාල වේදිකා ඇත. එකම වේදිකාවේ පහළොවකටත් අධික පිරිසකට ප්‍රසංගය පවත්වන්නටත්, නර්තන කණ්ඩායමට තම හිතේ හැටියට වේදිකාවේ තම නර්තනය ඉදිරිපත් කරන්නටත් කිසිදු බාධාවක් නැත. එවැනි වේදිකා, විදුලි ආලෝකය ඇතුළු බොහෝ සංගීතමය කටයුතුවල නිරත වූ බොහෝ දෙනකුට අද ජීවත් වන්නට මාර්ගයක් නැත. අද ඒ සියල්ල මාස ගණනාවක සිට එක තැන නතර වී ඇත. ප්‍රසංග කලාවේ කාර්යබහුලම කාලසීමාව කොරෝනා වසංගතය මගින් ගිලගනු ලැබ තිබේ.
මේ කොරෝනා වසංගතයත් එක්කම අපිට තිබුණු ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම නතර වුණා. මේ නිසා අපිට අපේ සේවක මඩුල්ලට මාස ගණනාවක්ම ආදායම් නැතිව වැටුප් ගෙවන එකත් ලොකු ප්‍රශ්නයක් වුණා. අපේ හතළිස් පහක් පමණ සේවක පිරිසක් සේවය කළා. ඒ මිනිසුන්ට වෙනදා ලැබෙන වැටුප නොමැතිව විශාල ලෙස අසරණ තත්ත්වයට පත්වුණා. මේ වන විට අපිට පුළුවන් විදිහට අපි අපේ වැඩ කටයුතු පටන් අරගෙනයි තියෙන්නේ. හැබැයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නය වන්නේ අපිට හිටපු හොඳම සේවකයෝ කිහිප දෙනෙක් වෙනත් රැකියාවල් සොයාගෙන තියෙනවා. මේ නිසා ආයෙත් අපිට අලුතින් සේවකයෝ වැඩට ගන්න සිද්ධවෙලා තියෙනවා. අපි ළඟ හිටපු සමහර සේවකයෝ ආයෙත් නම් කලාව තියෙන තැනකටවත් යන්නෙ නැහැ කියලා කුලී වැඩ පවා කරන්න පෙළඹිලා තියෙනවා. හැම රාජකාරියක්ම පටන්ගත්තත් තවමත් ප්‍රසංග වැඩ පටන්ගත්තේ නැහැ. ඒ නිසා අපි හරිම අසරණ තත්ත්වයකට තමයි දැන් පත්වෙලා ඉන්නේ. අපි ප්‍රසංගවලට වගේම විවාහ උත්සව සහ අනෙකුත් සියලුම උත්සවවලට විදුලි ආලෝකය, සංගීත භාණ්ඩ, ශබ්ද විකාශනය යන්ත්‍ර, වේදිකා ඉදිකිරීම, පුළුල් තිර සහ ජෙනරේටර් ආදිය ලබා දෙනවා. කොරෝනා වසංගතයත් එක්ක ඒ සියලුම උත්සව නතර වුණා. බොහෝ වෙලාවට අපිට event සංවිධානය කරන ආයතන හරහායි උත්සවවලට දින වෙන් වෙන්නෙ. මේ උත්සව සමයේදී එවැනි විවාහ උත්සව මෙන්ම උත්සව බොහෝමයක් නතර වුණා. ඒ අතරින් විවාහ උත්සව කිහිපයක් මේ මෑතකදී පැවැත්වුවත් ඔවුන් ඒ සියල්ලම කළේ ඉතා අඩු මුදලකට චාම් අන්දමටයි. ඇත්තටම අද අපි හරිම අසරණ වෙලයි ඉන්නෙ. මාර්තු, අප්‍රේල්, මැයි මාස තුනේදී අපිට ප්‍රසංග ඇතුළු උත්සව 125 ක් පමණ අවලංගු කරන්න සිද්ධ වුණා. මැයි මාසේදී අපිට විවාහ උත්සව පහළොවක් පමණ තිබුණා. ඒ සියල්ලම නතර වුණා. ලයිට් හවුස් පෞද්ගලික ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ දිනූෂ චානක පෙරේරා දේශයට පැවසීය.
සංගීත ප්‍රසංගයක් පැවැත්වීම හරහා බොහෝ දෙනකුට ජීවත් වන්නට ආදායම් මාර්ගයක් ගොඩනැගෙයි. සංගීත කණ්ඩායමේ සිට තම්බපු කඩල ගොට්ට විකුණන වෙළෙන්ඳා දක්වා එය දම්වැලක් සේ එකට ගෙතී පවතී. ප්‍රසංගයක් පවතින හැම මොහොතකම අච්චාරු, බැලුන්, රටකජු ආදිය විකුණන වෙළෙන්දෝ එකට එක්රුස් වෙති. එවැනි බොහෝ වෙළෙඳුන්ගේ සිංහල අලුත් අවුරුද්දේ අතමිට සරුවන්නේ මෙවැනි ප්‍රසංග නිසාවෙනි. බොහෝ විට මෙවැනි සුළු වෙළෙන්දෝ කිහිප දෙනෙක් එක්වී එකම වාහනයක් ගෙන මේ කාලවලදී ප්‍රසංග පැවැත්වෙන නගරවලට ගොස් තම වෙළෙඳාම් කටයුතුවල නිරත වෙති. නමුත් කොරෝනා වසංගතය ඒ සියල්ලගේම ජීවිත අසරණ කර තිබේ.
මෑත කාලය වන විට DJ කලාකරැවෝ ද ලංකාව පුරා ඉස්මතු වෙමින් සිටියහ. ප්‍රසංගවලදී මෙන්ම විවාහ උත්සවවලදීත් වෙනත් උත්සවවලදීත් DJ සංගීත ශිල්පීන්ට හිමිවූයේ සුවිශේෂී තැනකි. නමුත් කොරෝනා වසංගතයත් සමඟ ඔවුන්ගේ රුකියාව ද අහිමි විය.
කොවිඩ් වසංගතය නිසා මේ අවුරුද්දේ මාර්තු, අප්‍රේල්, මැයි මාසවල යෙදිලා තිබුණු විවාහ උත්සව සියල්ලම අවලංගු වුණා. ඒ නිසා දින වෙන් කරලා තිබුණු ඒ හැම උත්සවයක්ම මට නැතිවුණා. මම බොහෝ වෙලාවට DJ කරන්නේ සේවාදායකයාගේ ඉල්ලීම මත හෝටල්වලයි. බොහෝ වෙලාවට මම සංගීතය සපයන්නේ විදෙස් රටවල්වල සිට මෙරටට පැමිණ මෙහේ පවත්වන විවාහ උත්සවවලටයි. ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරයත් එක්ක මාසයකට විතර පස්සේ ආයෙත් ටිකක් උත්සව තිබුණත් මේ අවුරුද්දේ මුළු ලෝකයටම කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් එක්කම අපේ රටටත් විදේශිකයන්ගේ පැමිණීම නතර වුණා. ඒ නිසා තවමත් අපිට ප්‍රසංග, උත්සවවලට සංගීතය සපයන්න බැරිවෙලා තියෙනවා. යැයි World music ආයතනයේ අධ්‍යක්ෂ DJ නිරංජන් දේශයට අදහස් දක්වමින් පැවසීය.
ප්‍රසංගයකදී නැතිවම බැරි කලාකරුවෝ කලාකාරියෝ පිරිසක් ද වෙති. බොහෝ විට සිංහල අලුත් අවුරුදු කාලය මෙම ගායක ගායිකාවන්ට කාර්යබහුල කාල වකවානුවක් වෙයි. ඇතැම් දිනවලදී එකම දිනයක් තුළ මෙම ගායක ගායිකාවෝ සංගීත ප්‍රසංග පහකට පමණ සහභාගි වෙති. මීට අමතරව විදෙස් සංගීත ප්‍රසංග බොහෝමයක් පැවැත්වෙන්නේ ද මේ සිංහල අලුත් අවුරුදු සමයේදීය. ඕමාන්, කුවේට්, බහරේන් වැනි මැදපෙරදිග රටවල්වල සංගීත ප්‍රසංග පැවැත්වෙන්නේ ද මේ කාලයේදීය. මේ නිසා බොහෝ කලාකරැවන් කලාකාරියන් තම අනාගත සුබසිද්ධිය උදෙසා යම් ආයෝජනයක් සිදු කරන්නේ ද වසරක් පාසා අතමිට මෙලවෙන මේ කාල වකවානුවේදී ලැබෙන ප්‍රසංගවලින් උපයන මුදලිනි.
නමුත් කොරෝනා වසංගතය ඒ සියල්ල කනපිට පෙරළා තිබේ. සංගීත ප්‍රසංගවලදී නැතිවම බැරි ගායකයකු වූ තීක්ෂණ අනුරාධ එකදිගට වැඩි කාලයක් නිවෙසේ රැඳුණු කාලය වූයේ ද මේ කොරෝනා වසංගත කාලයයි.
කොහොමටත් අපිට රාත්‍රී කාලයේදී විතරයි සංගීත ප්‍රසංග තියෙන්නේ. වැඩි හරියක්ම අපිට සංගීත ප්‍රසංග තියෙන්නේ හැම වසරකදීම අවුරුදු මාසයේ සහ දෙසැම්බර් මාසයෙයි. කොරෝනා වසංගතය අපි හැමෝටම පාඩමක් ඉගැන්වුවා. නිකරැණේ අපේ කාලය නාස්ති කරන්නේ නැතිව ප්‍රසංගවලට අමතරව වෙනත් යහපත් ආදායම් මාර්ගයකට මුලපුරලා තිබුණා නම් මේ කොරෝනා වසංගත කාලයට අපිට මුහුණ දෙන්න තිබුණා. පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය නිසාම අපි හැමෝම මුදල් ලැබෙන්නේ නැති තත්ත්වයකට මුහුණ දුන්නා. අපේ ආදායම් මාර්ග නතර වුණා. අඩුම තරමේ වෙළෙඳසලක් පවත්වාගෙන ගිය මනුස්සයකුට පුංචි හෝ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ප්‍රසංගවලින් ජීවත් වුණු මනුස්සයා හරි අසරණ වුණා. මේ නිසා කලාකරුවන්ට පමණක් නෙමේ ඕනෑම මනුස්සයකු එකම දේකින් තමන්ගේ ආදායම් මාර්ගය බලාපොරොත්තු නොවී යහපත් දේවල්වලින් තමන්ට ආදායමක් එන විදිහට ජීවිතය සැලසුම් කර ගත්තොත් හොඳයි කියන පණිවිඩය කොරෝනා වසංගතය අපිට ඉගැන්වුවා කියලයි මට නම් හිතෙන්නේ. මේක අපි හැමෝටම හොඳ පාඩමක්. මමත් ප්‍රසංග හැටකට කිට්ටුවෙන ප්‍රමාණයක් ඒ වෙද්දී බාර අරගෙනයි තිබුණේ. ලංකාවේ ප්‍රසංග බාරගත්තු නිසා මම විදෙස් ප්‍රසංග බාර අරගෙන තිබුණේ නැහැ. කොහොම වුණත් මේ අමාරු කාලෙටත් අපි කොහොම හරි මුහුණ දෙමු. තීක්ෂණ අනුරාධ පැවසුවේ එලෙසිනි.
ප්‍රසංග වේදිකාවේදී අපූරැ සිනහවක් මුවට නගාගෙන අපූරුවට ගී ගැයුවද, කලාකරුවන්ගේ කලාකාරියන්ගේ ජීවිතවලද බොහෝ ගැටලු පවතී. ඇතැමුන් අදටත් ජීවත් වන්නේ කුලී නිවෙස්වලය. තවමත් යන්නේ පාරේ බස්වලය. ඒ ජීවිතවල කප්පරක් උසට ප්‍රශ්න තිබුණද, ඔවුහු වේදිකාවේ ගී ගයති. කොරෝනා වසංගතයත් සමඟ සියලු දෙනාටම පැනනැගුණු ගැටලු ඔවුන්ට ද මතුවිය. ණය වාරික ගෙවාගන්නට ක්‍රමයක් නොවීය. ඇතැමුන් කනකර උගස් තැබීය. ගෙවල් කුලිය ගෙවන්නට, ලයිට් බිල, වතුර බිල ගෙවන්නට මුදල් නොවීය. ඒ නිසාවෙන්ම රජයෙන් කලාකරුවන්ට සහනදායී ණය පහසුකමක් ලබා දෙන්නට තීරණය විය. නමුත් අද ඔවුන් තවත් අසරණ වී තිබේ.
මේක ලෝක වසංගත තත්ත්වයක්. ලෝක අර්බුදයක්. නමුත් අපේ රට අනෙක් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ ආරක්ෂක පියවර අරගෙන නිසා අපිට ජීවත් වෙන්න වාසනාව ලැබිලා තියෙනවා. මේක මනුස්සයාට මනුදම් උගන්වපු කාලයක්. දැන් මේක කෙමෙන් වියැකී යන තත්ත්වයක් තියෙන්නේ. නමුත් තවමත් බහුතරයක් මේකෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ. අද බහුතරයක් ඉන්නෙ තම තමන්ගේ ආත්මාර්ථකාමී රාමුව තුළයි. මිනිසුන්ට නැගිටින්න රජය විසින් යම් යම් සහන සැලසුවා. කලාකරුවන් හැටියට අපි මැදිහත් වෙලා කලාකරුවන්ට සහන ණයක් ඉල්ලුවා. රජය පැත්තෙන් ඒ දේ ක්‍රියාත්මක කළත් රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක වෙද්දී ඒ බැංකුවල තියෙන ගැටලු නිසා පන්දහසක් වැනි මේ ඉල්ලුම්කරුවන්ට ඒක තවම දුන්නේ නැහැ. මෙය ක්‍රියාත්මක කර මාසයක් ගතවුවත් තවමත් මේ ණය දෙන්න රාජ්‍ය බැංකු මැළිකමක් දක්වනවා. මේ රාජ්‍ය බැංකුවලත් සුන්දර මිනිස්සු ඉන්නවා. නමුත් බහුතරයකගේ දුර්වලකම සහ කම්මැලිකම නිසා අද කලාකරුවන් අසරණ වෙලා. මිනිසුන්ගේ හිත් කලාකරුවන් හැදුවට කලාකරුවන්ගේ හිත් හදන්න මේ මිනිසුන්ට බැරි වුණා. මේ බැංකුවල මිනිසුන්ට අපේ රටේ කලාකරුවන්ට උදව් කරන්න කිසිම ඕනකමක් නැහැ. මිනිසුන්ගේ හිත් හදන්න ගිය අපට අපේ හිත් හදන්න දැන් කවුරැත් නැහැ. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ලේකම් රොහාන් ද සිල්වා දේශයට අදහස් දක්වමින් පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න