ලෝකයේ මෙතෙක් දක්නට නොලැබුණු ආකාරයේ අමුතු හෝටලයක් මේ නොබෝදා කළඑළි බැස්සේ වියට්නාමයේ හැනෝයි නුවරදීය. අත තියන තියන දෙය රත්රනින් දිදුලන්නට ගන්නා මීඩාස් රජුගේ කතාවේදී මෙන් මේ හෝටලය එන සංචාරකයන්ට අත්විඳින්නට ලැබෙන්නේ රත්රන් අත්දැකීමක්ය. මුළු ලෝකයේම දක්නට ඇති කැරට් 24 රත්රනින් සර්වාංගයම පොරොවා ගත් සුඛෝපභෝගී එකම රත්රන් හෝටලය මෙය නිසාය. මේ රත්රන් හෝටලයට කළඑළියට ආවේ කොවිඩ් - 19 අලකලංචිය හේතුවෙන් වීම මෙහි ඇති අපූරැම කාරණාවයි.
කොවිඩ් 19 වසංගතය මුළු ලෝකයම දැන් ඇදගෙන යන්නේ ආර්ථික ආගාධයකටය. එයින් මරු පහර වැදුණේ සංචාරක ව්‍යාපාරයටය. වියට්නාමයද කාලයක් තිස්සේ පැවැති යුද්ධ නිසා අඩපණව තිබී මෑතකදී පණ ගසා ආ රටකි. එරට ආර්ථිකය රුඳී ඇත්තේද සංචාරකයන් මතය. මේ නිසා සංචාරකයන්ට හොඳම සහ ලෝකයේ වෙන කිසිම තැනක නැති අද්විතීය අත්දැකීමක් ලබා දෙන ආකර්ෂණයක් බවට පත්වන්නට හැනෝයිහි ඇති මේ පැරණි හෝටලයේ අයිතිකාර ඇත්තන්ට යස අදහසක් පහළ විය. ඒ අදහසේ ප්‍රථිඵලය වූයේ සර්ව සම්පූර්ණ රත්රන් තැවරූ හෝටලයයි. හැනොයි අගනුවර මැද දැන් දිලිසි දිලිසි ඇති "Dolce Hanoi Golden Lake” වෙත ගොඩවදින ඕනෑම රටක සිට එන ඕනෑම අයෙක් හට තමන් කැමති කාලයකට, අත ගැටෙන හැමදේම රත්රන් බවට පෙරළුණු මීඩාස් රජ්ජුරුවන් ලෙසින් සුඛෝපභෝගී රන් අත්දැකීමක් මැද අතරමං වන්නට ඉඩ සලසා ඇත.
මේ හෝටලේ හැමදේම රත්රන්ය. කෝපි කෝප්පයේ සිට බිත්ති ගඩොල දක්වාත්, දොර අගුලේ සිට වැසිකිළි පෝච්චිය දක්වාත්, නාන තටාකයේ සිට නිදන ඇඳ දක්වාත් සියල්ලම රත්රන්ය. මේ හෝටලයට ගොඩවදින කෙනෙකුට දැනෙන්නේ නියම රාජකීය ලීලාවකි. එහි කාර්යය මණ්ඩලයට ඒ සඳහාම සුවීශේෂී රතු පැහති රන් වැඩ දැමූ එයටම අනන්‍ය වූ නිල ඇඳුමක් පවා නියම කර තිබේ.
ඉපැරණි නගරය පසෙක කොන් වී තිබූ හෝටලය ලෝකෙන්ම අංක 1 ලෙස බබළවන්නට මෙහි අයිති කාරයන් හට ඩොලර් මිලියන 200ක් වැය කරන්නට සිදුව ඇත. එයට සරිලන්නට මෙන් රනින් දිදුලන මේ හෝටලයේ රැයක් ගෙවන්නට ඩොලර් 250ක් වැය කරන්නට කැමැති පිරිස ඕනෑ තරම් සොයා ගන්නට හැකි බව කළමනාකාරිත්වයට වැඩිකල් නොගොස්ම පසක් වී ඇත. දිලිසෙන දේට වහ වැටුණ අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ අරැමෝසමට කැමැති උදවිය වියට්නාමය වෙත ඇදගන්නා දිදුලන ගමනාන්තයක් බවට පත්කරන්නට දැන් මේ "Dolce Hanoi Golden Lake” සමත්ව තිබේ. හෝටලයේ අයිතිකාරයන් කල්පනා කරන්නේ සාමාන්‍ය ජනයාට පවා මේ රත්රන් අත්දැකීම ලබාදිය හැකිමට්ටමට ඉදිරියේදී සහන මිලක් නියම කිරීමටය. තට්ටු 25ක් පුරා මුළුමනින්ම රන් අතුල්ලා ඇති හෝටලයේ දොර ඉසව්වේ සිට බිම ඇතිරූ බුමුතුරුණු දක්වාම රන් පැහැයෙන් දිදුලන්නේ සිහින ලොවකට ඇතුළුවූවාක් බඳු අද්විතීය වින්දනයක් ලබා දෙමිනි. කොටින්ම මෙහි පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පුවේ සිට නාන තටාකයේ පතුල දක්වා සියල්ලම රත්රන්ය. බිත්ති සහ බිම පවා රන් ආලේපිතය. නගරය මැද ඇති තට්ටු 25හේ මේ රන් මාලිගය අමුතුම අපූරුවක් එක්කරන දසුනකි. ඉපැරණි නගරයේ ඇති අනෙක් හෝටලවලට සමාන මිලකටම මේ රන් අත්දැකීම ලබාගත හැකි නිසා කොවිඩ් 19 නිසා සිදු වූ පාඩුව ඉක්මණින්ම පියවා ගන්නට අයිතිකාරයන්ට අවස්ථාව එළැඹ තිබේ. වියට්නාමය තුළ කොවිඩ් 19 බරපතළ ලෙස පැතිර ගියේ නැත. ආසදිතයන් 350ක් පමණ වාර්තා වුවත් මරණ වාර්තා වී නැත. මේ හෝටලයේ විධායක මට්ටමේ සුඛෝපභෝගි ද්විත්ව ඇඳන් සහිත කාමරයක් සඳහා රාත්‍රියකට වැය වන්නේ අමෙරිකානු ඩොලර් 1000කි. ඒ මිල ගෙවා රාජකීය රන් ආශ්වාදය ලබන්නට ඕනෑ තරම් පිරිස ඇදී එන බවයි දැනටමත් ආරංචිය.
සුගත් පී.කුලතුංගආරච්චි