2020 ජුලි 11 වන සෙනසුරාදා

බැංකු පොලිය ආර්ථිකය හසුරුවන ප්‍රධාන සාධකයක්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

කොවිඩ් 19 වසංගතය නිසා අපහසුතාවයට පත්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සියයට 4ක සහන පොලියක් යටතේ ණය නිකුත් කිරීමට පසුගියදා ජනාධිපතිවරයා සමඟ බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදී එකඟ වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සියයට 1ක විශේෂ පොලියකට වාණිජ බැංකුවලට මුදල් මුදාහරින අතර එම මුදල් සියයට 4 සහන පොලී අනුපාතයට අයැදුම්කරුවන්ට නිකුත් කරනු ඇත. මේ වනවිට ඒ සඳහා රුපියල් බිලියන 150ක පමණ මුදලක් ශ්‍රී ලංකා මහබැංකුව එසේ නිකුත් කර ඇති බවද දැනගන්නට ඇත. ණය නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනිවාර්යයෙන් තැන්පත් කළ යුතු සියයට 4 මුදල සියයට 2 දක්වා අඩු කිරීම නිසා වැඩි මුදල් ණය සඳහා ලබාදීමට වාණිජ බැංකුවලට හැකිව තිබේ.

මෙලෙස සුවිශේෂ කණ්ඩායමකට පමණක් අඩු පොලියට ණයදීම සඳහා මුදල් සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකිවීම නිසා මූල්‍ය වෙළෙඳ පොළේ පොලී අර්බුදයක් ඇතිවීමට හේතුවිය හැකි බවට මූල්‍ය විශේෂඥයෝ අනතුරු හඟවති. මේ හේතුවෙන් සමස්ත වෙළෙඳපොළේ පොලී අනුපාතය පහළ වැටීමට ඉඩ තිබීම එයට හේතුව වෙයි. මෙලෙස ණය පොලී අඩු වුවහොත් තැන්පතු පොලියද එයට සාපේක්ෂව පහළ දැමීමට සිදුවීම අනිවාර්ය වෙයි. කෙසේ වුවද විවෘත භාණඩ වෙළෙඳපොළේ මෙන්ම මුදල් පොලියද තීරණය වන්නේ ඉල්ලුම සහ සැපයුම අනුවය. එහෙත් එයට ඉඩ නොදී බාහිර පාර්ශ්වයක් විසින් පොලී අනුපාත තීරණය කර එම පොලියට ණය දෙන ලෙස බලපෑම් කිරීම නිසා මූල්‍ය වෙළෙඳ පොළේ සමස්ත ක්‍රියාවලිය උඩු යටිකුරු වනවා ඇති බවට අනතුරැ හැඟවේ.

වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන ආදායම ලබන්නේ අඩු පොලියට ගන්නා මුදල් වැඩි පොලියට ණය ලෙස දීමෙනි. සාමාන්‍යයෙන් බැංකු සම්ප්‍රදාය අනුව තැන්පතු පොලී සහ ණය පොලී අතර පරතරය සියයට 3-4 ප්‍රමාණයේ ඇත. වාණිජ බැංකු සිය පරිපාලන වියදම් මෙමගින් පියවාගෙන අමතර ආදායමක්ද ලබයි. බොහෝවිට ණය පොලිය තීරණය වන්නේ තැන්පතුවලට ගෙවන පොලිය මතය. තැන්පතුවලට වැඩි පොලියක් ගෙවන්නේ නම් ණය පොලියද ඉහළ දැමීමට පුළුවන. ණය පොලී ඉහළ මට්ටමක පවතින විට ණය ඉල්ලුම් ප්‍රමාණය පහළ යාමෙන් බැංකුවල ආදායමට බලපෑම් ඇතිවෙයි. කෙසේ වුවද තැන්පතු පොලී හා ණය පොලී අතර ප්‍රබල සම්බන්ධතාවක් ගොඩනැගී තිබේ.

තැන්පතු පොලී පහළ දැමීම විශාල ලෙස බලපෑවේ බැංකුවල මුදල් දමා එයින් ලැබෙන ආදායමෙන් ජීවත්වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාවටය. ඔවුන්ට සාමාන්‍ය පොලියට වඩා සියයට 1 හා 1.5ක පමණ වැඩි පොලියක් ගෙවූ අතර ලක්ෂ 15 දක්වා තැන්පතුවලට සියයට 15 විශේෂ පොලියක් ගෙවීමද සිදුවෙමින් පැවතිණ. සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළේ මෙම සියයට 15 සුවිශේෂ පොලී අනුපාතය සියයට 8 දක්වා අඩුකරන බවය. එසේම වසරකට ලක්ෂ 1 ½ක් සඳහා පොලී ආදායමට දුන් බදු සහනයද අහෝසි කරන බව ඔහු පැවසීය. මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා රටේ වැඩිහිටි ප්‍රජාව කැළඹුණු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනට පවතින පොලී අනුපාතය හෝ බදු සහනය ඉවත් නොකරන බවට නිවේදනයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශයට සිදුවිය. එසේ වුවද බොහෝදෙනා පවසන්නේ මෙම තත්ත්වය තාවකාලික වන අතර ළඟ එන මහ මැතිවරණයෙන් පසු පොලී අනුපාත අඩුකරනු ඇති බවය. එයට හේතුව මෙම පහළ පොලී මට්ටම් දිගටම පවත්වාගෙන යන්නේ නම් පවතින පොලියේ සහ ගෙවන පොලියේ වෙනස වාණිජ බැංකුවලට ගෙවීමට රජයට සිදුවීමයි. රටේ පවතින අයහපත් ආර්ථික වාතාවරණය අනුව දිගටම මෙම මුදල් ප්‍රතිපූර්ණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අපහසු වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ සැකපහළ කරති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මේ පිළිබඳව පවසන්නේ මෙලෙස පොලී අනුපාත අවම කිරීම රටේ ආර්ථිකය ප්‍රචාරණය වීමට යහපත් වන අතර මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාම රජයේ වගකීම වන බවය. යම් විධියකින් අතරමගදී මෙම තීරණ වෙනස් වුවහොත් එයින් රටට හා ජනතාවට සිදුවන හානිය තිබුණාටත් වඩා විශාල බව ඔහු කියයි.

රටේ පොලී අනුපාත හැසිරවීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. පොලිය යනු ආර්ථිකය හැසිරවීමේ ප්‍රධාන සාධකයක්. එනිසාම ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන මහ බැංකුව පොලී අනුපාත නියම කරනවා. මේ වනවිට මහ බැංකුව සමස්තයක් ලෙස පොලී අනුපාත අඩුකර තිබෙනවා. මෙහිදී සිදුකර ඇත්තේ මහ බැංකුව වාණිජ බැංකුවලට නිකුත් කරන ණයවල පොලිය පහළ හෙලීමයි. එලෙස පොලිය පහළ දැමූවිට එම ප්‍රමාණය ඉක්මවා ණය පොලිය අය කරන්නට බැංකුවලට බැහැ. වාණිජ බැංකු සාමාන්‍යයෙන් කරනුයේ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙන ඒ අයට පොලියක් ගෙවීමයි. මෙහිදී යම් පොලී පරතරයක් තබා ගන්නවා. මහ බැංකුව ණය පොලී අනුපාත තීරණය කළ විට එයට සාපේක්ෂව තැන්පතුවලට ගෙවන පොලිය තීරණය කිරීමට වාණිජ බැංකුවලට සිදුවනවා. මෙහිදී ගෙවන පොලිය සහ අයකරන පොලියේ පරතරය ආරක්ෂා කර ගැනීමට ඒ ඒ බැංකුවලට සිදුවෙනවා. මෙය සාමාන්‍යයෙන් සියට 3ක පරාසයේ තමා තිබෙන්නේ. උදාහරණයක් ලෙස පැවසුවොත් ණය පොලී අනුපාතය සියයට 10ක් නම් තැන්පතුවලට ගෙවන පොලිය සියයට 7 ප්‍රමාණයේ තබාගන්නට බැංකුවලට සිදුවෙනවා.

පසුගිය වසර 5 තුළ අපේ රටේ ආර්ථිකය විශාල ලෙස බිඳ වැටුණා. 2015 වසරේදී තිබූ සියයට 5 ආර්ථික වර්ධන වේගය 2019 වසර අවසන් වනවිට 2.3ට බැස්සා. මෙම බිඳවැටීම අපේ නිෂ්පාදනවල අලෙවියට සහ ඉල්ලුම හා සෑම අංශයකටම අයහපත් ලෙස බලපෑවා. එසේම නිෂ්පාදනය හා පාරිභෝජනයද ඒ සමගම බිඳ වැටුණා. මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මාස 3-4ක් ඇඳිරි නීතිය පනවා තිබීම නිසා නිෂ්පාදන කටයුතු ඇණහිටියා. කාර්මික නිෂ්පාදන ඇණහිටීම නිසා රටේ ව්‍යාපාරික අංශයට අධික ලෙස පාඩු සිදුවුණා. මේ නිසා තමන් ගත් ණය ගෙවන්න, ලීසිං වාරික ගෙවන්න බැරිවුණා. සේවක වැටුප් ගෙවීමට නොහැකි වූවා. මේ හේතුවෙන් විශාල ලෙස එම ආයතන පාඩු ලැබුවා. මේ ව්‍යාපාර දිරිගන්වන්න රජය මැදිහත්වීම අවශ්‍ය වුණා. මෙහිදී බිඳ වැටුණු ව්‍යාපාර යළි නගා සිටුවීමට වගේම නව ව්‍යාපාර ඇති කිරීමටද උනන්දු විය යුතුයි.

අපේ රටට පමණක් නොව මුළු ලොවටම මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවුණා. එම රටවල් නිෂ්පාදකයා හා පාරිභෝගිකයා දිරිගැන්වීමේ විවිධ පැකේජ හඳුන්වා දුන්නා. ඇමෙරිකාව මේ සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3ක පැකේජයක් ගෙනාවා. ජපානයද එසේයි. අපේ රටේ මේ සහන පැකේජය ගෙන ඒමට ප්‍රමාද වුණා. අන්තිමේදී එයට ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවුණා. ශ්‍රී ලංකාවේ මෙම සහන පැකේජයේ ප්‍රධාන අංග දෙකක් අඩංගු වුණා. රැපියල් 5000 බැගින් ආධාර දී පාරිභෝගිකයා නගා සිටුවීම එක් කොටසක්. මෙහිදී පාරිභෝගිකයාට මුදල් ලැබුණු විට ඉල්ලුම ඉහළ යනවා. එයට සාපේක්ෂව නිෂ්පාදකයාට මුදල් ලැබෙනවා. ඔහුට නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට හැකිවෙනවා.

ණය පොලී අඩු කිරීම මෙහි අනිත් කොටසයි. මෙහිදී බැංකුවලින් අලුත් ණය ලබාගෙන පරණ ණය ගෙවන්න හැකිවෙනවා. ලීසිං වාරික ගෙවිය හැකි වෙනවා. අලුත් ව්‍යාපාර අරඹන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව කාරක ප්‍රාග්ධනය (Working Capital) සඳහා සියයට 4ක පොලියට ව්‍යාපාරවලට යෙදවීමට නියම කළා. මෙය හදිසි කටයුතුවලට කෙටිකාලයකට දෙන ණයයි. රැපියල් බිලියන 150ක් මුල් අවදියේ දුන්නා. රටේ නිෂ්පාදනය දිරිගැන්වීම මෙහි අරමුණ වුණා. ණය පොලිය පහළ යාම නිසා වාණිජ බැංකුවල තැන්පතුවලට ගෙවන පොලිය අඩුවුණා.

බැංකුවලින් අවම පොලියට ණය ගන්නවා. පෞද්ගලික අවශ්‍යතා සහ ව්‍යාපාරවලටද මෙලෙස ණය ගත හැකියි. ව්‍යාපාරිකයන් මෙමගින් ස්වකීය ව්‍යාපාර ප්‍රවර්ධනය කරගන්නවා. ව්‍යාපාර පිරිවැය අඩුවෙනවා. පිරිවැය අඩුවන විට ව්‍යාපාරිකයන් වැඩිපුර ණය ගැනීමට පෙළඹෙනවා. එසේම පෞද්ගලික අයද අඩු පොලියට ණය ගෙන තම අවශ්‍යතා ඉටුකර ගන්නවා. ඉඩකඩම් මිලට ගැනීම ගෙවල් දොරවල් තැනිම, මේ අනුව ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව තුළ මෙයින් ප්‍රබෝධයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ තත්ත්වය දිගු කාලයක් තබාගන්න හැකිවුවහොත් රටේ සමස්ථ ආර්ථිකය ප්‍රසාරණය වේවි.

මෙහිදී තැන්පත්කරැවන්ගේ ණය පොලී ආදායම පහළ යාම නිසා (1/3 පමණ) ඔවුන්ට කෙටිකාලීනව මෙය අහිතකරව බලපාන්නට පටන් ගත්තා. මාස් පතා පොලිය ලබාගෙන ජීවත් වන අය අමාරුවක වැටුණා. මෙය ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා අහිතකරව බලපෑවා. තැන්පතු පොලිය ජීවිකා වෘත්තිය කරගත් අය ඉන්නවා. විශ්‍රාමිකයන් ඒ අතර ප්‍රධානයි.

විශාල ආදායම් ලබන දොස්තරවරු, ඉංජිනේරුවන් ආදී වෘත්තිකයන් තම අතිරික්ත මුදල බැංකුවල දැමූ විට ලැබෙන පොලිය අඩුවීම නිසා ඒ අයගේ ආයෝජන අවස්ථාවලටද පහර වැදුණා. මේ අතර ලක්ෂ 15ක් දක්වා තැන්පතුවලට වැඩිහිටියන්ට සියයට 15ක සුවිශේෂ පොලියක් ගෙවීමද නවතා ඇති බවට ප්‍රචාරය වුණා. එය නිවැරදි කිරීමට මුදල් අමාත්‍යංශයට සිදුවුණා.

රටේ මූල්‍ය ප්‍රතිපත්ති හසුරැවන විට බැලිය යුත්තේ නිෂ්පාදන පිරිවැය පහළ මට්ටමකට ගෙන ඒමටයි. නිෂ්පාදන පිරිවැය ඉහළ නම් අපනයනයේදී ජාත්‍යන්තර මිල සමඟ තරග කිරීම අපහසු වෙනවා. මෙහිදී උත්සාහ කළ යුත්තේ නිෂ්පාදන අංශවල සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීමටයි. ඒ සඳහා නිෂ්පාදන වැය අවම විය යුතුයි. එසේ නොවී නිෂ්පාදන පිරිවැය ඉහළ ගියහොත් රටේ නිෂ්පාදනය පහළ යනවා. එහිදී නිෂ්පාදන සාධකවලට ඉල්ලුම අඩුවෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුකියා උත්පාදනය පහළ යනවා. එයින් මිදෙන්නට නම් පොලී මට්ටම අඩුවිය යුතුයි. එහිදී මිල මට්ටම පහළ ගොස් උද්ධමනය අඩුවෙනවා. ආර්ථිකය ප්‍රසාරණය වීමට හේතුවෙනවා.

මේ තත්ත්වය දීර්ඝකාලීනව තබාගත යුතුයි. ආර්ථිකය පණ ගැන්වීම සඳහා මෙහිදී යම් කැපකිරීමක් කළයුතු වෙනවා. තැන්පතු පොලිය අඩුවෙන් ලබාගැනීම මෙම කැපකිරීම වෙනවා. මේ නිසා දීර්ඝකාලීනව ලැබෙන යහපත විශාලයි. අද ගැන නොව හෙට ගැන බැලිය යුතුයි. දිගුකාලීන ලෙස රුකියා සුලබ වීම, බඩු මිල පහළ යාම මෙහිදී ලැබෙන යහපත් ප්‍රතිඵලයි.

ඒ ගැන රජය මෙන්ම ජනතාවද වටහාගත යුතු වෙනවා. රජයේ වගකීමක් තිබෙනවා මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාම. එසේ නැතුව දේශපාලන වාසි ලබාගැනීමට හෝ වෙනත් කරැණු නිසා පවතින තත්ත්වය ආපස්සට නොහරවා දිගටම ස්ථාවරව තබා ගැනීම වගකිවයුත්තන්ගේ යුතුකමයි.

 යසවර්ධන රුද්රිගු