උතුරේ සහ නැගෙනහිර දේශපාලනඥයන්ගේ ප්‍රකාශ දකුණේ දේශපාලන වේදිකාව කලින් කලට උණුසුම් කිරීම දැන් සාමාන්‍යකරණය වී ඇති සේය. පසුගියදා සූරියන් එෆ්.එම්. නාලිකාවේ විරුදගල් වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් සිදුකළ ප්‍රකාශයද එවැන්නකි. ඒ ප්‍රකාශ මත පදනම්ව දැන් දකුණේ දේශපාලන වේදිකාව උණුසුම් වීමට හේතුවක් වී තිබේ.
විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශ හේතුවෙන් දකුණේ දේශපාලන ගිනි ඇවිලුණු පළමු අවස්ථාව මෙය නොවේ. කෙසේ නමුත් මෙවර ප්‍රකාශද අපට මඟහැර යා නොහැකි සංවාදයක් දකුණේ නිර්මාණය කර තිබේ.
විජයකලා: ඒ කාලේ ඡන්දය රනිල් වික්‍රමසිංහට දීලා තිබ්බා නම් උතුරු නැගෙනහිර හිටපු නායකයා දැන් උතුරු නැගෙනහිර ආණ්ඩුකාරයා වෙලා ජීවත්වෙනවා. මුලින්ම මම තරග කරනකොටත් ගොඩක් අභියෝවලට මුහුණ දුන්නා. මම ජනාධිපතිතුමාට එක දෙයක් කියන්න කැමතියි. මගේ හිත් රිදීමට හේතුව. ඔයගොල්ලෝ යුද්ධය ඉවර කරන්න කලින් අපි ආරක්ෂිතව ජීවත් වුණා.
නිවේදක: ඔබ කියන්නේ එල්.ටී.ටී.ඊ. කාලේ තිබුණ පරිපාලනයද?
විජයකලා: ඒ කාලේ තිබුණ පරිපාලන නැවත ගේන්න. ඔයගොල්ලෝ බලයට ඇවිත් අපි බයේ ජීවත්වෙන්නේ.
(උපුටා ගැනීම හිරු නිවුස්)
මෙය දීර්ඝ සංවාදයක එක්තරා කොටසකි. විජයකලා මහේෂ්වරන් සමස්තයක් ලෙස මෙම සංවාදයේදී එල්.ටී.ටී.ඊ. පාලන සමය පිළිබඳව සතුටින් කතාකර තිබේ. උතුරේ තවමත් වීරයා ප්‍රභාකරන් බව උතුරෙන් ඇසෙන මෙවැනි කතාවලින් අපට පෙනී යයි. මෙහිදී සිවාජිලිංගම්ද ප්‍රභාකරන් පිළිබඳ පසුගියදා මෙවැනිම ප්‍රශස්ති කියූ බව කිව යුතුය. කරුණා අම්මාන්ද පසුගියදා තමන්ගේ ත්‍රස්ත ක්‍රියා උත්කර්ෂයට නැංවූයේය. මේ සියල්ල උතුරු නැගෙනහිර මනාප සටන වෙනුවෙනි. එහෙත් දකුණේ සැමට උතුර නැගෙනහිර දේශපාලනය පිළිබඳ කියවා ගැනීමකට මෙම ප්‍රකාශ අතිශය වැදගත්ය. එහෙත් දකුණේද සිදුවන්නේ මෙවන් ප්‍රකාශ මතින් දේශපාලන වාසි ලබාගැනීමක් බව පෙන්නට ඇත.
උදාහරණයක් ලෙස මීට පෙර රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරන සමයේදී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශ සැලකිය හැකිය. එය මීට බරපතළය. 2018 ජූලි දෙවැනිදා යාපනයේ රාජ්‍ය උත්සවයකදී ඇය එම ප්‍රකාශ සිදුකර තිබුණි. ඇය එදා කියා තිබුණේ දැනට තිබෙන තත්ත්වය මත එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවයි. උතුරු නැගෙනහිර බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට එල්.ටී.ටී.ඊ.ය නැවත ගොඩනැගිය යුතු බවයි. 2018 වසරේ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි මෙන්ම විශාල සංවාදයක්ද ගොඩනැගුනේය. නමුත් ඒ සියල්ල කාලයත් සමඟ රටට අමතකව ගියේය.
මෙවර ප්‍රකාශයට එරෙහිවද දකුණේ ජාතික සංවිධාන කිහිපයක් පොලිස් පැමිණිලි ඉදිරිපත් කර තිබේ. බොහෝ දේශපාලකයන් මෙන්ම විද්වත් පාර්ශ්වද මේ සම්බන්ධව විවේචන ඉදිරිපත් කරමින් සිටිති. බැලූ බැල්මට මෙවැනි ප්‍රකාශ රටේ මූලික නීතිය උල්ලංඝනය කරන බව පෙනී යයි. එහෙත් නීතිය මෙම ප්‍රකාශවලට එරෙහිව ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැත. දේශපාලනය තුළද මෙවැනි ප්‍රකාශ පිළිබඳ සාධනීය කියවා ගැනීමක් ඇතිවන බවක් පෙනෙන්නට නැත. නමුත් සමස්ත රටේ අනාගතය කෙරෙහි මෙම ප්‍රකාශ අහිතකර ලෙස බලපානු සහතිකය. තවත් බෙදීම් යුද්ධ ඇතිවීමට නියත වශයෙන් මේ ප්‍රකාශ පොහොර දැමීමකි.
චමිඳු නිසල් ද සිල්වා
මේ වගේ ප්‍රකාශවලට උත්තර දෙන්නත් ඕන නෑ
හිටපු හමුදාපති දයා රත්නායක (වරාය අධිකාරියේ සභාපති)
මේවා එක එක අවස්ථාවල දේශපාලන වාසි ලබාගන්න සිදුකරන ප්‍රකාශ. ප්‍රභාකරන්ගේ පාලන සමයේ තිබුණ නිදහස නිසා වෙන්න ඇති ඇයට ඇගේ ස්වාමිපුරුෂයාත් නැති වුණේ. මේ වගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීම සුදුසු නෑ කියලයි මම හිතන්නේ. ප්‍රභාකරන්ගේ දේශපාලන නිදහස අපි දැක්කා. සමස්ත ලෝකයේම බිහිවුණු දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම පාලනය කරනකොට නිදහසක් තිබුණා කියලා යම් අයෙක් කියනවා නම් ඒක මොලේ හොඳ නැතිකමක්.
මෙහෙම වෙලා තියෙන්නේ උතුරේ දේශපාලකයන්ට තමන්ගේ පෞරුෂයක් අනන්‍යතාවයක් ගොඩනගා ගන්න බැරි නිසා. මේ අය මැරිච්ච ප්‍රභාකරන්ව ඉස්සරහාට දාගෙන යනවා. විජයකලා මහේෂ්වරන්ටත් ආත්ම විශ්වාසයක් අනන්‍යතාවක් නෑ නායකත්වයක් ගොඩනගා ගන්න. ඒ නිසා ප්‍රභාකරන්ගේ නමින් දේශපාලනය කරනවා. ගොඩනැගුණු නායකත්වයක් පස්සේ යනවා. දැන් ප්‍රභාකරන් මැරිලාත් අවුරුදු එකොළහක්.
මේ වගේ මත දරණ අය සමාජයේ ඉන්නවා. මේ මත නිසාමයි අපි ගැටිලා අවුරුදු තිහක් යුද්ධ කර ගත්තේ. මිනිස්සුන්ට ආත්ම විශ්වාසයක් විනයක් තියෙන්න ඕනෑ. නැත්නම් ගොඩනගාගන්න ඕන. එහෙම නොවුණාම තමා එක එක්කෙනාගේ පස්සේ යන්නේ. අනුන්ගේ මත දරන්නේ. තමන්ගේ මත නැත්තේ. මේ අයටත් වෙලා තියෙන්නේ ඒක. ඔවුන්ටම ගැලපෙන ලෙස දේශපාලන පක්ෂත් ඔවුන්ව සම්බන්ධ කරගෙන වැඩ කරගෙන යනවා.
උතුරේ වගේම දකුණේ දේශපාලනඥයනුත් මේ කතාවලින් වළකින්න ඕනෑ
ගාමිණී වියන්ගොඩ (පුරවැසි බලය සම කැඳවුම්කරු)
විජයකලාගේ ප්‍රකාශ කරුණා අම්මාන්ගේ ප්‍රකාශ මේ සියල්ලම එන්නේ මැතිවරණ සන්දර්භයක් ඇතුලේ. දකුණේ දේශපාලනඥයෝ සිංහල ජාතියේ අභිමානය අවුස්සන විදිහේ දේවල් කියනවා. සිංහල ඡන්ද ලබාගන්න. උතුරේ අයත් ඒවාගේ ප්‍රකාශ කරනවා තමා අපි දැක්කේ. ඒ වගේ දේවල් කිව්වාම ඡන්ද දායකයෝ තමන්ට ඡන්දය දෙයි කියලා ඒ අය විශ්වාස කරනවා.
මහේෂ්වරන්ගේ ප්‍රකාශ නම් ඊට වෙනස් සන්දර්භයකයි තිබුණේ. මට මතක හැටියට ආරක්ෂාවක් නැති තත්ත්වයක් තිබුණා. කඩු අරගෙන ගිහිල්ලා කපලා තිබුණා. ඒ නිසා එයා අදහස් කළේ ප්‍රභාකරන්ගෙන් කාලයේදී නම් මෙහෙම දේවල් තිබුණේ නෑ කියන එක. ප්‍රභාකරන්ගේ දැඩි බවක් තිබුණා, ප්‍රභාකරන් ගැන බයක් තිබුණා... ඒ නිසා මේ වගේ දේවල් සිද්ධවුණේ නෑ කියලා. ඒ නිසා එදා ඇය කීවේ ඒ ආරක්ෂාව ජනතාවට අවශ්‍යයි කියන කාරණය. මම නම් වරදක් දකින්නේ නෑ ඒ ප්‍රකාශයේ.
නමුත් යම්කිසි කෙනෙක් ප්‍රභාකරන්ගේ කාලයේ තිබුණු සාධනීය දෙයක් නිශේධනීය දෙයක් ලෙස දැන් කතා කරන්නේ එය උත්කර්ෂයට නැංවීමට නම් මම ඒකට එකඟ නෑ. උදාහරණයක් විදිහට අපි කවුරුත් දන්නවා කරුණා අම්මාන් කියන ඔය ඝාතනය යුද්ධය සමයේ සිදුවුණා කියලා. නමුත් ඔහු අද එය කියන්නේ එය උත්කර්ෂයට නැංවීමට මිසක් විවේචන කිරීම වෙනුවෙන් නෙවෙයි. ඔහු නැවතත් කියලා තිබුණා දැන් ඉන්න ටී.එන්.ඒ. එකේ අයටත් එය නොකිරීම ගැන කනගාටුවෙනවා කියලා. මේවා හරිම භයානක ප්‍රකාශ.
විජයකලා අර ප්‍රකාශ කළේ අනාරක්ෂිත තත්ත්වයක් එහේ ඇතිවුණ වෙලාවක. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ යුද්ධය ඇතුළේ වුණ දෑ පිළිබඳ උතුරේ වගේම දකුණේ දේශපාලකයන් උත්කර්ෂයක් ඇතිකිරීමෙන් වළකින්න ඕනෑ. ඡන්ද බලාපොරොත්තුවෙන් කරන මේ ප්‍රකාශවලින් සිදුවෙන්නේ ජාතීන් දෙක අතරේ පාලමක් බැඳීමට ඇති ඉඩකඩ තව තවත් ඈත්වීමයි.
මිනිස්සු අවුස්සලා ඡන්ද ගන්න කියන කතා
අරුන් සිද්ධාර්ථන් (යාපනය දිස්ත්‍රික් මහමැතිවරණය අපේක්ෂක)
මහේෂ්වරන් මහත්තයාට මේ පැත්තේ අය කියන්නේ භූමිතෙල් මහේෂ්වරන් කියලා. එහෙම කියන්නේ යුද්ධ කාලයේදී ඉන්ධන සීමාකරලා තිබ්බා උතුරට. මහේෂ්වරන් ඔහුගේ දේශපාලන සම්බන්ධතා හරහා භූමිතෙල් ගෙන්නුවා. මිනිස්සුන්ට වගාකරන යන්ත්‍රවලට තෙල් ප්‍රශ්නය තිබ්බා. එදා ලීටරයක් රුපියල් දෙදාහට අරගෙන ගොවිතැන් කරපු අය ඉන්නවා. ඒ වගේ සූරාකෑමකින් තමා මේ අය දේශපාලනයට ආවේ. අපි මේ අයට කියන්නේ භුමිතෙල් විකුණලා නැව් ගෙනාපු අය කියලා.
විජයකලා මහේෂ්වරන් එන්නේ අනුකම්පාව පාවිච්චි කරලා දේශපාලනයට. මේ පොළොවේ මොනවාද වුණේ කියලා විජයකලාලට කියවීමක් නෑ. මිනිස්සු අවබෝධයෙන් වරදක් නොකර ඉන්න එකයි, තර්ජනවලට තුවක්කුවලට බයේ වරදක් නොකර ඉන්න එකයි පැහැදිලිවම දෙකක්. මම වරදක් නොකර සමාජයේ ජීවත්වෙන්න ඕනෑ කියලා අවබෝධයෙන් කටයුතු කරන්න ඕනෑ. ඒක තුවක්කුවෙන් කරලා, තුවක්කු නැතිවෙනකොට සිද්ධවෙන අපරාධ තමා දැන් වෙන්නේ. තුවක්කු නැති වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවය එළියට එනවා. ඇය අර වේදිකාවේ කියන එල්.ටී.ටී.ඊ.ය නැවත එන්න ඕනෑ එල්.ටී.ටී.ඊ. කාලේ අපි හොඳටම ජීවත් වුණා කියන කතාව මං සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
මොවුන් මේවා කියන්නේ දේශපාලන වේදිකාවේ ඉඳන් මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සලා ඡන්ද ගන්න. ආයුධ සන්නද්ධ සංවිධානවලට සම්බන්ධ වෙලා මැරුණු අයගේ පවුල් අද ජීවත්වෙන විදිහ දැක්කොත් ඔයගොල්ලොත් අඬාවි. අපිට ආයුධ අතට දුන්නා. මහා විරුවෝ අනම්මනම් කියලා. අද එයාලගේ හිටපු ලොක්කෝ ලක්ෂරි ජීවිත ගත කරනවා. මෙයාලා අද ඒ ලක්ෂරි ජීවිත ආරක්ෂා කරගන්න තමා මේවා කියන්නේ. අවංක වුවමනාවක් තිබුණා නම් විජයකලාට බලය තිබුණා යුද්ධයෙන් මැරුණු අයගේ පවුල්වලට උදව් කරන්න. අතුරුදන් වුණු අය ගැන කතා කරනවා. දේශපාලන සිරකරුවන් ගැන කතා කරනවා. අඩු ගානේ ඒ පවුල්වලට මොනවා හරි කරන්න එපැයි. වේදිකාවේ කතාකරන්න කලින් හිරගෙවල් ඇතුළේ ඉන්න අයගේ නඩුවලට හරි මෙයාලා උදව් කරන්න එපැයි. එහෙම වෙලා නෑ. සීමිත පිරිසකගේ සුඛෝපභෝගී ජීවිත වෙනුවෙන් බහුතර මිනිස්සු අමාරැවේ වැටෙනවා. මේවාට විරැද්ධව තමා මිනිස්සු සටන් කරන්න ඕනෑ. මේවා කියන්නේ කා එක්කවත් තියෙන තරහට නෙවෙයි. මේවාෙය් දුක දැකලා... විඳලා තියෙන නිසා.