2020 ජුලි 11 වන සෙනසුරාදා

වැටිච්ච ආදායම් මට්ටමෙන් ගොඩ එන්න ඕනෑ

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

පසුගිය දශක දෙක තුළ ලෝක ආර්ථිකය දෙගුණයකින් වර්ධනය වනවිට ආසියාවේ ආර්ථිකය තුන් ගුණයකින් වර්ධනය වී ඇත. වසර 2030 වනවිට ලෝක ආර්ථීකය දැනට පවතින මට්ටම සියයට පනහකින් සහ ආසියාවේ ආර්ථිකය සමස්ත ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් තරමට ප‍්‍රසාරණය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්යේෂණ වාර්තාවක් අනාවරණය කර තිබුණි. මෙම සංවර්ධන ඉලක්ක වෙනස් විය හැකිය. මුළු ලෝකයටම බලපා ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉරණම තීන්දු කරන තරමට බලවත්ව තිබේ. එහෙත් ජගත් ප‍්‍රජාව ධෛර්යය අත් හරින්නේ නැත. අභියෝග මැඩ අලුත් වටයකින් ඉදිරියට එන අප්‍රතිහත උත්සාහයක සිටී. ශ‍්‍රී ලංකාවේ අනාගතය කොතැනකද? එයට නිවැරදි උත්තරයක් නැත.

2019 මහ බැංකු වාර්තාව අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පහත වැටී තිබේ. දළ දේශීය නිෂ්පාදනය සීමා වී ඇත. ජනගහන අනුපාතය අනුව ඒක පුද්ගල ආදායම බලපවත්වන බව සැලකිය යුතුය. ලෝක බැංකුව මෙම තොරතුරු පදනම් කරගෙන ලෝක බැංකුව මෙම ජූලි මාසයේ සකස් කරන ලද වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටක තැනට පහත වැටී ඇත. මැදි ආදායම් රටක් වශයෙන් ඉහළට නැගෙමින් තිබුණ ශ‍්‍රී ලංකාව මෙම කාණ්ඩයට අයත් වීම තුළ වාසි පමණක් නොව අවාසි ද තිබේ.

පහළ මැදි ආදායම් තැනට වැටෙන හේතු සොයා බැලීම

මෑත කාලය තුළ මෙරට දේශපාලන තීන්දු පැවැත්ම සම්බන්ධයෙන් අභියෝග කර තිබේ. ආර්ථික ගමන ගැන දැක්ම ව්‍යාකූල කළේය. ත‍්‍රස්තවාදය තුරන් කර සාමකාමී කාල පරිච්ඡේදයට අවතීර්ණ වීම සමඟ වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති විය. එහෙත් ආණ්ඩු වෙනස් වීම තුළ ගමන් මග සම්බන්ධයෙන් අනිටු ඵලවිපාක දැකගත හැකිවිය. පැවැති යහපාලන ආණ්ඩුව හා එයට කලින් තිබුණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව අතර ප‍්‍රතිපත්ති අතින් විශාල වෙනස්කම් නොවීය. විවෘත ආර්ථිකය හා ආයෝජනයට දෙන ඉඩ හසර ගැන යහපාලන ආණ්ඩුවට වඩා පුළුල් ද්‍රෘෂ්ඨියක් තිබුණ බව නිරීක්ෂණය කළ හැකිය. ලෝකයේ පවතින තරගකාරීත්වය හා එයට සමපාත වීම අවශ්‍ය බව තේරැම් ගෙන තිබුණි. අධික ණය ගෙන රට තුළ ආයෝජන නංවනු වෙනුවට දෙස් විදෙස් ආයෝජකයන් කැඳවා ව්‍යවසාය අරඹන පියවර ගනිමින් සිටියේය. එහෙත් පක්ෂ දේශපාලනය සහ විධායක, ව්‍යවස්ථාදායක අතර නොගැලපීම ඉදිරියේ තීන්දු ගැනීම වේගවත් වූයේ නැත. ප‍්‍රශ්න පැන නැගිණ. එක පැත්තකින් ගන්නා තීරණ අනෙක් පැත්තකින් අවලංගු  කරන ස්වභාවයක් දැකගත හැකි විය.

අවිනිශ්චිතභාවය හා අපේක්ෂිත ආයෝජන නොලැබීම හමුවේ ආර්ථික වර්ධනය සීමා සහිත විය. මහ බැංකු වාර්තා දක්වන පරිදි ශ‍්‍රී ලංකාව දශක දෙකකට පමණ පසු අවම සංවර්ධන වේගය වාර්තා කර තිබේ. 2018 වසරේ සියයට 3.3 ක් වූ අතර 2019 වසරේදී සියයට 2.3 ක් විය. පාස්කු ඉරිදා ප‍්‍රහාරය හා කොවිඩ්-19 වසංගත තත්ත්වය ශ‍්‍රී ලංකාවට තවත් නරක අතට බලපා තිබේ. සමහරවිට 2020 වසරේ ආර්ථිකය අවගමනය වනු ඇති අතර රින 0.5 ක පවතිනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දී තිබුණි. එහෙත් ශ‍්‍රී ලංකා මහ බැංකුව එම නිගමනයට එකඟ නැත. ප‍්‍රතිසංස්කරණ හා අලුත් තීරණ අනුව සියයට හතරක වර්ධනයකින් වසර අවසන් කරගත හැකි වෙතැයි පුරෝකතනය කර ඇත.

එය පහසු කාර්යයක් නොවේ. මෙරට ආදායම් උත්පාදන අංශ අඩපණ වී තිබේ. වියදම පාලනය කරන තද පියවර ගෙන ඇත. අපනයන පාලනය කිරීම එහි එක පැත්තකි. කර්මාන්ත හා ව්‍යාපාර පැවැත්ම ගැන ගැටලුවලට මුහුණ පා ඇත. මහ බැංකුව වහා කාරක ප‍්‍රාග්ධනය සපයන සහ අලුත් ආයෝජන ණය නිකුත් කරන තීරණ ගෙන තිබේ. එහෙත් ඒවායෙන් ප‍්‍රතිඵල ලබනු සඳහා ලෝක ආර්ථිකයේ සක‍්‍රීය බවක් ද අවශ්‍යය.

රට වෙනස් ආර්ථික කාණ්ඩයකට අයත් කරන ලෝක බැංකුව

අඩු ආදායම් ලබන තැනක සිටි ශ‍්‍රී ලංකාව මැදි ආදායම් හා එතැනින් නතර නොවී ඉහළ මැදි ආදායම් ස්ථරයට ඇතුළු වෙමින් සිටියේය. 2020 වසරේ ලෝක බැංකුව සිය නිර්ණායක අනුව ඉහළ මැදි ආදායමට අයත් වන රටවල ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4,026ක් විය යුතු යැයි දක්වා තිබේ. 2018 වසරේදී ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4,079ක සිටි ශ‍්‍රී ලංකාව 2019දී අමෙරිකානු ඩොලර් 3,852 තෙක් පහලට ගමන් කර ඇත. රට තුළ නිෂ්පාදනය අඩුවන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ එක පුද්ගලයෙකුට හිමි කොටස සීමා වී තිබේ. මෙය තාවකාලික තත්ත්වයක් විය හැකිය. හොඳ ප‍්‍රතිපත්ති අනුව වේගවත් ප‍්‍රතිසංස්කරණ අනුගමනය කළහොත් මෙතැනින් ගැලවී ඉහළ වර්ධනයකට යා හැකිය. කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය බෙලහීන වී ඇති අවස්ථාවක අලුත් පැතිවලින් කල්පනා කර නිෂ්පාදනය නැංවීම, සේවා ආර්ථිකය දියුණු කිරීම සහ විදේශ වෙළෙඳාම නැංවුවහොත් එය අපහසු කාරණයක් නොවේ. එහෙත් තීරණ ගැනීමේ ක‍්‍රමවේදය ඉතා සියුම් තැනකට ගෙන ආ යුතුය. රාජ්‍ය අංශය ශක්තිමත් කරන අතර පෞද්ගලික අංශයට වැඩි අවකාශයක් අත්පත්කර දෙන්නට අවශ්‍යය.

ලෝක බැංකුවේ වර්ගීකරණය අනුව ශ‍්‍රී ලංකාව අයත්වන පහළ මැදි ආදායම් කාණ්ඩයට රටවල් සෑහෙන ප‍්‍රමාණයක් ඇතුළත්ය. එම රටවල නාමලේඛනය කියවන විට අප පත්ව ඇති ඉරණම විදහා දැක්වෙයි. නිදහස ලබන වකවානුවේ සිංගප්පූරුව, තායිවානය, මැලේසියාව හා තායිලන්තය වැනි රටවල්වලට සමව හෝ ඉදිරියෙන් සිටි ශ‍්‍රී ලංකාව දැන් කතා කරන්නේ බොලිවියාව, කාම්බෝජය තරමටය. භූතානය, බංගලාදේශය, බොලිවියා, කොංගෝ, සැල්වදෝරා, ඝානා සහ කෙන්යාව පහළ මැදි ආදායම් ලබන රටවල් ලැයිස්තුවේ ඇති රටවල් අතරින් කිහිපයකි. 

මෙකී රටවලට වඩා දක්ෂ මානව සම්පතක් අපට තිබේ. සාරවත් පසක් සහ දේශගුණයක් සහිතය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් අතර නවීන නීති රීති අනුව ක‍්‍රියාත්මක වෙයි. මහා මාර්ග, වරාය, ගුවන් තොටුපොළ සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉහළ ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇත. නමුත් තීරණ ගැනීමේදී මෙම යම්තරමකට පසුගාමී රටවලට වඩා ඉදිරියෙන් ක‍්‍රියා කරන්නට අසමත් වීම ගැටලුවකි.

දියුණු රටවල් ඉදිරියට පැමිණි ගමන් මග

දකුණු කොරියාව දියුණුවට පදනම් වූයේ 1960-90 කාල පරාසයයි. කොළඹට නුදුරු මුඩුක්කු ප‍්‍රදේශය කොරියාව සේ නම් කරන හේතුව එවකට තිබුණ පසුබිම බව වටහා ගත යුතුය. අද කොරියාව එවැනි දුක්ඛිත තැනෙක තබන්නට පුළුවන්කමක් නැත. තාක්ෂණික නිෂ්පාදන, කාර්මික දියුණුව, කෘෂිකර්මය ඉතාම ඉහළ විභවයකය. අතීතයේදී කොරියාවේ කර්මාන්ත හා ව්‍යාපාර ගැටලු රාශියකින් හෙම්බත් වී සිටියේය. වෘත්තීය අරගල, වැටුප් ප‍්‍රශ්න නොයෙක් අවස්ථාවල මතු විය. පොලී අනුපාත ඉහළ මට්ටමක තිබුණ අතර මිල තරගකාරීත්වය නොතිබීම එරට නිපැයුම් අපනයනයට තිබුණ විශාලතම බාධාව වශයෙන් දැක්විණ. වැඩි වැටුප්, වැඩි පොලී සහ අඩු ඵලදායීතාව නිසා කඩා වැටුණ එරට වෙළෙඳාම යළි නගා සිටුවන්නට හැකි වූයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සමගය.

ජනගහනයෙන් සියයට 60 ක් දිනකට අමෙරිකානු ඩොලර් 1.5 කට අඩු ආදායමක් ලබන දරිද්‍රතාවයක 1990 වසරේදී චීනයේ තිබුණි. 2005 දී සියයට 40 දක්වා අඩු වූ අතර 2015 වනවිට සියයට 6 දක්වා පහළ ගියේය. අද වනවිට අමෙරිකාවට හිසරදයක් වන තරමට  චීනය ආර්ථික අතින් බලවත්ය. මෙම කාලය තුළ චීනය වෙළෙඳපොළ සාධකය පිළිගත්තේය. අවුරුදු පහක් ඇතුළත එරට රාජ්‍ය ව්‍යවසාය ලක්ෂ ගණනික් පෞද්ගලිකකරණය කළේය. සුබසාධන වියදම් අඩු කළ අතර නිෂ්පාදනය වැඩි කරන අලුත් පැතිවලට අවධානය යොමු කරන ලදී.

ඉන්දියාවේ අත්දැකීම ද මෙයට නොදෙවැනිය. දිනකට අමෙරිකානු ඩොලර් 1.5 කට අඩු ආදායමක් ලබන පිරිස 1990දී ජනගහනයෙන් 51% සිට 2005දී 42% දක්වා අඩු වී ඇත. එය 2015 වනවිට 25% එනම් සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකට සීමා විය. හිටපු අගමැති මන්මෝහන් සිං මහතා එම ධූරයට පත්වන්නට කලින් මුදල් ඇමතිවරයා වශයෙන් හඳුන්වා දුන් විප්ලවීය ප‍්‍රතිපත්ති මෙම සංවර්ධනයට හේතු වූ බව ප‍්‍රකාශ වෙයි. 

රටට හිමි විය යුතු තැන ගැන අලුතින් හිතන්න 

1960 ගණන්වල ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 152 කි. 1998 වනවිට එය අමෙරිකානු ඩොලර් 1,970 දක්වා පැමිණ ඇත. දැන් ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3,852කි. හාරදහස ඉක්වමා තිබුණ තැන සිට සුළු පහත වැටීමක් වාර්තා කර තිබේ.  ආදායම ඉහළ මට්ටමකට ගෙන ඒමේ ඉලක්කයට නම් පුළුල් අවස්ථා සොයාගත යුතුව තිබේ. එය පහසු නැත. උපායශීලී විය යුතුය. ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට සිදුවෙයි.

ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02