එදිනෙදා වේල හරි හම්බ කරන දුප්පතාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා ධනවතුන් දක්වාම සැමට මේ ගෙවෙමින් තිබෙන්නේ යහපත් කාලවකවානුවක් නොවේ. දෛනික ආදායම ඉපයීම අවහිරවීම, රැකියා අහිමිවීම, ආදායම් ඇනහිටීම හරහා වන ආර්ථික අපහසුතා හේතුවෙන් ආහාර අර්බුදයක් දක්වා තත්ත්වය උත්සන්න වී තිබේ. මේ ආකාරයට ලෝක ආර්ථිකයට කොරෝනා වසංගතයෙන් සිදුකළ බලපැම සුළුපටු නැත.
මේ තත්ත්වය යටතේ මෙරට ව්‍යාපාර හා කර්මාන්තශාලා ගණනාවක් අකර්මණ්‍ය වී කඩා වැටිණ. එවැනි ආයතන ප්‍රමාණයට වඩා සේවක පිරිස්වලට රුකියා අහිමිවීම බරපතළ ගැටලුවකි. එවැනි ව්‍යාපාර හා කර්මාන්තශාලා යළි නගා සිටුවීමට සේවක හා පිරිස් බලය ඇතත් ප්‍රාග්ධනය හිඟවීමද ප්‍රධාන ගැටලුවකි. ඇතැම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම ස්වයංරුකියා පවත්වාගෙන යන පිරිස් ආර්ථික වශයෙන් ගැටලුවලට මුහුණදී ඇත්තේ සිය ව්‍යාපාරික අපහසුතා මත නොව විවිධ පිරිස්වල ගනුදෙනු හා මූල්‍ය වංචාවලට කොටුවී සිටීම නිසාය. එවැනි ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් නොදැනුවත්කමට හෝ වෙනත් අරමුණක් හේතුවෙන් සිදුකළ ව්‍යාපාරික කටයුතුවලදී සිදුකර ඇති මූල්‍ය ගනුදෙනුවලට ඇතැමුන් වංචාකර ඇත. එසේ නොවන්නට කොරෝනා වසංගතය හමුවේ වුවද එම පිරිස්වලට නැගී සිටින්නට ආර්ථිකමය හැකියාවක් තිබූ බව පැහැදිලිය.
දේශීය ආර්ථිකය නගා සිටුවීමට වෙහෙසෙන ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් අතර ඇතැමුන්ගේ නොදැනුවත්කමින් මූල්‍ය වංචාවලට හසුව පිරිසක් සිටිති. ඒවායෙන් මිදී සිය මුදල් නැවත ලබාගෙන සිය ව්‍යාපාර කටයුතු කිරීමේ අරමුණෙන් තමුන් මුහුණ පෑ ගැටලුව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඔවුන් පොලිස් ස්ථාන වෙත පැමිණ ඇත. එසේ ලැබුණු පැමිණිලි ගණනාවක් සම්බනධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පැවති මොහොතක බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විශේෂ නියෝගයක් ලබාදී තිබුණේ බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යාංශයන් වෙත ලැබුණු මූල්‍ය වංචා පැමිණිලිවලට අදාළව මෙතෙක් අත්අඩංගුවට නොගත් පිරිස් සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. ඊට ප්‍රධාන හේතු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දී තිබුණේ කොරෝනා වසංගතය හමුවේ බොහෝ ව්‍යාපාරිකයන් හා ආයතන කඩා වැටීම හේතුවෙන් ඒවා යළි නගා සිටුවීමට පියවර ගැනීම යුතුකමක් ලෙස පෙන්වා දෙමිනි. ඒ අනුව දැනට රටේ පවතින අස්ථාවර ආර්ථිකය නැංවීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව සවිමත් කිරීමේ අරමුණෙන් ඔවුන් හසුව තිබෙන වංචාවලින් මුදවා ගැනීම ප්‍රමුඛ කාර්යයකි. එහිදී රටේ නීතිය අනුව වරදකරුවන්ට එරෙහිව ක්‍රියාකොට නියමිත මුදල් අයකර ව්‍යාපාරිකයන්ට ලබාදීම හා වරදකරැවන්ට එරෙහිව නිසි පියවර ගැනීම හරහා ව්‍යාපාරිකයන් සවිමත් කිරීම අරමුණය.
බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යාංශ වෙත ලැබී තිබූ පැමිණිලි අනුව කට්ටි පනිමින් සිටි සැකකරුවන් 57 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියහ. ඉකුත් 5 වැනිදා දිනයේදී සිදුකළ හදිසි මෙහෙයුමකදී සැකකාර කාන්තාවන් 9ක් පිරිමින් 48ක් සමඟ පොලිසිය මගහැර සිටි වරෙන්තුකරැවන් 13ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණ. මෙහිදී අත්අඩංගුවට පත් කාන්තාවන් 9 දෙනා රුපියල් කෝටි 11කට ආසන්න වටිනාකමින් යුත් මුදල් වංචාකළ අය වෙති.
ඊට අමතරව මොවුන් බහු විවාහ සිදු කිරීම, කූඨ ලේඛන සකස් කිරීම, විශ්වාසය කඩකිරීම ආදී චෝදනා 70කට පමණ වරදකරැවන්ය. බස්නාහිර පළාත් වංචා විමර්ශන කාර්යාංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ගල්කිස්ස, මිරිහාන, මොරටුව හා හෝමාගම මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, මතුගම හා හොරණ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, මීගමුව යන පොලිස්ස්ථාන ආශ්‍රිතව එම කාර්යාංශ පිහිටුවා ඇත. ඉකුත් 5 වැනිදා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුම්වලට එක් වංචා විමර්ශන කාර්යාංශයකට පොලිස් කණ්ඩායම් තුනක් වශයෙන් ඒකාබද්ධ කොට වැටලීම සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවරගෙන තිබිණ.
ඒ අනුව සිදුකළ වැටලීමේදී මීගමුව වංචා විමර්ශන කාර්යාංශය විසින් කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණ. මෙම පිරිමි පුද්ගලයා ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයකුගේ රුපියල් 894,000ක මුදලක් ඉල්ලාගෙන නැවත නොදී සිටින අතරතුර ව්‍යාපාරික ස්ථානයකින් බිම් ඇතුරුම් ගල් මිලට ගෙන රුපියල් 958,000කට අධික වටිනා ව්‍යාජ චෙක්පත් ලබාදී වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මොහු ස්ථීර පදිංචි ලිපිනයේ වසර කිහිපයක සිට නොමැති අතර විවිධ ස්ථානවල සැඟවෙමින් කල්ගෙවා ඇත.
මීට අමතරව අත්අඩංගුවට ගත් කාන්තාවක් සිය නීත්‍යානුකූල විවාහය පැවතියදී වෙනත් විවාහයක් සිදුකර වංචාකොට ඇත. ඇය බහු විවාහ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර විදේශගතවීමේ අරමුණෙන් එම ක්‍රියාවේ නිරතව ඇත. මේ අතර අත්අඩංගුවට පත් අනෙක් කාන්තාව සීදූව ප්‍රදේශයේ අයෙකුට අයත් ඉඩම හා වෙළෙඳසලක් කූඨ ලේඛන සකසා වෙනත් පාර්ශ්වයකට විකුණා ඇත. එසේ සිදුකළ වංචාව රුපියල් ලක්ෂ 10කට අධිකය. ඊට අනුබල දුන් ඇගේ ස්වාමිපුරුෂයාද එදින අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණ.
වංචා විමර්ශන කාර්යාංශයේ කැලණිය නිලධාරීන් විසින් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිදුකළ මෙහෙයුමේදී රුපියල් 11,47,890කට අධික වටිනා මුදල් වංචා සිදුකළ සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අයෙක් නුවරඑළිය ප්‍රදේශයේදීත් සෙසු පිරිස කැලණිය ප්‍රදේශය ආශ්‍රිතවත් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ පිරිස් ව්‍යාජ ලියකියවිලි සකසා වාහන අලෙවියේ නිරතව සිටි අය වෙති. වසර කිහිපයක් තිස්සේ සිදුකළ ජාවාරම අතරතුර කොටු වූ පිරිසට අමතරව මතුගම වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන් සිදුකළ වැටලීමේදී සැකකාර කාන්තාවක හා පිරිමි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. පිරිමි පුද්ගලයා අයකුගෙන් ලක්ෂ ගණනක මුදල් වංචාකර විදෙස් ගතවූ බව පවසා සැඟවී ජීවත්වූ අයෙකි. කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ සිය පුත්‍රයාද සමඟය. ඔවුන් ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ව්‍යාජ චෙක්පත් ලබාදී මූල්‍ය වංචා කළ බව පොලිසිය සඳහන් කරයි.
මේ ආකාරයට මුදල් වංචාකරමින් සැඟවී සිටි අයකු බුද්ධි අංශ තොරතුරැ මත රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන් සමත්ව ඇත. ව්‍යාපාර සඳහා වෙනත් පාර්ශ්වවලින් මුදල් ලබාගෙන එම මුදල් බැරකළ ගිණුම් අවලංගු කර මුදල් වංචාකළ මොහු සිය ගම්බිම් අතහැර රාගම ප්‍රදේශයේ සැඟවී වසර කිහිපයක් ගතකර ඇත. මීට අමතරව තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණේ රථවාහන කුලියට දෙන මුවාවෙන් මුදල් වංචා සහ රථවාහන ව්‍යාජ ලේකම් යටතේ අලෙවි කරමින් සිටියදීය. එවැනි එක් වාහනයක් ජී.පී.එස්. තාක්ෂණය භාවිතයෙන් අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත්ව තිබිණ.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කළ වැටලීම ඉතාම සාර්ථක වීමත් සමඟ එම වංචා විමර්ශන කාර්යාංශයට ලැබී තිබෙන පුද්ගලයන් 69 දෙනකුට එරෙහි රුපියල් අට කෝටි අසූ ලක්ෂ විසි අටදාස් දෙසීය හැටදෙකකට අධික මූල්‍ය වංචාවලට එරෙහිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ජංගම මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සමන්ත ප්‍රදීප් විල්තෙර