වර්ෂ 2000ට පෙර රටේ බොහෝ ප්‍රදේශවල ජාතික වනෝද්‍යාන හෝ අභයභූමි, රක්ෂිත නොවූ වනාන්තර කොටස් හැඳින්වූයේ (ෂදිසාපති කැලෑ) යනුවෙනි. රජයට අයත් මෙම වනාන්තර පාලනය වූයේ දිසාපතිවරු හෙවත් ප්‍රාදේශීය ලේකම්වරු යටතේය. එවකට දිසාපති කැලෑ හෙවත් අවශේෂ වනාන්තර නිතර නිතර විවිධ බලපෑම්වලට යටත් විය. විශේෂයෙන් දේශපාලනඥයන්, ජාවාරම්කරුවන්, ප්‍රාදේශීය ලේකම්වරැන්ට බලපෑම් කර සංවර්ධනයට යැයි කියමින් වනාන්තර ඉඩම් තම හිතවතුන්ට ලබාදීමේ මගඩියක් එකල ක්‍රියාත්මක විය. මේ නිසා සිදුවූයේ විශාල පරිසර හානියකි.
ඉඩම් බෙදාදීම, ගොඩනැගිලි ඉදිකිරීම, මහා පරිමාණ වගා කටයුතුවලට යොදා ගැනීම ආදී අකටයුතුකම් අවශේෂ වනාන්තරවල සිදුවිය. මේ නිසා පරිසරවේදීන්ගේ මෙන්ම පුරවැසියන්ගේද ඉල්ලීම් අනුව 2001 අගෝස්තු 10 දා වන සම්පත් හා පරිසර අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කළේය. අමාත්‍යංශ ලේකම් එන්. පද්මනාදන්ගේ අත්සනින් නිකුත් කළ 05/2001 චක්‍රලේඛයට අනුව රජයට අයත් සියලුම අවශේෂ කැලෑ වන සංරක්ෂණයට පැවරිනි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවූ සියලුම අවශේෂ කැලෑ ජාතික වන ප්‍රතිපත්තියට අනුව කළමනාකරණය කර වැඩිදියුණු කිරීමට හා ආරක්ෂා කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස බාර දුන්නේය. ඒ අනුව අවශේෂ කැලෑ වෙනත් පරිහරණ කටයුත්තක් සඳහා අවශ්‍ය නම් පරිසර අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර් අමාත්‍යංශ කමිටුවකට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු විය.වර්ෂ 19ක් ක්‍රියාත්මකව පැවති මෙම චක්‍රලේඛයට හෙණහුරා ලබන තීරණයක් පසුගිය ජූලි 2දා ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාවකින් උදා වී තිබේ. ඒ අනුව හෙක්ටයාර් ලක්ෂ පහක අවශේෂ කැලෑවල බලධාරියා වශයෙන් සිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒවා ගලවා දැමීමට නියමිතය.
“අවශේෂ කැලෑ පරිසර හා වනජීවී කටයුතුවලට හානියක් නොවන පරිදි හා එකී ඉඩම්වල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් තාවකාලිකව වෙනත් කාර්යයක් සඳහා යොදාගැනීමට හැකිවන පරිදි ඒ සඳහා වන බලතල දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම් වෙත පවරා දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස පරිසර හා වනජීවී සම්පත් ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලදී” යනුවෙන් කැබිනට් පත්‍රිකාවේ සඳහන්ය.
මේ අත්තනෝමතික තීරණය පිළිබඳව පරිසරවේදීන් මෙන්ම වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රටට හිතැති නිලධාරීහුද පුදුමයට පත්ව සිටිති. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ (සෞභ්‍යයේ දැක්ම) ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ රටේ වන ආවරණය 30%ක් දක්වා ඉහළ නංවන බවයි. ඔහු සිය ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළේද පැළ රෝපණය කරමිනි. දැන් මේ ආකාරයේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වන්නේ කාගේ වුවමනාවටදැයි රටේ සාමාන්‍ය ජනතාව උභතෝකෝටිකයක පැටලී සිටී. කෙසේ වුවත් පරිසරවේදීන් පවසන්නේ මෙම වැඩපිළිවෙළ හරහා රටේ වනාන්තර විනාශ කිරීමේ විශාල කුමන්ත්‍රණයක් පවතින බවයි. මෙතෙක් කල් විවිධ ගැහැට මධ්‍යයේ කැලෑ රැකගත් අඩවි වන නිලධාරීහුද මෙයින් කම්පනයට පත්ව සිටිති.
“මේක ප්‍රතිපත්තිමය සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කරලා අද වනවිට නෛතික රාමුවට ගෙන ඒමට චක්‍රලේඛයක් සැලසුම් කරලා තිබෙනවා. පරිසර අමාත්‍යංශය හරහා තමයි ඒ ක්‍රියාවලිය සිදුවන්නේ. අද වනවිට අවශේෂ කැලෑ ආරක්ෂා වුණු 05/2001 චක්‍රලේඛය අහෝසි කරලා ඒ ඉඩම් නැවත වරක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර කරලා ඒවා විවිධ ආයෝජන කටයුතුවලට භාවිතා කිරීමට තමයි සැලසුම් කර තිබෙන්නේ”
එලෙස සඳහන් කළේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකරය.
“මේ නිසා පාරිසරික බලපෑම් වගේම සමාජ ආර්ථික බලපෑම්ද රාශියක් ඇතිවෙනවා. අලි මිනිස් ගැටුම පාලනය, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය, අලින්ට වනාන්තර අතර ගමන් කිරීම ආදී ක්‍රියාවලිවලට රක්ෂිත නොවන අවශේෂ වනාන්තරවලින් විශාල සේවයක් සිදුවුණා. අද වනවිට MCC ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් සකස් කෙරෙනවා. එහි එක්තරා අංගයක් ලෙස මෙම අදහස ක්‍රියාවට නංවනවා විය හැකියි. චක්‍රලේඛය අහෝසි කිරීමෙන් මේ වනාන්තර ඉඩම් වෙළෙඳපොළ යාන්ත්‍රණයට බඳුන්වීමක් සිදුවෙනවා.” සජීව වැඩිදුරටත් කීවේය.
දේශපාලනඥයන්ට තම සිතැඟි පරිදි ජාවාරම් කරගැනීමට මේ වනාන්තරවලට ලබා දී තිබූ දැඩි ආරක්ෂාව ගැටලුවක් වූ බව නම් නොරහසකි. වනෝද්‍යාන සහ අභයභූමි එකිනෙක බැඳ තැබූ රැහැන් පටක් සේ ක්‍රියා කළ මේ වනාන්තර තීරු වන සතුන්ගේ වනමං විය. අලි ඇතුන් විශාල වනාන්තරවලට සංක්‍රමණය වීමේදී මේ කුඩා වනාන්තරවල ආරක්ෂාව ලැබුවෝය. වනජීවී නිලධාරීන් සඳහන් කරන අන්දමට වන අලින්ගෙන් 60%ක් පමණ හැසිරෙන්නේ අවශේෂ වනාන්තරවලය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් අවශේෂ වනාන්තර හෙක්ටයාර් විසිපන්දහසක් පවතී.
මේ පිළිබඳව සඳහන් කරන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ
’අපේ රටේ වනාන්තර ආවරණය හෙක්ටයාර් මිලියන 2.1ක් බව දත්තවල සඳහන් වෙනවා. මේ ප්‍රමාණයෙන් 25%ක් හෙවත් හෙක්ටයාර් ලක්ෂ 5ක් සැලකෙන්නේ (අවශේෂ වනාන්තර) ගණයට. ඒ වනාන්තරවල ආරක්ෂාව ඉවත් කළා කියන්නේ රටේ වනාන්තරවලින් 1/4ක් අනාරක්ෂිතයි කියන එකයි.”
රජයට සංවර්ධන කටයුත්තක් සඳහා මෙම ඉඩම් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා 2/2006 චක්‍රලේඛය යටතේ කටයුතු කළ හැකියි. නමුත් එහිදී අනිවාර්යයෙන් පරිසර තත්ත්ව වාර්තා ඉදිරිපත් කර එයට අනුගත නම් තමයි ඉඩම් නිදහස් කළ හැක්කේ. එවැනි ක්‍රමවේදයක් පවතිද්දී 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු සැකසීම ගැටලුවක්.”
රජයේ පාර්ශ්වයෙන් පැවසෙන්නේ හේන් ගොවීන් සඳහා ඉඩම් ලබාදීමේදී මේ චක්‍රලේඛය නිසා අවශේෂ වනාන්තරවල හේන් ගොවිතැන් කිරීමේදී ගොවීන් විශාල අපහසුතාවලට ලක්වන බවත්ය. එය නම් ගල් පැලෙන බොරුවකි. හේන් සඳහා ඉඩම් ලබාදීමේ වෙනම ක්‍රමවේදයක් පවතී. ආරක්ෂා කරගෙන තිබෙන මේ වනාන්තරවලට හේන් කෙටීමට ඇති අමාරැව කුමක්ද යන්න ගැටලුවකි. අනෙක් අතට මේ වනවිට ලංකාවේ හේන් වගාවක් සිදු නොවේ. පාලකයන්ගේ අදහස වී ඇත්තේ මේ කාරණයට එරෙහි වන්නන් දුප්පතුන්ට එරෙහිවන්නන් ලෙස හුවා දැක්වීම බව පෙනේ.
මේ පිළිබඳව පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන මෙසේ සඳහන් කරයි.
“මේ වනවිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් ආරක්ෂා කරන්නේ තමන් විසින් ආරක්ෂා කළ යුතුම ලෙස කලක් තිස්සේ හඳුනාගෙන තිබෙන වනාන්තරයි. 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමක් කිසිසේත් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ නම් පමණක් 02/2006 චක්‍රලේඛය සංශෝධනය කර භාවිතා කළ හැකිය. අමාත්‍ය මණ්ඩල තීරණය මගින් 5/2001 චක්‍රලේඛය අවලංගු කිරීමේ අදහසින් රජය බැහැර වී සිටින බවක් නොපෙනේ. එබැවින් අනතුර තවමත් එසේම බව පැහැදිලියි. මෙය එක්වරම අහෝසිකරනු වෙනුවට සූක්ෂමව අදියර මාලාවක් ලෙස සිදුවීමේ ඉඩකඩක් පවතිනවා. මේ චක්‍රලේඛය අහෝසි කිරීමේ තීරණයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කළ යුතුයි.”
පරිසරවේදීන් පවසන්නේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට පෞද්ගලික සමාගම්වලට ඉඩම් මුදාහැරීමට දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව මත මේ චක්‍රලේඛය අහෝසි කිරීමේ පිඹුරුපත් සැකසෙන බවයි. ඡන්දදායකයන් පවසන්නේ මේවායින් පෙනෙන්නේ කොයි ආණ්ඩුව ආවත් (පරිසරයට අබසරණයි) කියායි.
කුසුම්සිරි විජයවර්ධන