කෝවිඩ් - 19 ආසාදිත පළමු රෝගියා මෙරටින් වාර්තා වීමත් සමඟ මෙරට සියලුම රජයේ සහ පෞද්ගලික පාසල් වසා දමනු ලැබීය. එතැන් සිට දින එකසිය දහතුනකට පසුව පසුගිය සඳුදා (6 වැනිදා) දිවයිනේ සියලුම පාසල් මෙවර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා නැවත වරක් ආරම්භ විය.
මෙලෙස පාසලට පැමිණෙන දරුවන් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ප්‍රවාහන බස්රථ සහ වෑන් රථ හිමිකරුවන් මුහුණ පා ඇති ගැටලු කිහිපයක් පවතී. මෙයට ප්‍රධාන හේතුව වන්නේ කෝවිඩ් වසංගතයට පෙර පාසල් ප්‍රවාහන සේවයේ පැමිණි දරුවන්ගෙන් අඩකටත් අඩු පිරිසක් ප්‍රවාහනය කිරීමට සිදුවීමත් පාසල් වෙලාවල් දෙකකදී අවසන් වීමත්ය.
“පසුගිය සඳුදා පාසල් පටන්ගත්තේ වසර තුනක පන්තිවලට පමණයි. මේ නිසා දරුවන්ගේ පැමිණීම ඉතා අඩුයි. කොහොමත් මේ වසංගතයෙන් පසුව තවමත් වසරවල දරුවන් වුණත් පාසලට එවනවා හරි අඩුයි. මේක අපේ රැකියාව. මේ වසංගතය නිසා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට තියන්න අපිට බැහැ. අපෙත් රුකියා මාස තුනක් තිස්සේ අහිමි වෙලා තිබුණේ. ඒ නිසා මේ දේ අපි කොහොමහරි කරන්න ඕනේ. මාස ගණනාවක්ම අපිට දෙමව්පියෝ මුදල් දුන්නේ නැහැ. ඒ නිසා අපි ගැටලු බොහොමයකට මුහුණ දීලයි මේ ඉන්නේ”
සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ ලේකම් මල් ශ්‍රී ද සිල්වා එසේ දේශයට අදහස් දැක්වීය.
ඔවුන් පවසන්නේ මාස කිහිපයක් ප්‍රවාහන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් වාහනවල රියැදුරන්ට සහ පාලිකාවන්ට වැටුප ලබාදිය නොහැකි තත්ත්වයක් ඇති වූ බවත් ඇතැමුන් තම කණකර ආභරණ උගස් තබමින් වැඩි පොලියට මුදල් ගෙන හෝ මෙම සේවක පිරිසකගේ වැටුප් ලබාදුන් බවත්ය. මීට අමතරව රජයෙන් වාහනවල ෆිනෑන්ස් සඳහා සහනයක් ලබා දුන්නද බොහෝ මූල්‍ය ආයතන මගින් එම සහනදායී කාල සීමාවද කපා හැර ඇත. එමගින් රටට ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන පුද්ගලයෝ ගැටලු රැසකට මුහුණ පා සිටිති. ඇතැම් මෙවැනි මූල්‍ය ආයතන පොලී මුදල ඉක්මනින් ගෙවා දමන ලෙස දැඩි ලෙස ඉල්ලීම් කරන බවද ඔවුහු කියති.
ඇතැම් ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන පිරිස 27 වැනිදා සිට ප්‍රවාහනය ආරම්භ කිරීමට තීරණය කොට ඇත. මේ හේතුවෙන් ඔවුන්ගේ වාහනවලින් පාසලට ගිය පහ වසර අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන දරුවන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටය. මේ බොහෝ දරුවන්ගේ දෙමව්පියන් රැකියාවල්වල නිරත වූවෝ වෙති. දරුවන්ගේ වැඩි ආරක්ෂාවටත් පාසලට ගෙනයාමට සහ නැවත නිවසට ගෙන ඒමට කිසිවකු නොසිටින බැවින් බොහෝ දෙමව්පියන් ප්‍රවාහන සේවයට මාසිකව මුදල් ගෙවා බාර දුන්නද ඇතැම් ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන පුද්ගලයන්ගේ මෙම තීරණයත් සමඟ මව්පියන් පත්ව ඇත්තේ විශාල අර්බුදයකටය. නමුත් සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමයේ කිසිදු සාමාජිකයකු මෙලෙස අසාධාරණ තීරණ ගෙන නොමැති බවත් කිසිදාක මෙම දරුවන්ට සහ ඔවුන්ගේ අධ්‍යාපනය බිල්ලට ගැනීමට කටයුතු නොකරන බවත් කියයි.
“ඇතැමුන් විසිහත් වැනිදා සිට ප්‍රවාහනය පටන්ගන්නවා යැයි පවසනවා. නමුත් අගෝස්තු මාසෙදි මැතිවරණය ආරම්භ වෙනවා. ඒ මාසේ මුදල් ගන්න වෙන්නේ නෑ. නිවාඩු කාලෙදි දෙමව්පියන්ට මුදල් ගන්න කතා කරද්දි ඇතැමුන් අපේ දුරකථන අංකයට පිළිතුරු ලබාදෙන්න තරම් ඔවුන් මැලිවුණා. ඇතැම් දෙමව්පියන් ඒ තරමටම අපෙන් ඈත් වුණා. අපි කතා කරනවටවත් කැමති වුණේ නෑ.” යැයි මල් ශ්‍රී ද සිල්වා මහතා පවසයි.
නමුත් ඔවුන් පවසන්නේ ඔවුන් තම මුදලට එහා ගිය සේවාවක් ලබාදුන් බවය. ඉදිරියේදීත් එලෙසම ලබාදෙන බවය. ඇතැම් දෙමව්පියන් තමන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් “දරුවාට දවල් කෑම එකක් අරන් දෙන්න.. අද ගෙදර කවුරුවත් නැහැ දරුවව එයාගේ සීයාගේ ගෙදරින් බස්සවන්න” යැයි පැවසූ සෑම අවස්ථාවකදීම ඒ ඉල්ලීම් නොපිරිහෙලා ඉටු කළ බව ඔවුහු කියති. නමුත් මුළු රටම කොරෝනා හේතුවෙන් අසරණ වෙද්දී තම දුරකථන අංකය දුටු පමණින් ඇතැම් දෙමව්පියන් එය විසන්ධි කළ බවත් ඇතැමුන්ට මෙය මුදල් මත පදනම්ව ගෙන යන ව්‍යාපාරයක් වුවද ඊට එහා ගිය මනුස්සකමක් මේ තුළ ඇති බවත් මල් ශ්‍රී ද සිල්වා කියයි. දරුවන් පාසල් වෙත ප්‍රවාහනය කිරීම ඉතා පරිස්සමට කළ යුතු සේවාවකි. ජීවිත ගණනාවක්ම තම සුක්කානම මත රැඳී තිබේ. එය වටහා නොගත් ඇතැම් රියැදුරන් මෙන්ම මෙම සේවාව වටහා නොගත් දෙමව්පියෝද සිටිති.
“අපි මේ ප්‍රවාහන කටයුතු කොහොමහරි දැන් කරගෙන යනවා. පාඩු ලබන්නට වෙනවා. නමුත් කොහොමහරි මේක අපි කරගෙන යමු කියා රජයෙනුත් අපෙන් ඉල්ලීමක් කළා. රටේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා මොවුන් මේ තීරණය ගත්තා. ඒ නිසා ඒ සෞඛ්‍ය නීතිවලට අනුකූලව අපිත් මේක කරගෙන යනවා. අතහරින්නේ නෑ. ගත්තු ණය, උගස් තියපු රත්තරන් බඩු අපි කොහොමහරි බේරගන්න ඕන. ඒ නිසා අපේ සංගමේ සිටින සියලුම සාමාජිකයන් මේ වනවිට ප්‍රවාහන කටයුත්තේ නියැලිලයි ඉන්නේ” යැයි සංගමයේ සභාපති තවදුරටත් දේශයට පැවසීය.
අලුත් වෙලාවන්වලට අනුව පහ වසර පන්තිය අවසන් වන්නේ දහවල් එකයි තිහටයි. එකොළහ වසර අවසන් වන්නේ තුනයි තිහටයි. තනි වාහනයක ප්‍රවාහන සේවය කරලීමේදී මෙලෙස වේලා දෙකකට දරුවන් නිවෙස බලා ගෙන යාම එතරම් පහසු කටයුත්තක් නොවේ. කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලට දුර පළාත්වලින්ද දරුවෝ ප්‍රවාහන සේවය මගින් පාසල් එති. එවැනි ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යනු ලබන රියදුරකුට වෙලාවල් දෙකකදී එකම වාහනයකින් දරුවන් නිවෙස්වලට ගෙනයාම කිසිසේත්ම කළ නොහැකි දෙයකි. මේ නිසා ප්‍රවාහන සේවා පවත්වාගෙන යන පිරිසගේ ඉල්ලීම වන්නේ සෑම දරුවකුටම එකම වෙලාවකදී පාසල අවසන් කරන ලෙසයි. එකම පවුලක සහෝදර සහෝදරියන් දෙදෙනකු වුවද මෙලෙස වෙලාවල් දෙකකදී පාසල් අවසන් කිරීමෙන් එම දරුවන්ගේ දෙමව්පියෝද අසරණ වන බව ඔවුහු මෙහිදී පෙන්වා දෙති.
“අඩුම තරමේ අසරණ වුණ ප්‍රවාහන සේවයේ නියැලුණ අය වෙනුවෙන් අඩු පොලිය යටතේ බැංකු ණයක් ලබාදෙන ලෙස අපි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළා. මේ දවස්වල බොහෝ වාහනවල බැටරි සහ ටයර් අලුතින්ම නඩත්තු කරන්න සිදුවෙලා තියෙනවා. ඒ සියලු අපහසුතා මැද අපි කොහොමහරි මේ ප්‍රවාහන කටයුතු කරගෙන යනවා. ඒ නිසයි අපි රජයෙනුත් මේ ඉල්ලීම කළේ.” යැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා වැඩිදුරටත් දේශයට පැවසීය.
මේ දවස්වල අපේ ප්‍රවාහන සේවයෙන් පාසලට පහ වසර දරුවන් සහ එකොළහ වසර දරුවන් තමයි එන්නේ. නමුත් ඒ දරුවන්ට පාසල ඇරෙන්නේ වෙලාවල් දෙකකටයි. ඒක අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මේ නිසා එකම මාර්ගයේ ගමන් කරන පාසල් ප්‍රවාහන සේවයේ යෙදෙන වාහන වෙලාවල් දෙකකට දරුවන්ව නිවෙස්වලට ගෙන යන වැඩපිළිවෙළකුත් අපි සිදුකරමින් සිටින්නේ. එකම ප්‍රදේශයට වාහන දෙකක් තියෙනවනම් සවස එම වාහන දෙක බෙදාගෙන දරුවන්ව නිවෙස්වලට ගිහින් දමන්නටත් අපි තීරණය කරලා තියෙනවා. හැබැයි ඒකත් හිතන තරම් ලෙහෙසි කටයුත්තක් නෙවේ. එහෙම නැතිව දුරබැහැර සිට කොළඹ පාසල්වලට දරුවන් ගෙන එන ප්‍රවාහන සේවයට මේක විශාල ගැටලුවක් වෙනවා.” යැයි කළුතර සිට කොළඹ පාසල් වෙත දරුවන් ප්‍රවාහනය කරන සමත් දේශයට අදහස් දක්වමින් පැවසීය.
බණ්ඩාරගම සිට කොළඹ ප්‍රධාන පාසල්වලට ප්‍රවාහනය කරනු ලබන චන්ද්‍රසිරිගේ බස් රථයේ මේ වනවිට පැමිණෙන්නේ දරුවන් පස්දෙනකු පමණි. කෝවිඩ් - 19 වසංගතය රට කුළ ව්‍යාප්ත වන්නට පෙර මෙම බස් රථයේ දරුවන් තිස්දෙනකු පාසල් වෙත ප්‍රවාහනය කර තිබිණි.
“විසිහත්වැනිදා පාසල් පටන්ගන්න දරුවන්ගෙනුත් අපිට මාසයක මුදල අයකරන්නට සිදුවෙනවා. නැත්නම් අපිට මේක කරගෙන යන්න හරි අමාරුයි. මගේ වාහනයෙන් ප්‍රාථමික වසරවල දරුවන් හැර අනෙක් වසරවල දරුවන්ට ප්‍රවාහනය ලබලා දෙනවා. වෙලාවල් දෙකකම පාසල් ඇරීමෙන් අපි ලොකු අපහසුතාවයකට තමයි දැන් පත්වෙලා ඉන්නේ. අඩුමගාණේ නිවාඩු මාස තුනෙන් එක මාසයකටත් අපිට මුදල් ලැබුණානම් ඒක ලොකු දෙයක්. ඒත් එහෙම අපිට ලැබුණේ නෑ. අපි ලොකු අසරණ තත්ත්වයකට තමයි අද පත්වෙලා ඉන්නේ” යැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු දේශයට අදහස දක්වමින් පැවසීය.
මීට අමතරව ඇතැම් දෙමව්පියන් ගෙවුණ මාස කිහිපය තුළදී තම නිවෙස්වලට අවශ්‍ය කරන ආහාරපාන මළු ගෙනත් දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ඇතැම් දෙමව්පියන් මාසයක මුදල බැංකුවට බැරකොට ඇත. මනුස්සකම් හඳුනන එවැනි මිනිසුන්ද මේ සමාජයේම ජීවත් වන බවත් පවසන ඔවුහු කෝවිඩ් වසංගතය එන්නට ප්‍රථමද දරුවා රැගෙන ගිය මාසවල හිඟ මුදල් නොගෙවා වෙනත් පාසල් ප්‍රවාහන සේවයකට දරුවා යොමු කළ මාපියන්ද ඕනෑ තරම් සිටි බවත් පවසති.
කිසිමදාක දරුවන්ගේ අධ්‍යාපනයත්, දරුවන්ගේ ජීවිතත් බිල්ලට තබා මෙම ප්‍රවාහන සේවයෙන් ඈත් නොවන බවත් සංගමයක් ලෙසින් තම සාමාජිකයන් සියල්ලම පාඩු ලබමින් මෙම දරුවන්ට පාසල් කරා රුගෙන යන බවත් පවසන ඔවුහු ඒ වෙනුවෙන් පාසල් අවසන් වන කාල වෙලාවේ එකම වෙලාවක් කරනා ලෙස රජයෙන් ඉල්ලා සිටිති.
දිශානි ජයමාලි කරුණාරත්න