කෝමාරි හෙවත් කෝමාරිය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ පිහිටා ඇති කලපුවක් හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ නමය. එය පිහිටා ඇත්තේ පොතුවිල් නගරයට කිලෝමීටර් කීපයක් උතුරට වන්නටය. ලංකාවේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති සංගමන්කන්ද තුඩුව පිහිටා ඇත්තේ මේ ආසන්නයේය. කෝමාරි සිට කිලෝමීටර් කීපයක් නැගෙනහිරට වන්නට මුහුදේ පිහිටා ඇති වැලි හා කොරල් සහිත පරය කෝමාරි පරය ලෙස ද හැඳින්වෙයි. අදට ශත වර්ෂයකට ඉහත මාර්තු මාසයේ දින කීපයක් කෝමාරිය රජයේ නිලධාරීන් ඇතුළුව බොහෝ දෙනාගේ අවධානයට ලක්වූයේ ඊට නුදුරින් කෝමාරි පරයේ වැදී ගිලී ගිය නෞකාවක් නිසාය. 1920 මාර්තු 24 වන දින පෙරවරුවේ පරයේ ගැටුණු බොටනිස්ට් නම් වූ ඒ නෞකාව දින කීපයක් ඇතුළත අත්හැර දමන ලදි.
‘එස් එස් බොටනිස්ට්’ (SS Botanist) නම් වූ මේ නෞකාව ලිවර්පූල් නගරයේ ලියාපදිංචි කරන ලද බ්‍රිතාන්‍යයට අයත් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. 1911 වර්ෂයේදී නිෂ්පාදනය කරන ලද එය වාෂ්ප බලයෙන් යාත්‍රා කරන ටොන් 7688ක බරක් ගෙන යා හැකි නැවක් විය. (නැවේ නම ඉදිරියෙන් ඇති SS යන්න වාෂ්ප නෞකාවලට යොදාගන්නා පොදු යෙදුමකි) නාවුක වාර්තාවලට අනුව එය දිගින් මීටර් 143.1ක් හා පළලින් මීටර් 17.8ක් පමණ වූ එය වානේවලින් තැනූ නැවකි. බොටනිස්ට් නැව තනා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝහි පිහිටා තිබූ ඩී ඇන්ඩ් ඩබ්ලිව් හෙන්ඩර්සන් සහ සමාගම මගිනි. එය අයත්ව තිබුණේ හැරිසන් ලයිනර්ස් ලෙස හඳුන්වන ලද නාවුක සමාගමටය. කෝමාරි මුහුදේ දී අනතුරට ලක්වන විට මේ නැව කල්කටා වරායේ සිට කොළඹ හරහා ලන්ඩනය දක්වා ගමන් කරමින් තිබිණි. ඒ වනවිට තේ හා තවත් භාණ්ඩ රැසක් හා මගීන් නව දෙනෙකු මේ නැවේ ගමන් කර ඇත. කාර්ය මණ්ඩලය යුරෝපීයයන් විසි දෙනකුගෙන් හා ස්වදේශිකයන් හැටහත්දෙනකුගෙන් සමන්විත වී තිබේ.
මේ නැව ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නයෙන් ගමන් කරන අතර මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේය. ඒ අනුව, මාර්තු මස 24 වැනි දින උදේ 10.28ට පමණ නැව කෝමාරි පරයේ ගැටී ඇත. රළ ප්‍රවාහය දැඩි වූ බැවින් එසේ වෙරළ සමීපයට පැමිණි බව නැවේ කපිතාන්වරයාගේ ප්‍රකාශ අනුව පෙනේ. ඔහු නැව මෙහෙවීමේදී කීපවරක්ම එහි ගමන් මග වෙනස් කළ බව ඊට සාධකයකි. මේ සිදුවීම පිළිබඳ කරුණු අනාවරණය වන්නේ ඒ දිනවල මෙරට පළවූ ඉංග්‍රීසි හා සිංහල පුවත්පත්වලින් හා මඩකලපුවේ සිටි දිසාපතිවරයාගේ දිනපොතේ එන සටහන්වලිනි. එසේම මේ පිළිබඳව පැවති විමර්ශනයේදී හෙළි වූ කරැණුද වැදගත්ය.
අනතුරෙන් පසුව
නැව පරයේ ගැටීමෙන් පසුව නැව නිකුත් කළ විදුලි පණිවුඩ සංඥා ලැබීමෙන් ඒ වනවිට කොළඹ බලා ගමන් කරමින් තිබූ අරකාන් නමැති තවත් නැවක් එහි පැමිණ මේ නැව ඇදීමට උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී ඇත. මේ සංඥා කොළඹට ලැබීමෙන් පසුව මාර්තු විසිපස්වැනි දින ‘සැම්සන්’ නම් ටග් යාත්‍රාව හා තවත් බත්තල් දෙකක් කොළඹ සිට කෝමාරිය බලා පිටත්ව ඇත. මේවා කෝමාරියට ළඟා වී ඇත්තේ 26 දින සවස් කාලයේ බව දිසාපතිවරයාගේ සටහන්වල සඳහන්ය.
මේ යාත්‍රා මගින් නැව පරයෙන් ඉවතට ඇදීමට උත්සාහ දරා තිබේ. නැව අනතුරට ලක්වීම පිළිබඳව ආරංචිය මඩකලපුවේ සිටි නැගෙනහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත හෙවත් දිසාපති වූ චාල්ස් වැලන්ටින් බ්‍රෙයින් හට ලැබුණේ මාර්තු විසිපස් වැනිදාය. (ඒ කාලයේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නගරය මඩකලපුව වූ අතර, ත්‍රිකුණාමලයේ සිටියේ උප ඒජන්තවරයෙකි). ඒ වනවිට යෑමට සූදානම්ව සිටි රාජකාරි චාරිකාවක් වහාම නවතා දැමූ ඔහු සවස දෙකට පමණ දකුණු දෙසට ගමන් කළේය. ඔහු එදින සවස අඳුර වැටීමට පෙර කෝමාරි තානායමට පැමිණිය ද ඊට සැතපුම් තුනක් පමණ ඈතින් පරයේ ගැටී තිබූ නැව හා සම්බන්ධ වීමට නොහැකි වූ බැවින් හෙතෙම රාත්‍රිය ගත කිරීමට තිරුක්කෝවිල් වෙත ගොස් පසුදා උදෑසනින් කෝමාරියට පැමිණියේය. එදා මුහුද රළු වූ දිනයක් වූ හෙයින් ඔහුට නැව වෙත යෑමට නොහැකි විය. නැව ඇදීමට පැමිණි යාත්‍රා සවස් කාලයේ පරයට ළඟා වනු වෙරළේ සිටි ඔහු දුටුවේය.
පසුදින හෙවත් 27වැනි දින උදේ 2.30ට පිබිදී කෝමාරියට පැමිණ, කොල්ලෑ ඔරැවක නැගී උදේ 6 වනවිට ටග් යාත්‍රාව වෙත ළඟා වීමට දිසාපතිට හැකි විය. එහි දී තමන් දුටු දේ ඔහු මෙසේ විස්තර කළේය. “ටග් යාත්‍රාවේ නියමුවා සමඟ කළ සාකච්ඡාවකින් පසුව අපි බොටනිස්ට් නැවට ගොඩ වීමු. ඒ නැවේ ඉදිරි කොටස පරයේ තදින් ඇනී තිබූ බවත්, නැවේ අවර කොටස ක්‍රමයෙන් ගිලීයමින් තිබූ බවත් පෙනී ගියේය.” එම ස්ථානයේ ගැඹුර අඩි 50-60ක් පමණ වූ බව බැලූ බැල්මට පෙනුණු බව ද හෙතෙම පවසයි.
ඔහු පවසන ලෙස නැවේ සේවකයන් ඒ වනවිට ද නැව් බඩු ඉවතට ගනිමින් තිබූ බව ඔහු සඳහන් කරන අතර, ඒවා බත්තල්වලට පැටවීම අපහසු බව පෙනී ගිය බවද කියයි. එයට හේතුව මුහුදේ රළ නැගීම හා නැවේ අවර කොටස ජලයේ ගිලීයමින් පැවති නිසාය. ඒ නිසා බත්තල් ඉදිරියට ගෙන ගොස් ඉදිරියේ තිබූ ඒවායේ වූ භාණ්ඩ ඉවත් කිරීම ආරම්භ කර ඇත.
නැව දිගටම ගිලෙමින් තිබූ අතර එහි යකඩ බඳේ ඇති වූ ඇදීම ප්‍රබල වූ බැවින් එය කොටස් දෙකකට බිඳී යැමේ අනතුරක් ඇති වූ බව දිසාපති සඳහන් කරයි. නැවේ යකඩ කොටස්වල ඇති වූ ඇදීම නිසා ඇති වූ ඔහුට ඇසුණු ලාක්ෂණික ශබ්දය ඔහු අසා තිබූ නාද අතරින් සමාන කළ හැක්කේ “වේදනාවෙන් කෙඳිරිගාන සතෙකුගේ කෙඳිරිය” පමණක් බව හෙතෙම පවසා ඇත. මේ ශබ්දය හා මේ අපූරු නෞකාව පරයේ ගැටී ගිලීයෑම ඉතා ශෝකජනක දර්ශනයක් වූ බව ඔහු වැඩි දුරටත් කියයි.
මේ වනවිටද මුහුද රළු වූ බව දිසාපති තැන ආපසු පැමිණීමේදී ඇති වූ සිදුවීමකින් පෙනේ. අඟුලේ නැගී ආපසු එන අතර සුළු කුණාටුවකට මුහුණදීමට ඔහුට සිදු විය. ඒ අවස්ථාවේදී එයින් බේරීමට හැකියාවක් තිබේද යන්න ගැන ඔහුට සැකයක් ඇති විය. එහෙත්, ‘දක්ෂතා සහිත අයෙකුගේ පාලනය යටතේ මෙවැනි කොල්ලෑ ඔරැවකට තරණය කළ නොහැකි මුහුදක් නැති’ බව ඔහු සිය දිනපොතේ සඳහන් කර ඇත.
නැව අත්හැර දැමීම
දිසාපති තැන කෝමාරි වෙරළට පැමිණි පසුව ඔහුට පෙනුණේ ටග් යාත්‍රාව හා අනෙක් යාත්‍රා දෙක උතුරු දෙසට ගමන් කරන ආකාරයත් අනතුරට පත් නෞකාවේ අවර කොටස ජලයට යටවී පවත්නා අන්දමයි. ඒ අනුව නැව පරයේ ගැටී දින තුනකට පමණ පසු 27 වැනි දින නැවේ කපිතාන් තැන විසින් නැව අත්හරින ලද බව පැහැදිලිය.
ගිලෙමින් තිබූ බොටනිස්ට් නැවේ සේවක පිරිස් හා නිලධාරීන් පැමිණියේ මඩලපුවටය. ඒ වන විටද ඔවුන් සඳහා අවශ්‍ය කටයුතු දිසාපති විසින් සකස් කර තිබිණි. මඩකලපුවේ රේගු ප්‍රධානියා මූලික විභාගයක් කිරීම පිළිබඳව සඳහන් කර ඇතත් නැවේ කපිතාන්වරයා පවසා ඇත්තේ ඔහු දින හතරක් පමණ කාලයක් හරිහැටි කෑමක් හෝ නින්දක් නැතිව සිටි බැවින්, ප්‍රකාශයක් සිදුකිරීම සඳහා විවේකයක් අවශ්‍ය බවයි. ඒ අනුව දිසාපති තැන අදාළ මූලික වභාගය පැවැත්වීම කොළඹ දී සිදුකිරීමට අවශ්‍ය තොරතුරු කොළඹට දැනුම්දී ඇත. නැවේ සිටි සේවකයන්ට නවාතැන් සපයන ලද අතර එහි සේවය කළ යුරෝපීයයන් නගරයේ තානායමේ රැඳවීය. නැවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනාට නවාතැන් සැපයුනේ දිසාපති නිලනිවසේය. එදින රාත්‍රියේ මේ කටයුතු නිමා කර රාත්‍රී ආහාරය ගන්නා විට රෑ 10 වී තිබූ බව දිසාපති සඳහන් කරයි.
පසුදා නිලධාරීන් හා සෙසු සේවක පිරිස් මුහුදින් හා ගොඩබිමින් කොළඹට පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගත් දිසාපතිවරයා අනතුරට පත් නැවේ භාණ්ඩ ආරක්ෂා කිරීමට දින කීපයක් වෙහෙස වී පියවර ගත්තේය. නැවේ තිබූ බඩු බේරා ගැනීම සඳහා ඒ ප්‍රදේශයේ කම්කරු පිරිසක් අධීක්ෂණ නිලධාරියකු සමඟ පිටත් කර යැවීය. එහෙත් පසුදිනයක දී ලොයිඩ් සමාගමේ නියෝජිතයෙකු සමඟ කළ සාකච්ඡාවකින් පසුව නැවේ ආරක්ෂාව සඳහා මුරකරුවන් යෙදවීම සඳහා පමණක් ඔහු පියවර ගත්තේය. නැවේ තිබූ බඩු බේරාගැනීම සඳහා සමාගමේ මැදිහත් වීමෙන් පියවර ගෙන ඇත. එම නැව බේරා ගැනීම පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව මාර්තු මස අග වනවිට වාර්තා විය.
වරද කාගේද?
නැව ගිලී යෑම සම්බන්ධ පරීක්ෂණයක් පවත්වා ඇත්තේ අප්‍රේල් මස 3 වැනිදාය. ඒ කොළඹ දිසා විනිසුරු විලියම් වැඩ්ස්වර්ත් විසිනි. මෙහිදී විමසා බලා ඇත්තේ නැව කෝමාරි පරයේ හැපී ගිලීයෑම සඳහා හේතුව කවරක්ද යන්න හා ඒ ඉරණම සඳහා නැවේ කපිතාන් තැන වූ හෙන්රි බිකර්ස්ටාප් වගකිව යුතුද යන්න සම්බන්ධවය. කපිතාන් තැන සැලකිය යුතු පළපුරද්දක් තිබූ අයෙකු වූ අතර මේ මාර්ගයේ වාර ගණනාවක්ම නැව් මෙහෙයවා තිබිණි. ඔහුගේ සාක්ෂී විභාගයේදී අනාවරණය වූ පරිදි රළ පහරේ රළු ස්වභාවය නිසා නැව පාලනය කර ගැනීම අපහසු වී ඇතැයි පෙනේ. ඒ අනුව අධිකරණය තීරණය කර ඇත්තේ නැවේ කපිතාන් අත වරදක් නොමැති බව හා නොසැලකිල්ලට ඔහු වරදකරු නොවන බවය. එම අනතුර වැළැක්විය නොහැකි සිදුවීමක් වූ බවද සඳහන් වේ. කෝමාරි පරය එම ස්ථානයේ පිහිටා ඇති බව හෝ එය අන්තරාදායක ස්ථානයක් බව හැඟවීම සඳහා ක්‍රමයක් නොතිබීම ඊට හේතුව ලෙස දක්වා ඇත. එහි ප්‍රදීපාගාරයක් තැනීම කළ යුතු බව මෙහි දී යෝජනා වී ඇත.
ඒ අනුව කෝමාරි පරයෙන් නාවුක යාත්‍රා ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රදීපාගාරයක් ඉදිකිරීම සඳහා වූ යෝජනාවක් ඉන්පසුව වාණිජ හා රජයේ බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇත. 1928 වනවිට ඒ සඳහා සුදුසු ස්ථානයක් යෝජනා වී ඇති අතර, සංගමන්කන්ද තුඩුව යෝග්‍ය බව හඳුනාගෙන ඇත්තේ ඒ අනුවය. එහෙත් ප්‍රදිපාගාරයේ ඉදිකිරීම් කටයුතු පමා වී ඇති අතර, 1938 දී පළ වූ වාර්තාවක දැක්වෙන පරිදි වසර හැටක් තුළ නැව් 6ක් කෝමාරි පරයේ විවිධ ස්ථානවල ගැටී ඉන් කීපයක් ගිලීගොස් ඇත. කෙසේ වෙතත් සංගමන්කන්දේ ප්‍රදීපාගාරයක් ඉදිකිරීම 1940 දශකයේදී ආරම්භ වී 1947 දී අවසන් වී ඇත.
ධනේෂ් විසුම්පෙරුම