2020 ජුලි 04 වන සෙනසුරාදා

වලියකට අත වනන මහ බැංකුවේ පොලිය

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

කොරෝනා වසංගතය නිසා බිඳවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීම සඳහා 4සහන පොලියට ණය නිකුත් කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට පසුගියදා උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුව 1 පොලියට වාණිජ බැංකුවලට ණය දෙන අතර, වාණිජ බැංකු ඒවා 4පොලියට ජනතාවට ණය දෙනු ඇත. මෙයට පෙර ද ශ්‍රී ලංකා මහ බැංකුව සහන පොලිය යටතේ රුපියල් කෝටි 2750ක මුදලක් වාණිජ බැංකුවලට නිකුත් කර තිබුණි.

ව්‍යාපාර ක්ෂේත්‍ර සඳහා වාණිජ බැංකුවලින් රුපියල් කෝටි 11500ක අතිරේක ණය මුදලක් නිකුත් කිරීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 16දා සිට ණය නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණි. ණය මුදල්වලින් වාණිජ බැංකු ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු 4ක්වූ අනිවාර්ය තැන්පතුව 2දක්වා අඩුකර තිබූ අතර, මේ නිසා වාණිජ බැංකුවලට ගනුදෙනු කිරීමට වැඩිපුර මුදල් ලැබේ. බැංකුවල ද්‍රවශීලතාව ඉහළ යාම නිසා මෙය සිදුවේ. නව රජය බලයට පත්වූ පසු මුලින් තිබූ 5තැන්පතුව 4කළ අතර මේ වන විට 2දක්වා පහළ දමා ඇත.

මෙම උපදෙස් අනුව මහජන බැංකුව සහ ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන පොලී යටතේ කඩිනමින් ණය නිකුත් කිරීම මේ වන විට අරඹා තිබේ. නිෂ්පාදන කර්මාන්ත, කෘෂිකර්මාන්ත, තේ කාර්ය සාධන පහසුකම් ආදී ව්‍යාපෘතිවලට ණය නිකුත් කරන අතර රුපියල් මිලියන 10ක උපරිමයට යටත්ව වසර 3කින් ආපසු ගෙවීමේ පදනම මත මෙලෙස ණය නිකුත් කරන බව දැනගන්නට තිබේ. මේ සඳහා විශාල අයැදුම්කරැවන් සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති අතර සුදුස්සන් තේරීම මේ දිනවල සිදුවේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අකර්මණ්‍ය වූ කර්මාන්තවලට මෙලෙස සහන පොලියට ණය නිකුත් කිරීම නිසා මෙයට පෙර ඉහළ මට්ටමක තිබුණු බැංකු තැන්පතු පොලිය සහ ණය පොලිය පහළ යාම සිදුවෙමින් පවතී. මෙලෙස සමස්ත මුදල් වෙළෙඳපොළේ පොලී අනුපාත පහළ යාම රටේ ආර්ථිකයට කෙසේ බලපායි ද යන්න පිළිබඳ වර්තමානයේ ආර්ථික විශ්ලේෂකයන් අතර සංවාදයකට බඳුන් වී තිබේ. ණය පොලී අඩුවීම නිසා බැංකු තැන්පතුවලට ගෙවන පොලිය ද එයට සමානුපාතිකව අඩුවිය යුතුය. මේ දෙක අතර පරතරය සියයට 3 – 4 අතර මට්ටමක තිබීම සාමාන්‍ය බැංකු සම්ප්‍රදායයි. මෙම වෙනස වාණිජ බැංකුවල පරිපාලන කටයුතුවලට වැයවන අතර, බැංකු පවත්වාගෙන යාම සඳහා ඔවුන් එයින් ලාභයක් ද ලබන බව කිව යුතුයි. තැන්පතු පොලිය අඩුවීම නිසා විශ්‍රාමික ප්‍රජාව ඇතුළු තැන්පත්කරුවෝ අමාරුවේ වැටී සිටිති.

මෙවර සහන ණය පොලිය තීරණය කිරීමට පෙර සාමාන්‍ය ඉතුරුම් තැන්පතු සඳහා වාණිජ බැංකුවල සියයට 6 – 7 අතර ප්‍රමාණයේ පොලියක් ගෙවූ අතර ණය සඳහා 11කට වැඩි පොලියක් අයකිරීම සිදුවිය. ඇතැම් බැංකු මෙයට වඩා පොලිය අයකළ අතර මෙලෙස වැඩි පොලියක් අයකිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපෘතිවලට අසාධාරණයක් වන බවට ද විවේචන එල්ල විය. කෙසේ වුවද කර්මාන්ත ව්‍යාපෘතිවලට වඩා අපේ රටේ ජනතාව ණය ලබාගැනීමට පෙළඹී තිබුණේ ස්වකීය ඉඩම් සහ දේපළ මිලදී ගැනීම, නිවාස හා ගොඩනැගිලි තැනීම් ආදී ප්‍රාග්ධන ප්‍රතිසංස්කරණ නිසා ව්‍යාපෘතිවලට බලපෑම අඩු බවට මතයක් තිබූ බැවිනි. කෙසේ වුවද බොහෝ අවස්ථාවල පොලී ප්‍රතිශතය තීරණය කළේ බැංකු පාලක මණ්ඩල මගිනි. ණය දීම මෙන්ම ණය ආපසු අයකර ගැනීම ද බැංකුවල වගකීමක් වූ අතර, ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම අවම විය. එසේ වුවද පොලී ප්‍රතිශතයේ උපරිම තීරණය කිරීම මහ බැංකුව විසින් තීරණය කෙරුණු අතර, ඒ මත පිහිටා බැංකු අයකළ යුතු පොලිය තීරණය කිරීමට බැංකු පාලනාධිකාරියට හැකි විය. එසේ වුවද දැන් සිදුවෙමින් පවතින්නේ විවිධ හේතු කාරණා ඉදිරිපත් කරමින් රජය මගින් පොලී මට්ටම් පිළිබඳ බැංකුවලට නියෝග නිකුත් කිරීමය. මෙය එක් අතකින් බැංකු පද්ධතියේ ස්වාධීනත්වයට හානියක් වන අතර, මෙතෙක් කල් මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණවලට බලපෑම් එල්ල වීමක් බවට විවේචන පවතී. මෙය බල්ලා කළ වැඩය බූරුවාට පැවරීමක් ලෙස ද විවේචන එල්ල වේ.

ප්‍රතිපත්තිමය පොලී අනුපාත වෙනස් කිරීම රටේ ආර්ථිකය මත සලකා බලා මහ බැංකුව විසින් කළ යුතු නමුත් එක් ජනකොටසකට සහනය ලබාදීම වෙනුවෙන් රජය එයට මැදිහත්වීම කොතරම් දුරට ප්‍රායෝගික ද යන්න දෙවරක් සිතා බැලිය යුතු කරුණකි.

මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුත්තේ මෙලෙස සහන පොලියට ණය නිදහස් කිරීම මෙන්ම බැංකුවල ද්‍රවශීලතාව ඉහළ නැංවීම රටේ උද්ධමනය ඉහළ යාමට හේතුවක් වන්නේ ද යන්නය. මෙම සහන ණය ලබාගන්නා අය එම මුදල් ස්වකීය ව්‍යාපාර යළි ගොඩනැගීම සඳහා පාවිච්චි කරනු ඇතැයි උපකල්පනය කළ ද, ඔවුන් එසේ නොකර එම මුදල් විවෘත වෙළෙඳපොළට මුදාහැරියහොත් එයින් ආර්ථිකයට සිදුවන හානිය අති විශාලය. එසේම මෙලෙස සහන ණය නිකුත් කිරීම විධිමත් ලෙස සිදු කිරීමට බැංකුවලට හැකිවේද යන්න පිළිබඳ මේ වන විට සැකයක් ඇතිව තිබේ. අපේ රටේ මෙයට පෙර මෙවැනි අවස්ථාවල සිදුවූ අත්දැකීම් සලකා බලන විට සුදුස්සාටම ණය ලැබේද යන්න ගැටලු සහගත බව බොහෝ දෙනාගේ මතයයි. දේශපාලන හා විවිධ පෞද්ගලික බලපෑම් නිසා නුසුදුසු පුද්ගලයන්ට ද මෙම මුදල් නිකුත් කිරීම සිදුවනු ඇත. එසේම ඇප සහ සුරුකුම් ලිහිල් කිරීම නිසා වැඩි දෙනකුට ණය ලබාගැනීමට හැකි වේ. ඒ අවකාශය තුළින් ද අවිධිමත් පුද්ගලයන්ට ඉදිරියට ඒමට අවස්ථාව ලැබී තිබේ. ඒ නිසා මෙම යාන්ත්‍රණය විධිමත් නොකළහොත් අනාගතයේ දී රටේ ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු හැඟවේ.

බොහෝ මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වනුයේ පොලී අනුපාත අඩු වැඩි කිරීම තුන්වැනි පාර්ශ්වයක බලපෑමකින් තොරව එම නිදහස බැංකු පද්ධතියට ලබාදීම සුදුසු බවය. එය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් කළ විට තත්ත්වය නිවැරදි කළ හැකි බව පැවසේ.

බැංකු පොලී අනුපාත නිර්ණය කිරීම සහ ණය නිකුත් කිරීම ආදී බැංකු ක්ෂේත්‍රයේ වගකීම් පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න අවධාරණය කරනුයේ මෙම තත්ත්වය ධනාත්මක බවට පරිවර්තනය කිරීමේ වැදගත්කමය.

මේ විදිහට පොලී අනුපාත අඩු කරන්නේ රටක ආර්ථික අවපාතයක් ඇතිවූ විටයි. මිල උද්ධමනය ඉහළ යාම පිළිබඳ අවධානයෙන් ඉන්න වෙනවා. ආර්ථික අවපාතයක් ඇතිවීම අඩුකිරීමේ ජනප්‍රියම ක්‍රමයක් තමා පොලී අනුපාත පහළ දමා මුදලේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම. එයින් බලාපොරොත්තු වන්නේ ජනතාවගේ වැය කිරීමේ ශක්තිය වැඩි කිරීමයි. පොලී අනුපාත පහළ දැමීම නිසා ණය ප්‍රසාරණය වැඩි වෙනවා. පොලිය අඩු නිසා ණය ඉල්ලන අය වැඩි වෙනවා. එයින් ද බලාපොරොත්තු වන්නේ ජනතාව, ව්‍යාපාරිකයන්, පාරිභෝගිකයන් ස්වකීය වියදම වැඩි කිරීම නිසා රටේ සමස්ත වියදම් මට්ටම ඉහළ යාමයි. ජනතාව වැඩියෙන් ඉල්ලුම් කරනවා. වැඩි ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදකයන් වැඩිපුර නිපදවන්නට පටන් ගන්නවා. මේ නිසා කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත අංශ සියල්ල ප්‍රසාරණය වෙනවා. එම අංශ වර්ධනය වන විට ආදායම සහ රැකියා උත්පාදනය ඉහළ යනවා. එහෙත් මෙහි සීමාවක් තිබෙනවා. අද වන විට යුරෝපීය රටවල් මේ ප්‍රතිපත්තියේ බොහෝ දුර ගිහින්. ඒ රටවල නිෂ්පාදනය බොහෝ දුර්වල මට්ටමක පවතින්නේ. මේ උද්ධමනය අඩුවිල්ල අවධමනයක් වන තත්ත්වයකට පත්වෙලා. පොලී අනුපාත 0ට වැටී තිබෙනවා. අමෙරිකාවේ පොලී අනුපාතය 0 – 0.5 අතරයි. යුරෝපීය කලාපයේ රටවල 0 යි. ජපානය, යුරෝපීය සමහර රටවල්, ස්කැන්ඩිනේවියානු රටවල්වල එය ඍණ (-) බවට පත්වෙලා. ඉතිරි කිරීම දුර්වල වෙලා. වාණිජ බැංකු මහ බැංකුවේ ඉතිරි කරනවා. ඒ වෙනුවෙන් මහ බැංකුවට ගෙවිය යුතුයි. මහ බැංකුවෙන් මුදල් ණයට ගැනීම ලාභදායීය. එහෙත් මේ රටවල උද්ධමනයක් ඇති වී නැහැ. ඒත් ලංකාවේ බිය තිබෙන්නේ මෙහි උද්ධමනය වැඩිවෙයි කියලයි. ඒ නිසා රජය බලාපොරොත්තු වන පරිදි උද්ධමන අනුපාතිකය තවදුරටත් තනි ඉලක්කමක තබා ගත යුතු වෙනවා.

අපේ රටේ බැංකුවලින් සාමාන්‍ය මිනිසුන්ට ණය ගන්න අමාරුයි. එයට හේතුව විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු ඉල්ලන සුදුසුකම් සැපිරීම අපහසු වීමයි. ඉල්ලන ඇප තබන්න බැහැ. ජනතාවගේ මධ්‍යගත තොරතුරු කළමනාකරණයක් අපේ රටේ නැහැ. වෙන රටවල සුළු ව්‍යාපාරිකයකු ගැන වුවත් තොරතුරැ මධ්‍යගත කර තිබෙනවා. අපේ ව්‍යාපාර කරන අය ගැන රජය දන්නෙ නැහැ. මේ නිසා ආදායම් බදු අයකිරීම පවා අපහසුයි. ආදායම් බදු ගෙවීම පැහැර හරින අය සොයාගන්න ක්‍රමයක් නැහැ. මේ නිසා බොරු තොරතුරු දී බේරෙන්න පුළුවන්.

රටේ ආර්ථික අවපාතයක් ඇතිවිට ණය නොගෙවීමේ අනුපාත වැඩි වී තිබෙනවා. ගත් ණය ගෙවීම ගැන අවදානමක් පවතිනවා. මේ තත්ත්වයට මුහුණ දී ඇති බැංකු තවත් අවදානමක් ගන්න අකැමැතියි. බැංකුවල ද්‍රවශීලතා මුදල් පාවිච්චි නොකර ආපසු බැංකුවටම යනවා. ආයෝජනයට ගන්නේ නැහැ. අපේ බැංකු ණයකරුවන්ට පනවන කොන්දේසි ඉතාම දැඩියි. ලිහිල් කළ විට බැංකුවලට අවදානමක් ගන්න වෙනවා. ඒ නිසා එසේ කරන්නේ නැහැ.

පොදුවේ කතා කළහොත් රටක බැංකු පොලී අනුපාත පහළින් තිබීම හොඳයි. ණය ප්‍රසාරණය වෙනවා. ව්‍යාපාර දියුණු වෙනවා. උද්ධමනය පිළිබඳ අවදානමක් ඇතිවීම නිසා එය හැසිරවිය යුතුයි. ලොව ආර්ථික අනුපාතය හේතුවෙන් උද්ධමනය පහළ යනවා. එය රජය කළ දෙයක් නොවෙයි. පොලී අනුපාත ඉහළ ගොස් ආදායමක් ලබනවා නම් එය වැරදි අර්ථක්‍රමයක ප්‍රතිඵලයක්. මෙහිදී සිදුවන්නේ කිසිදු ආර්ථික කටයුත්තකට මැදිහත් නොවී නිකම් ඉඳලා ආදායම ලැබිල්ලක්. මෙය සිදුවන්නේ අයහපත් ආර්ථික කළමනාකරණය නිසයි. සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළට ඇතුළු විය යුතුයි. එය සිදුනොවීම අපේ අර්ථක්‍රමයේ පවතින දුර්වලතාවක් බව කිව යුතුයි.

 යසවර්ධන රුද්රිගු

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02