2020 ජුලි 04 වන සෙනසුරාදා

වම් අතින් අල්ලා දකුණතින් වික්ක නාෙකාටික්!

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

කුඩු පාතාලය මෙරට වෙලාගත් බූවල්ලෙකි. 2013 සිට රටට කුඩු කන්ටේනර් ගණනින් එන්න පටන් ගත්විට බොහෝ දෙනා තිගැස්සුණහ. මෙච්චර කුඩු එන්නේ ඇයි? කවුද මෙච්චර බොන්නේ? වගේ ප්‍රශ්න ඇතිවුණු අතර එයට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් දුන් පිළිතුර වූයේ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරමේ මර්මස්ථානයක් බවය. ඒ ප්‍රශ්නය එලෙස විසඳුවත් ජනතාවට නැගුණු ඊළඟ බරපතළම ප්‍රශ්නය වුණේ අත්අඩංගුවට ගත් කුඩුවලට මොකක්ද වෙන්නේ කියාය. එය බරපතළ ප්‍රශ්නයක් වීමට හේතු වුණේ කෙතරම් කුඩු ඇල්ලුවත් කුඩු සමාජයේ අඩුවක් නොවීම නිසාය. එයට අවසානයේ පිළිතුරක් ලෙස කුඩු කිලෝ ගණනින් මාධ්‍ය ඉදිරියේ විනාශ වන අයුරු පළ කෙරිණි. එය මහා සැණකෙළි ස්වරූපයෙන් සිදු විය. එහෙත් කුඩුවල අඩුවක් නැත.
එහෙත් ඇත්ත සැමදා සැඟවිය නොහැක. එය කෙදිනක හෝ එළියට එනු ඇත. ඒ අනුව මෙතෙක් රටේ මිනිසුන්ට ප්‍රශ්නයක්ව තිබූ අල්ලන කුඩුවලට මොකද වෙන්නේ යන පැනයට මත්ද්‍රව්‍ය කාර්යාංශයේම නිලධාරීහු පසුගියදා පිළිතුරක් ලබා දුන්හ. ඒ ඔවුන් විසින් අත්අඩංගුවට ගන්නා කුඩු අයිස් ඔවුන් විසින්ම විකිණීම නිසාය. ඒ නිසා කුඩු දකුණු අතෙන් ගෙන වම් අතින් විකිණීමේ කතාව පසුගියදා හෙළි විය.

එනම් මිනුවන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව චමින්ද නොහොත් ටයිල් චමින්ද යන කුඩු ජාවාරම්කරුවා අත්අඩංගුවට ගන්නේ කුඩු ග්‍රෑම් 500ක් ද සමඟය. පසුව ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය ප්‍රශ්න කරන අතරතුර ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් පිරිසක් ද ටයිල් චමින්ද සොයාගෙන පැමිණ ඇතැයි පැවසේ. එහිදී නාකොටික් උප පොලිස් පරීක්ෂවරයකු චමින්දගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරැ එම පොලිස් නිලධාරියා හඳුනාගෙන "එදා සර්ලා නේද බඩු අරන් ආවේ" යැයි පවසා තිබේ. එම ප්‍රකාශයෙන් පසුව කලබල වුණු නාකොටික් පිරිස එතැනින් විසිර ගිය අතර පසුව මිනුවන්ගොඩ පොලීසිය ඔහුව දෙදිනක් රඳවා ප්‍රශ්න කරන අවස්ථාවේදී චමින්ද පවසා ඇත්තේ ඩුබායිහි සිටින ගිහාන් ෆොන්සේකා විසින් මෙම මත්කුඩු ලබාදුන් බවයි. ගිහාන් යනු මාකඳුරේ මධූෂ්ගේ ළඟම ගෝලයා වන අතර ඔහු ඩුබායි සිට චමින්ද අමතා "මහත්වරු වගයක් බඩු ටිකක් ගෙනත් දෙයි... අන්න ඒක ගනින්" යනුවෙන් ටයිල් චමින්දට දැනුම් දී තිබේ. ඒ අනුව කුඩා වෑන් රථයකින් පැමිණි පිරිසක් එම කුඩු තොගය චමින්දට ලබා දී ඇත. ඒ කුඩු කිලෝ 24ක් පමණය. කෙසේවෙතත් ඒ පැමිණි පිරිස නාකොටික් නිලධාරීන් පිරිසක් බව දැනගන්නට වැඩි වෙලාවක් ගියේ නැත. ඒ එම පරීක්ෂණය රහස් පොලීසියෙන් බාරගැනීමත් සමඟය.

මේ කතාව මැයි 14 වැනිදා දක්වා දිගුවන්නේ මේ කුඩු හාල් ගෝනිවල ඇසිරූ කුඩු තොගයේ කොටසක් වන නිසාය. මේ ලිපිය ලියන ලියුම්කරු ද ඒ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගත් අතර ඔවුන් සඳහන් කර සිටි කතාව ලියුම්කරු ද මෙවැනිම ඉරිදා ලිපියකින් ලියා දැක්වීය. මෙම කුඩු දැනට බන්ධනාගාරයේ සිටින කොස්ගොඩ තාරක සහ මොහොමඩ් සිද්ධික්ගේ කුඩු බව එම නිලධාරීහු සඳහන් කළහ. ජාවාරම්කරුවන් මුහුදේ සිට ගොඩබිමට එන තෙක් සිටි බවත් ඊට පසුව ගෝනිවල ඇසුරුම් කර කුඩු තොග ප්‍රවාහනය කරන තෙක් බලා සිට පසුව මහබාගේ ප්‍රදේශයේදී ඒවා අත්අඩංගුවට ගත් බවත් නාකොටික් නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ. එමෙන්ම එම කුඩු කිලෝ 225ට අමතරව තවත් කුඩු කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් හොර පාරෙන් ජාවාරම්කරුවන්ට විකිණූ බව ද ටයිල් චමින්ද හරහා හෙළි විය. මෙම කුඩු බලපිටියේ පිහිටි හෝටලයකත්, මාතර සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවෙස් දෙකකත් ඇසුරුම් කර ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීමේ සැලසුම සකසමිනි. ඒ අනුව නාකොටික් උප පොලිස් පරීක්ෂකවරයාත්, තවත් තිදෙනකුත් එක්ව මෙම හෙරෝයින් තොගය ටයිල් චමින්දට ලබාදී ඇතැයි පැවසේ. ඒ හඳුනාගැනීම මත ටයිල් චමින්දත් ඒ කුඩු ලබාදුන් ස්ථානයේ සිටි වත්තක මුරකරුවකුත් උප පොලිස් පරීක්ෂවරයා විසින් හඳුනාගෙන ලැබ තිබේ. ඒ නිසා ඒ ජාවාරමට සම්බන්ධ කිසිවකුට ගැලවීමක් නොවිණි.

කෙසේවෙතත් පොලීසිය නීතිය නැවීමටත් නීතියෙන් රිංගීමටත් දන්නා නිසා බොහෝ දෙනා සිතුවේ මෙය තවත් සිද්ධියක් වනු ඇති බවය. රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම් හමුවේ අසරණ වුණු පොලිස් නිලධාරීන් සියල්ල වමාරන්නට වූයේ තවත් සැඟවීමට දෙයක් නැති නිසාය. ඒ අනුව එක් සැරයන්වරයකුගේ මහව පිහිටි නිවෙසේ තිබී තුන්කෝටි එකොළොස් ලක්ෂයක් සොයා ගැනීමට රහස් පොලීසියට හැකි විය. ඒ මේ කුඩු ජාවාරම හරහා ලබාගත් මුදල් බවට අනාවරණය වීම නිසාය. එම මුදල පස් දෙනකු අතේ බෙදා හැරීම සඳහා එම නිවෙසේ සඟවා තිබූ බව පසුව අනාවරණය විය.

එසේම ඉන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයාගේ මිනුවන්ගොඩ නිවෙස පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් ලක්ෂ නවයක් හමු විය. ඊට අමතරව කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයකුට අක්කර පහළොවක කුරුඳු ඉඩම් සහ ඔහුගේ රියැදුරුට ද එවැනි ඉඩම් ලබා දී තිබුණි. මීට අමතරව කෝටි ගණනක වාහන රුසක් ද රහස් පොලීසිය මගින් සොයාගනු ලැබීය. මෙම කුඩු ප්‍රවාහනය සඳහා යොදාගත් වාහන ද මේ වනවිට අත්අඩංගුවට පත්ව හමාරය.

එහෙත් මෙම කුඩු තොගයේ නාටකයට අවශ්‍යම පුද්ගලයකු තවමත් සොයාගන්නට නොහැකි වී ඇත. ඒ මේ කණ්ඩායමේ නායකයාය. ඔහු පොලිස් පරීක්ෂවරයෙකි. එහෙත් ඔහු තම නිවෙසින් දරුපවුල් ද රැගෙන පලා ගොස් තිබේ. ඇතැම් අය පවසන්නේ ඔවුන් බෝට්ටුවකින් පැනගන්නට ඇති බවය. එහෙත් මේ මොහොතේ ඊට ඉඩක් නැත. ඒ කොරෝනා තත්ත්වය නිසාය. නමුත් ටයිල් චමින්දගේ ප්‍රකාශයෙන් පසුව ඔහුගේ ගිණුමට කෝටි දහයක මුදලක් පැමිණ ඇති බව අනාවරණය විය. එසේම ඔහුගේ තවත් ඥාතියෙක් කුඩු කිලෝ හයක් සමඟ නාකොටික් නිලධාරීන් විසින්ම අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් විසිනි.

මෙම කුඩු තොගය බලපිටියෙන් රැගෙන එන පොලිස් නිලධාරීන් ඉන් කිලෝ 136 ක් කොළඹට යවා ඉතිරිය චමින්දට බාර දෙන්නේ එම නිලධාරීන් සමඟ වූ නිල රථය ද සමඟය. එම වාහනය පසුව කොට්ටාව ප්‍රදේශයේදී “ලොකූ” නැමැති අයකු විසින් බාරගෙන තිබූ අතර ඔහු පොලිස් නිලධාරීන් මඟ දමා එම ජිප් රථය රැගෙන ගොස් නැවත ලබා දී තිබේ. කෙසේවෙතත් චමින්දත්, ලොකූ නැමැත්තාත් මේ පොලිස් නිලධාරීන් හඳුනන්නේ නැත. එහෙත් ඩුබායි සිටින ගිහාන් විසින් දෙන පණිවිඩයකට අනුව මේ දෙදෙනා හඳුනාගෙන තිබේ. ඒ චමින්දගේ හඳුනා ගැනීම අවසානයේ මිනුවන්ගොඩ පොලීසිය තුළ එස්.අයි සහ චමින්ද අතර සම්බන්ධය හඳුනා ගැනීමට ඉවහල් විය. කෙසේවෙතත් පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා ගියේ චමින්ද බේරාගැනීමේ අදහසින් බවය.

මීට අමතරව රහස් පොලීසිය මත්ද්‍රව්‍ය ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි තිබූ ප්‍රමාණය ඉතාම අඩු වී තිබේ. පසුව ඒ ගැන සොයා බැලීමේදී හෙළිවුණේ පොලිස් නිලධාරීන් ගබඩාවේ තිබූ මත්ද්‍රව්‍ය ද විකුණා ඇති බවය. ඒ අනුව අප්‍රේල් 15, 30 සහ මැයි 15 අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වලින් අයිස් කිලෝ 500ක් සහ 664ක්ද, හොරොයින් කිලෝ අටක්ද, මත්පෙති කිලෝ 581ක්ද සොරකම් කර ඇති බව හෙළි විය. එම සොරකම් කළ මත්ද්‍රව්‍ය විකුණා ඇති බව පසුව අනාවරණය විය. වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වූයේ මීට තවත් නිලධාරීන් 12 දෙනකු මේ අපරාධයට සම්බන්ධ බවය. පසුව ඔවුන් පිරිස පසුගිය බදාදා රාත්‍රියේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මීට අමතරව මහබාගේ හෙරොයින් සිද්ධියේදී මුහුදෙන් රැගෙන ආ හෙරොයින් අතර ගිනිඅවි හතරක් ද සොයාගෙන තිබේ. එයද මොවුන් විසින් සොරකම් කර ඇත. පසුව පරීක්ෂා කිරීමේදී හෙළිවුණේ එක් ගිනිඅවියක් කොස්තාපල්වරයකුගේ නිවෙසේ සඟවා ඇති බවය. එහෙත් තවත් තුනකට සිදුවූ දෙයක් නැත.

මේ තත්ත්වය හමුවේ පොලිස්පතිවරයා විසින් එහි සිටි සියලුම ඉහළ නිලධාරීන් මාරැ කරනු ලැබූ අතර පසුව අනෙකුත් නිලධාරීන් ද මාරු කරන බව දැනගන්නට තිබේ. එසේම සෑම පොලිස් නිලධාරියකුගේම ජංගම දුරකථන අංක සහ බැංකු ගිණුම් ද පරීක්ෂා කිරීමට රහස් පොලීසිය තීරණය කර තිබේ. ඒ අනුව මෙම සිද්ධියට පොලිස් නිලධාරීන් 16 දෙනකුත්, සිවිල් පුද්ගලයන් 4 දෙනකුත් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මතය.

මේ අතර පසුගිය සිකුරාදා ගල්කිස්ස කොට්ඨාසය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා මේ සම්බන්ධ කිසිවක් නොදන්නා බව පවසා තිබේ. ඔහුගේ ගිණුම් පරීක්ෂා කළද
එහි ද මුදල් තිබී නැත. පසුව තම සැකය මත පොලීසිය නිවෙසේ සිටින මෙහෙකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුට අයත් පෞද්ගලික බැංකු ගිණුමක තිබී ලක්ෂ 1113ක මුදලක් සොයාගෙන තිබේ. ඒ අනුව අනාවරණය වී ඇත්තේ සියලුම ජාවාරම්කරුවන්ගේ මුදල් මොහුගේ ගිණුමට බැර කරන බවය. පසුව තවදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මේ ගිණුම් පිළිබඳව උපදෙස් ලබා දී ඇත්තේ බැංකු මහත්තයා නැමැති අයකු බවය. අනතුරුව ඔහුව ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු සන්තකයේ ද ලක්ෂ 65ක මුදලක් ඇති බවය. ඔහුද ජාවාරම්කරුගේ මුදල් එක්රැස් කළ අයකු බව අනාවරණය වී තිබේ.

මේ සිදුවීමෙන් පසුව ද එක්තරා පෞද්ගලික බැංකුවක් තුළ මේ ජාවාරම්කරුවන් වැඩි වශයෙන් මුදල් තැන්පත් කරන බවට අනාවරණය වී ඇත. මේ නිසා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලීසිය වෙනම අවධානය යොමු කර ඇතැයි ද සඳහන් වේ.

 ගයාන් ගාල්ලගේ