කොරෝනා කාලේ එකිනෙකාගෙන් දුරස්තව හිඳිමින් චිත්‍රපටයක් නිර්මාණය කළ ලෝකයේම පළමුවැන්නා අශෝක හඳගම විය හැකිය. ඒ චිත්‍රපටය ඇල්කොහොල් නැති බියර්ය. මේ කෙටි චිත්‍රපටය ගැන සිනමා විචාර මට වඩා සිනමා විෂයෙහි දැනුම ඇති බොහෝ දෙනෙකු විසින් ලියනු ලැබ තිබේ.
මෙම කුඩා සිනමා කෘතියෙහි එන සංකල්පයක් මගේ සිත්ගත්තේය. ඒ වැටීම සහ ආදරය යන්නය. ෆෝලින් ඉන් ලව් හෙවත් ආදරය වෙත ඇද වැටීම සංකල්පය රූපකයක් සේත් වාච්‍යාර්ථව අදහසක් සේත් ගැනීම මේ චිත්‍රපටයේ කේන්ද්‍රීය කාරණයකි. අප දැනට දන්න හැටියට මේ සිනමා කෘතියෙහි එන විවාහක යුවළ දෙකම ආදරය වෙත ඇද වැටී ඇත්තේ සැබෑ වැටීම් හෙවත් වාච්‍යාර්ථයත් වැටීම් දෙකක් නිසාය. රුක්මාල් නිරෝෂ්, සමනලී ෆොන්සේකාගේ ඇස් සමඟ ආදරයෙන් බැඳෙන්නේ ඇත්ත වැටීමකින් පසුවය. ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ සමනලී ආදරයෙන් බැඳෙන්නේද එවැනි හැබෑ වැටීමේ සිද්ධියකින් පසුවය. ඒ කැම්පස් උද්ඝෝෂණයකට එල්ල වූ කඳුළුගෑස් ප්‍රහාරයකින් අනතුරුවය.
එවැනි තථ්‍ය වැටීමක් චිත්‍රපටියේත් සිදුවේ. ඒ වූකලී අවසාන දර්ශනයේදී නදී කම්මැල්ලවීරගේ ඇද වැටීමය. ඒත් ඇයගේ දෑස් එල්ලවන ආදරවන්තයා කවුද? ඒ වැටීමෙන් පසු ඇය නැගිටිනු ඇත්තේ කාගේ ඇස් දෙස බලාගෙනද? ඒවා අපගේ පරිකල්පනයට බාරය. එවැනි දෑසක් නොමැතිකම වූකලී මේ කොරෝනා තනිකමේ ඛේදවාචකය නොවේද?
එවැනි ඇස් මුණ ගැසීමක් සිදුවිය හැක්කේ කොරෝනා සමයකදී නොවේ. දන්නා කියන අයගේත්, අමුත්තන්ගේත් බොහෝ ඇස් අප අහල පහළ තිබිය හැකි සාමාන්‍ය තත්ත්වයකදීය. අප කුඩා කුඩා න්‍යෂ්ටික පවුල්වලට වෙන්වී සිටීමේ ඛේදවාචකය කොරෝනාවලින් පෙන්වූ පරිදිම මේ චිත්‍රපටියෙනුත් එය පෙනේ. සැබෑ ඛේදවාචකය කොරෝනාද?
ඒ අර්ථයෙන් මේ චිත්‍රපටය මට නදීගේ කතාව සේ පෙනේ. ඇයට තථ්‍ය වශයෙන් වැටෙන්නට හැකි වුවත්, රෑපකමය වශයෙන් ආදරය වෙත ඇද වැටෙන්නට නොහැකි බව ඇය පුටුවේ හැපී සැබැවින්ම ඇද වැටෙන්නට පෙරම දනියි. ඒ නිසා ඇගේ වැටීම ඇති කරන්නේ ශෝකයකි.
චිත්‍රපටියේ නම හැරැණු විට අන් සියල්ලම මගේ සිත් ගත්තේය. ඒ නම ආශ්‍රිත සංකල්පය යනු ජනප්‍රිය න්‍යාය සුපර්මාකට්ටුවේ (ශිශෙක්) සහ එහි සිල්ලර කඩවල පට්ට ගැසී එහි රෑපකමය ශක්තිය නැති වූවකි. ඇල්කොහොල් නැති බියර්, කැෆේන් නැති කෝපි යනාදි යෙදුම් පට්ට ගැසුණු සරල කියමන් හෙවත් ක්ලිශේ බවට පත් වී තිබේ. ඒවායෙන් යම් න්‍යායික මෝස්තරකාරකමක් පෙන්විය හැකි නමුත් ඒවා කිවයුතු තරම් අලුත්ද නොවේ. එහෙයින් ඒවා කෙළින්ම මතකයට නොඑන නමක් සිනමා කෘතියට යෙදුවේ නම් උචිතය. අදාළ සංකල්පය භාවිත කිරීම වරදක් නොවේ. කලින් කළ ප්‍රවණතාව බවට පත් වන ජනප්‍රිය න්‍යායික කියමන් කෘතියට පිටුපසින් පැමිණීම වරදක් නැත. ඒවා කෘතියකට ඉදිරියෙන් යාම කෘතියට අනවශ්‍ය බරකි. පශ්චාත් නූතන යුගයේ පමණක් නොව නූතන යුගයේ පවා මනුෂ්‍ය පුද්ගලභාවය නමැති බියර් බඳුනේ සැබවින්ම ඇල්කොහොල් නමැති සාරය තිබුණේද? මනුෂ්‍යයාගේ සාරමය අන්තර්ගතය යනු කතිකාමය වශයෙන් ගොඩනගන්නක්ද? සංස්කෘතිකමය වශයෙන් උරැමවන්නක්ද? නිරන්තරයෙන් විකාශනය වන්නක් නිසා අනවරතයෙන් වෙනස් වන්නක්ද? මේවා වූකලි දර්ශනය ක්ෂේත්‍රයෙහි පවත්නා පැරණි ප්‍රශ්න වේ.
මේ හතරදෙනා බොන බීම වර්ග බාර් වහන්න පෙර ගත්තුවාද, නැතිනම් බීම විදියට පෙනී සිටින දේවල්ද? නදීගේ අතේ තියෙන වීදුරැවේ රතුවයිනුත්, ශෙරීත් අතර මැද පෙනුමක් තිබේ. මේ අය බොන බීම ඇල්කොහොල්වලින් තොර බවද පෙනේ. ඒ අතින් එය ශිශෙක්ගේ මුඛරි කියුමට වාච්‍යාර්ථයෙන්ද සමානය.
ඇත්තටම චිත්‍රපටිය එහි නමින් ඇඟවෙන පශ්චාත් නූතන සරල කියමනින් සහ එය ආශ්‍රිත සංකල්පයෙන් ඈතට යයි. ඒ මෙතනදීය: බියර් බියර් බවට පත්වෙන්නේ එහි අභ්‍යන්තරයෙහි ඇල්කොහොල් තියෙන නිසා නොවේ. එය බෙදාගන්නට තවත් මනුෂ්‍යයන් සිටින නිසාය. මට නම් මගේ බියර්වල නියම ඇල්කොහොල් වූකලී මගේ සමීතම මිතුරන් ටික දෙනා වෙති. කොරෝනා අපට අහිමිකර තිබෙන්නේ ඔවුන්ගේ ඇසුරයි. තනිවම ඇද වැටෙන නදී කම්මැල්ලවීර අපට සිහි කරන්නේ අහිමි වීමයි.
මේ කෙටි චිත්‍රපටියේ අපේ කොල්ලන් කෙල්ලන් රඟපාන හැටි හරි පුදුමය. සමනලී සහ නදී ඉනුත් විශේෂ වෙති. රැක්මාල් නිරෝෂ් තමන්ගේ හිතේ තිබුණ දේ ගැන කියූ පසු සමනලී කරන රඟපෑම පුදුමාකාරයි. රැක්මාල්ගේ රහස් ආදරය විඳිමින් ඇය චාපා වෙත අවංක ආදරය දක්වමින් රැක්මාල්ට වදදෙයි.
අශෝක හඳගම විවිධ ශානරවල වැඩ කළ හැකි සිනමාකරැවෙකි. මේ සිනමා කෘතිය ගැන සටහනක් ලියූ ප්‍රියන්ත ෆොන්සේකා මෙවැන්නක් කීවේය. විදූ චිත්‍රපටය තුළ හඳයාගේ අඩි සද්දෙ නැතැයි කියූ විචාරකයන්ට නොපෙනුණ නමුත් ඒ තුළ හඳයා සිටියේය. එය ඇත්තකි. ප්‍රධාන ධාරාවේ සිනමාකරැවෙකු සිනමා කර්මාන්තයක් ගොඩගන්නා ආකාරයේ ජනප්‍රිය සිනමාවකට අයත් ශානරයකත් වැඩකරන අවස්ථාවක් එහි විය. එක ශානරයක් පමණක් සිනමාව යැයි ගන්නා අය ඔහුට පහර දුන්හ. ඔහුගේ කලාව අසන්ධිමිත්තා පමණක් නොවේ. විචාරකයන් පමණක් නොව, ඒ ඒ කාලයේ ජනප්‍රිය වන න්‍යායික වචනත් අතේ දුරින් තබාගෙන පූර්ණකාලීන සිනමා ජීවිතය ගෙන යාමට සමත් පුදුමාකාර නිර්මාණ ශක්තියක් හඳගමට තිබෙන බව මේ කෙටි චිත්‍රපටියෙන්ද පෙනේ.
(මෙම කෙටි සිනමා පටය යූ ටියුබ් ඔස්සේ ඔබටත් නැරඹිය හැකිය)
මහාචාර්ය ලියනගේ අමරකීර්ති