හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වූ බන්ධනාගාර ලොක්කන් කිහිපදෙනකු පිළිබඳ කතා ඇසෙන්නට වූයේ අද ඊයෙක නොවේ. දැන් දැන් ඒවායේ (තිත්ත ඇත්ත) කරළියට එන්නට පටන්ගෙන ඇති සෙයක්ද දැනේ. ඒ රජ්‍ය බුද්ධි අංශවල ඇස ඒ දෙසට යොමුව ඇති බැවිනි.
ඉකුත් 27දා බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ පාතාල අපරාධකරුවන් 14ක් තමන්ට හිරිහැර වන බව දැනුම් දී ආහාර වර්ජනයක නිරතවූයේ රටටම දැනේනනටය. වහාම ඒ පිළිබඳව සොයාබලන්නට කොළඹින් ගිය ඉහළ නිලධාරීන් දෙදෙනෙකුට එහිදී මුහුණදෙන්නට සිදුව ඇත්තේ නොසිතූ දෙයකට බවට එහි නිලධාරීන් පවසනුයේ මෙය (ඉල්ලන් කෑමක්) ලෙසටය.
එදා මෙදාතුර අල්ලස් ලෙස ලක්ෂ ගණනින් මුදල් ලබාගත් නිලධාරීන් පිළිබඳ නම් ගම් ලැයිස්තුවක්ද සමඟින් ඔවුන් තර්ජනය කළේ එම නිලධාරීන් දෙදෙනාටද කටඋත්තර නැතිවන්නටය. හැමදේම ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත කියමින් ප්‍රශ්නයෙන් ගැලවෙන බවටත් එදා මුදල් ගන්නාවිට ආරක්ෂක අමාත්‍යංශයේ බවක් නොකී බවටත්, විමසා ඇති ඔවුන් එම නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බවටද තොරතුරු වාර්තා විය.
සිරගෙදර යනු (සල්ලි උපයන උල්පතක්ය) යන්න බැහැර කළ නොහැක්කේ කෝටිපතියන් බවට පත්වී ඇති නිලධාරීන් සියලුමදෙනා සිරකුටි විකිණීම හා සුපිරි පහසුකම් සැලසීම මහා පරිමාණ ජාවාරමක් කරගෙන ඇති නිසාය. ඒ සමගම කෝටිපති දූෂිත නිලධාරීන් 7 දෙනකුගේම නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව දෙසින් අසන්නට ලැබීමද අරැමයක් නොවන්නේය.
එහි ආසන්නතම සිද්ධිය ඇසෙන්නේ මීගමුව බන්ධනාගාරයෙනි. විශේෂිත සිරකුටියකට ශීතකරණ ඇතුළු (සැප බඩු) ලබාදීමේ චෝදනාව මත එහි සහකාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කර අවසන්ය. මෙහි වඩාත්ම පුදුම සහගත කරදර වන්නේ කෝටිපති නිලධාරීන් සතු කිසිදු වත්කමක් දේපලක් ඔවුන්ට අයත් නොවීමය. සියල්ල සැලසුම් සහගතව සිදුවෙන්නේ එලෙසිනි. මේ එහි අවසන් නිලධාරියා නොවන්නේ තවත් එවැනි 7-8 දෙනෙකුම බන්ධනාගාරවල මුල් පුටු හොබවන බැවිනි.
බුද්ධි අංශ තොරතුරුවලට අනුව, මීට වසර ගණනාවකට පෙර ජේලර් නිලයෙන් දකුණේ බන්ධනාගාරයක සේවය කළ නිලධාරියෙකු අද උසස් නිලයක් දරනුයේ කෝටිපති ලැයිස්තුවේ මුලටම සිටිමිනි. ඒ දඬුවම් නැමැති පොලීකරුවාගේ පිහිටෙනි. පාතාලයේ ගෝඩ් ෆාදර්ලා ඇසුරෙනි.
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් හා පාතාල කෙරුමන් සමඟ සබඳතා පවත්වමින් කෝටිපතියන් බවට පත්වූ දැනට හඳුනාගෙන ඇති 7 දෙනාට අමතරව තවත් කිහිප දෙනෙකුම දැනට විශ්‍රාම ගොස්ය. මේ වනවිට රටින් පලාගොස් සිටින ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල අපරාධකරුවන් සමඟ දුරකතන මගින් සබඳතා පවත්වමින් සිරකරුවන්ට බන්ධනාගාර තුළ රිසිසේ හැසිරෙන්නට අවසර ලැබී ඇත්තේ මේ ඉහළ නිලධාරීන්ගේ සහායෙන් බවට සාක්ෂි ඕනෑතරම් ඇත.
ජීවිතාන්ත සිරදඬුවම් විඳින (සුසෙයි) නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ දුරකතන සබඳතා පැවැත්වූ බවට සඳහන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ 2018 වසරේදීය.
විවිධ දූෂණ චෝදනා මත වැඩ තහනමට හා මූලස්ථානයට මාරුකර යවන ලද නිලධාරීන් ටික දිනකින් ඊටත් වඩා හොඳ බන්ධනාගාරයක අධිකාරිවරයාය. උඩරට ප්‍රදේශයේ බන්ධනාගාරයක් භාරව සිටි උසස් නිලධාරියකු කුඩු ජාවාරම්කරුවෙකුගේ සහෝදරියකගෙන් රුපියල් ලක්ෂ 20ක් සිය ගිණුමට බැරකරගත් බවට චෝදනා ලැබ වැඩතහනමකට ලක්ව, කෝටිපති නිලධාරියකු වී අද වෙනත් පළාතක බන්ධනාගාරයක ලොක්කාය.
ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මරණීය දණ්ඩනය නියම වී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “වෙලේ සුදා” නැමැත්තා රිමාන්ඩ් භාරයේ සිටියදී විශාල ලෙස මුදල් ලබාගත් බවට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන් 18 දෙනකු පිළිබඳ තොරතුරු රහස් පොලිසිය අනාවරණය කර තිබුණේ 2015 වසරේදීය. බන්ධනාගාර අධිකාරිවරුන් ඇතුළු 18 දෙනෙකු ඊට අයත් බවට ආරංචි පැතිර යද්දී අධිකාරිවරුන්ගේ නම් එම ලැයිස්තුවෙන් හැලී ගියත් හීන්සීරුවේම එයින් ගොඩගිය නිලධාරීන් කිහිප දෙනා අදටත් කෝටිපති ලැයිස්තුවේය.
පොඩි නිලධාරීන් 18 දෙනෙකු සහ වැඩ තහනමට ලක්වුවද නැවත සේවයේ පිහිටුවා ඇත්තේ විනය චෝදනාවක්ද නැතිවය. දකුණු පළාත හෙල්ලූ පාතාල අපරාධකරුවන් වන (පොඩි ලැසී) ඇතුළු සහචරයන්ට බන්ධනාගාරය එවකට (සුපිරි කෙළිපිටියක්) බවට පත්වූයේ නව අධිකාරිවරයා වැඩභාරගත් දා සිටය. පාතාල කණ්ඩායම් ගණනාවක්ම එකල එම බන්ධනාගාරයේය. දේශපාලනඥයකුගේ පිහිටෙන් සියල්ලන්ටම ඉහළින්ම සැලකිලිය. ඒ වනවිට නව අධිකාරිවරයා දේශපාලනඥයා සරණ යමින් බන්ධනාගාර පුටුවේ ඉහළ තනතුරකට තම හිතෛෂි ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත්කළ අයුරු නිලධාරීන් අදටත් සිහිකරනුයේ හිරිකිතයකින් යුතුවය.
2017දී පමණ ඉහළම පුටුව හෙබවූ එම දෙපාර්තමේන්තු නිලධාරියා වසර 2ක් යන්නට පෙර අධිකරණ අමාත්‍යංශයට මාරුකර යැවුණේ කාර්යභාරයක් නැතිවය.
මීගමුව බන්ධනාගාරයේ හිටපු ලොක්කෙකුද මෙම කෝටිපති ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව කියන්නේද එහි නිලධාරීන්මය. ඊට පෙර වෙනත් බන්ධනාගාරයක සිටියදී ගඩොල් ලොරි පිටින් පිටමං කළ බවට චෝදනා එල්ල වූ ඔහු පසුව සබරගමුවේ බන්ධනාගාරයක ලොක්කා බවට පත්වී සිරකුටි විකිණූ බවටත්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එන විටදී පැන්නූ බවටත් ඇති කතා ගොන්නේ නිර්මාතෘවරයා ලෙසට අදටත් සැලකේ.
එතැනින් මීගමුවට ආ ඔහු එහිදී කළදේ නිසාම බන්ධනාගාර දෙපාර්තමේන්තුව කනපිට පෙරළන්නට ජනාධිපතිවරයා පියවර ගැනීමද සිහිපත් කළයුතුය. හිටපු ඉහළ නිලධාරියකු හා සමීප සබඳතා පවත්වමින් මීගමුව බන්ධනාගාරය පාතාලයන්ට හා කුඩු ජාවාරමුන්ට සුරපුරයක් කළ බවට ඔහුට අදටත් චෝදනා එල්ල වෙයි.
මීගමුව බන්ධනාගාරයේ අංක 1,2 සිරකුටිද, වැලිකඩ (කේ) වාට්ටුව, මැගසින් (ජේ) වාට්ටුව, බන්ධනාගාර රෝහලේ 1,3 වාට්ටුව, වැලිකඩ කාන්තා අංශයේ රෝහල් වාට්ටුව, සී.ආර්.පී.එම්. වාට්ටුව, මත්කුඩු ජාවාරම්කරුවන්ගේත්, ජාවාරම්කාරියන්ගේත් රජදහන් බව කියති.
මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කාර (සුසෙයි) නොහොත් ධර්මරාජා සුසේන්ද්‍රන්ගේ මහා පරිමාණ කුඩු කතාවට පණ ලැබෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේදීය. රුපියල් කෝටි 125ක් වටිනා කුඩු කිලෝ 103ක් සමඟ කළුබෝවිලදී අත්අඩංගුවට ගත් සුසෙයිගේ ගෝලයකු වන මොහොමඩ් මාහිර්ට හා පවුලේ අයට පල්ලේකැලේ බන්ධනාගාරයේ (ඉසිඹුව නිවාඩු නිකේතනය) වෙන්කිරීම ඇතුළුව ඔහුගේ කුඩු සිද්ධීන් සම්බන්ධව එවකට බුද්ධි අංශය භාරව සිටි නිලධාරියකු වටරැකට මාරුකර යැවුණේ දඬුවමක් ලෙසය. දූෂිත නිලධාරීන්ට හා කුඩු ජාවාරමුන්ට පල්ලේකැලේ (හොලිඩේ රිසෝට්) නොහොත් ඉසිඹුව නිවාඩු නිකේතනය (සුරබිදෙනක්) වූයේ ජාවාරම්කරුවන්ට හා පවුලේ අයට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව හා රැකවරණයද නොඅඩුව ලැබීම නිසාය. සුසෙයිලාගේ ගෝලයින්ට මෙහි දොරවල් ඇරෙන්නේද ඉබේටමය. මුදලේ බලය කොයිතරම් රජ කරන්නේද යන්නට මෙය කදිම නිදසුනක් නොවන්නේද?
පාතාල කුඩු මෝරැන්ගේ මුදල්වලින් බන්ධනාගාරයේ ඉදිකළ (බුදුමැදුර) විවෘත කරන්නට ආරාධනා කරනු ලැබුවේ විභාග ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියකට රිමාන්ඩ් භාරයේ සිට අප ලබාගිය ටියුෂන් ගුරුවරයකුටය. මේ සඳහාද වෙනත් චෝදනා රැසක්ද එල්ලවූ එම උසස් නිලධාරියා මෙදා බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය කර සිටි පාතාල කණ්ඩායම සනසන්නට ගොස් ඇති ආකාරය පිළිබඳ සෙසු නිලධාරීන් පවසනුයේ උපහාසයෙන් යුතුවය.
මෙහිදී පාතාල කල්ලි සාමාජිකයන් වන (කොස්ගොඩ තාරක) හා (පොඩි ලැසී) මුදල්ගත් දූෂිත නිලධාරි ලැයිස්තුව ගෙනහැර පා ඇතැයිද කියති. ඒ අතර මෙම දූෂිත කෝටිපති නිලධාරීන් කිහිපදෙනා සිටින බවටද එය හොඳ සාක්ෂියකි. දකුණේ මුලින් ඉදිකළ විශේෂිත බන්ධනාගාරයට සහකාර අධිකාරිවරයකු පත්වූයේ මේ අතරය. පාතාල කල්ලි හා ඍජු සබඳතා ඇති බවට කතා කප්පරක් ඔහු සතු බවට එහි නිලධාරීහු සඳහන් කරති.
රැඳවියන් ටික කලකින් වහලයට නැග කැරලි ගසන්නට වූයේ එස්.පී. එපා කියමිනි. ඒ ඔහු රැඳවියන් සඳහා ඇතුළත හා පිටත අවන්හල් පවත්වාගෙන යමින් (චිට්) ක්‍රමයට මුදල් බැඳ ඇතුලේ අවන්හලෙන් ආහාර ලබාදීමේ ක්‍රමය ආරම්භ කර විශාල මුදලක් උපයාත් බවටත් එයින් කොටසක් ඉහළ නිලධාරීන්ට දුන් බවටත් චෝදනා ඇති නිසාය. ඒ සමඟම (චිට් ක්‍රමයට) ඇතුළට කුඩු ගිය බවටද කතා නැත්තේ නොවේ. මේවා පාලනයට එස්.ටී.එෆ්. කණ්ඩායමක් යොදවනු ලැබුවේද මේ අතරය. එම කණ්ඩායමේද කුඩුවලට හවුල් වී 4 දෙනකු රිමාන්ඩ් වී එක් අයකුගේ වැඩ තහනම් විය. පසුව එම සියලුම දෙනා ඉවත්කර වෙනත් කණඩායමක් ආවේය.
මෙතෙක් එහි සිටි ලොක්කා ආරක්ෂක ලේකම්වරයාගේ ආගමනයෙන් පසු දැන් සංචිතයේය. නිල බලය යොදවා මුදල් පොලියට දීම හා ව්‍යාපාර රැසක හිමිකරුවෙකු වෙමින් මුදල් ඉපැයීම ඔහුගේ එකම ජාවාරම බවට දකුණු පළාතේ ප්‍රසිද්ධය. මේ අතර ඌව පළාතේ බන්ධනාගාරයක් පාලනය කරමින් යහමින් මුදල් ඉපැයූ බව කියන ලොක්කෙකු රජරටට යවා ටික කලකින් රැඳවියෙකුගේ ලක්ෂ 37කට විද්ද බවට චෝදනා කොට දැන් සංචිතයේය.
මරණ දඬුවම් විඳින පාතාල නායකයෙකු වන පොට්ට නව්ෆර් බන්ධනාගාරයේ සිටියදී අවුරුදු උත්සවයකදී හොඳම සිරකරුවා බවට පත්කෙළේද මෙම ලොක්කා බව කියති. අද මේ ලොක්කාද කෝටිපති ලැයිස්තුවේ මුලටම සිටින බවට කතා එමට ඇත.
බලවතුන්ට හා ධනවතුන්ට සුපිරි නිවහනක් වූ වැලිකඩ බන්ධනාගාර රෝහලද මුදල් මවන (කප්රුකක්) බවට ඇති කතාද බැහැර කළ නොහැක්කේ මෙබඳු වාතාවරණයක් තුළය.
සටහන - ජයන්ත සමරකෝන්