ඒ 1986 වර්ෂයයි. එවකට මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම්, සංචාරක සහ වාහන ආනයනය පිළිබඳ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් විසින් ජාතික රූපවාහිනීයේ ටෙලිනාට්‍ය මාලාවකට අනුග්‍රහය දක්වමින් සිටියේය. අනුග්‍රාහකයන්ගේ දැන්වීම් සඳහා එම ව්‍යාපාරයේ ඉදිකිරීම් සහ ආනයනය කරනු ලබන වාහන පුංචි තිරයේ ප්‍රදර්ශනය විය. මේ අතරින් එක් වාහනයක් වූයේ එවකට අයි.ටී.එන්. නාලිකාවේ විකාශය වූ නයිට් රයිඩර් කථා මාලාවේ සුප්‍රසිද්ධ මයිකල් නයිට් විසින් පදවන ලද පොන්ටියැක් ෆයර්වර්ඩ් ට්‍රාන්ස්ඇම් වර්ගයේ කළු පැහැති සුපිරි මෝටර් රථයට සමාන වාහනයකි. නමුත් එය වර්ණ 2කින් යුත් මෝටර් රථයකි. මෙම ව්‍යාපාරයේ හිමිකරැ එවකට දේශපාලන බලවතකුගේ කුළුපග හිතවතෙක්ද වූයේය. මෙම රථය ආනයනය කර තිබුණේ ඔහුගේ දෙටු පුත්‍රයා විසිනි.
කවදත් මෝටර් රථ ලෝලියකු වූ අප කථානායක දන්තනාරායන මහතාට රූපවාහිනිය නරඹන අතරතුර මෙම රථය පිළිබඳව උනන්දුවක් සහ සැකයක් ඇතිවී තිබිණි. පෞද්ගලිකවම ඒ පිළිබඳ සොයා බැලීමට ඔහු තීරණය කළේය. පළමුවෙන්ම මෙම වාහනය විකිණීම සඳහා තිබූ ව්‍යාපාරයේ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට ගැණුම්කරුවෙකු ලෙස ඔහු ගොස් විමසීමක් සිදුකර ඇත. එහිදී රථයේ මාදිලිය, චැසි අංකය සහ ආනයනය පිළිබඳ තොරතුරු ලබාගත් හෙතෙම ශ්‍රී ලංකා රේගුවේ මෝටර් රථ අංශයේ අදාළ කාලවකවානුවට අයත් ලියකියවිලි පරීක්ෂාවට ලක්කොට තිබේ. එහිදී මෙම රථයට අදාළ මාදිලියේ සහ චැසි අංකයට සැසඳෙන මෝටර් රථයක් ආනයනය කර නොමැති බව අවබෝධ වී තිබේ. ඒ අනුව ඔහු ජපානයේ සිට ලංකාවට වාහන අපනයනය කරනු ලබන ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරෙකුට වාහන මාදිලි පිළිබඳව දන්වා මුද්‍රිත වාහන සවිස්තර පොත් දෙකක් එවන ලෙස දැනුම් දී ඇත.
මෙම කාලවකවානුවේදී දන්තනාරායන මහතා සිටියේ රේගුවේ විමර්ශන කටයුතු සිදුකරනු ලබන නිවාරණ කාර්යාලයට අනුයුක්තවය. එකල සහකාර නිවාරණ නිලධාරියකු ලෙස මාස දෙකක කාලයක් සඳහා කටුනායක නිදහස් වෙළඳ කලාපයට අනුයුක්තව ඔහු සේවය කළේය. මෙම සිදුවීම වූ දිනයේදීද සුපුරුදු පරිදි අප කතානායකයා ඉහත කී ව්‍යාපාරයේ ප්‍රදර්ශනාගාරය ඉදිරියෙන් වාහනය පදවාගෙන යමින් සිටියේය. අදාළ වාහනය ප්‍රදර්ශනාගාරය තුළ ප්‍රදර්ශනය කොට තිබුණි. ඒ අනුව ඔහු කටුනායක රේගු කාර්යාලයේ සේවයට වාර්තා කොට එහි රේගු කාර්යභාර නිලධාරි මහතාට වාහනයක් පිළිබඳ විමර්ශනයක් සඳහා ප්‍රධාන නිවාරණ කාර්යාලයට යා යුතු බව දන්වා කොළඹ පැමිණියේය. එසේ එන අතරමගදී පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයකු වන ඔහුගේ පාසල් මිතුරකු හමුවී මෙම මෝටර් රථය පිළිබඳව සැකෙවින් විස්තර කොට උදව්වක් ලෙස තමා සමඟ පැමිණි ගැණුම්කරුවෙකු ලෙස ප්‍රදර්ශනාගාරයට ගොස් වැඩි විස්තර ලබාදෙන ලෙසට ඉල්ලා තිබුණි. මඳක් අදිමදි කළ මිතුරා, කමක් නැහැ යමු කියා දන්තනාරායන මහතා සමඟ ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ ඇත. ඔහුව ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටින් හැරලවා සැකයක් ඇති නොවන පරිදි මාර්ගයේ පසෙක වාහනය නවතාගෙන බලා සිටියේය.
ටික වේලාවකට පසු පැමිණි මිතුරා අදාළ වාහනයට ගොඩවී විස්තර සොයාගෙන තිබුණි. ඒ අනුව විකුණුම් මිල සහ වාහනයේ ලියාපදිංචි අංකය 13 ශ්‍රී XXXX බව අනාවරණය වූහ. අනතුරැව මිතුරාව පංචිකාවත්තෙන් ඇරලවූ දන්තනාරායන මහතාගේ මීළඟ නැවතුම වූයේ නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයයි. එහි සේවය කරන ඔහුගේ මිතුරෙකුගේ සහායෙන් 13 ශ්‍රී XXXX රථයට අදාළ ලිපිගොනුව ඔහු පරීක්ෂා කළේය. මෙම වාහනය රේගු බදු වංචාවක් සිදුකර සහ ආනයන බලපත්‍රයක් නොමැතිව ආනයනය කරගෙන ඇති බව දන්තනාරායන මහතාට අවබෝධ විය.
රෑපවාහිනී දැන්වීමකින් උපන් සැකය යථාර්ථයක් වී තිබුණි. එතැනින් කොළඹ ප්‍රධාන නිවාරණ කාර්යාලයට පැමිණ එහි උසස් රේගු නිලධාරීන්ට සැක කටයුතු මෝටර් රථයක් රේගු බදු වංචා කොට සහ ආනයන බලපත්‍රයක් නොමැතිව ආනයනය කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කිරීම සඳහා රේගු අත්අඩංගුවට ගැනීමට සෝදිසි වරෙන්තුවක් ලබාදෙන ලෙස ලිඛිතව කරුණු දන්වා ඇත. වැඩි විස්තර විමසූ සෝදිසි වරෙන්තුවකට අනුමැතිය දෙන උසස් නිලධාරියා එය අත්සන් තබන අවස්ථාවේදී වැඩි ආරක්ෂාව සඳහා වරාය පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් සහයට කැටුව යන ලෙසට උපදෙස් ලබා දුන්නේය. නමුත් පොලිස් සේවය අවශ්‍ය නොමැති බවත් තමාට තත්ත්වය පාලනය කර ගත හැකි බවත් ඔහු පවසා තිබේ. ඒ අනුව රේගු කණ්ඩායම් සගයන් වූ තවත් සහකාර නිවාරණ නිලධාරීන් දෙදෙනකු සහ නිල ඇඳුමෙන් යුත් නියාමකවරැන් දෙදෙනෙකු සමඟ තම මෝටර් රථයෙන්ම අදාළ ප්‍රදර්ශනාගාරය බලා ඔහු පිටත්විය.
කණ්ඩායමේ ප්‍රධානියා වූයේ අප කථානායක දන්තනාරායන මහතාය. ඔවුන් ප්‍රදර්ශනාගාරයට පැමිණ එහි සිටි ව්‍යාපාරිකයාගේ දෙටුපුත්‍රයා එවූ වාහන ආනයනකරුට සෝදිසි වරෙන්තුව ඉදිරිපත් කොට පැමිණි කාරණය පැහැදිලි කොට විරුද්ධත්වයක් නොමැති නම් ඒ බවට සටහනක් යොදා අත්සන තබන ලෙසට උපදෙස් ලබා දුන්නේය.
ඊට අනුමැතිය ලැබුණි. නමුත් පසුව වාහනය පරීක්ෂා කරමින් සිටියදී මෙම මෝටර් රථය නීත්‍යානුකූලව ආනයනය කරන ලද බවත් කිසිදු වංචාවක් සිදුකොට නොමැති බවත් ප්‍රකාශ කිරීමට ව්‍යාපාරික පුත්‍රයා උත්සුක විය. ඒ අවස්ථාවේදී දන්තනාරායන මහතා ජපානයෙන් ගෙන්වා ගත් තම සන්තකයේ තිබූ වාහන දෙකේ මුද්‍රිත සවිස්තර පොත් දෙක ඉදිරිපත් කළේය. එවිට එම පොත් තමාගේ බව ඔහු ප්‍රකාශ කර ඇත. නමුත් දන්තනාරායන මහතා එම පොත් දෙකම ජපන් බසින් පමණක් මුද්‍රණය කර ඇති බැවින් එසේ විය නොහැකි බව ප්‍රකාශ කර වාහනය අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. තමාහට ගැලවීමක් හෝ නිදහසට කරැණු නැති බව අවබෝධ කරගත් ආනයනකරු දන්තනාරායන මහතාට පවසා ඇත්තේ ඔහුගේ සේවකයන් ඉදිරියේ වාහනය රුගෙන ගියොත් තමන්ගේ නමට හා කීර්තියට අවමානයක් විය හැකි බවයි. එබැවින් පසුදින වාහනය රේගුවට ඉදිරිපත් කරන බවට ලිඛිත පොරොන්දුවක් මගින් සහතික විය හැකි බව ඔහු පවසා ඇත.
එහි ඇති යටි අරමුණ අවබෝධ කරගත් අප කතානායකයා තමන් පැමිණියේ රාජකාරියකට බවත් වාහනය රුගෙන එනතුරු උසස් නිලධාරීන් අපේක්ෂාවෙන් සිටින බවත් ප්‍රකාශ කර තිබේ. සහනයක් ලෙසට රථය පැදවීමට ඔහුගේ රියැදුරකුට අවසර දිය හැකි නමුත් එක් සහකාර නිවාරණ නිලධාරියකු සහ එක් නියාමකවරයකු ඔහුත් සමඟ එම වාහනයේ ගමන් කරනබවත් දන්තනාරායන මහතා එම වාහනය පසුපසින් පැමිණෙන බවත් දන්වා ඇත. අවසානයේ එයට එකඟ වීම හැර වෙනත් විකල්පයක් ආනයනකරැට නොතිබිණි. වාහනය අත්අඩංගුවට ගෙන පැයක් වැනි කාලයක් තුළදී කටයුතු නිමකොට වාහනය කොළඹ වරාය පරිශ්‍රයේ ප්‍රධාන නිවාරණ කාර්යාලයට රුගෙන ඒමට ඔවුහු සමත්වූහ. වාහනය දැකගැනීමට පැමිණි උසස් නිලධාරීන් සහ අනෙකුත් රේගු සගයෝ මෙවැනි වාහනයක් දැක නොමැති බව ප්‍රකාශ කොට වැටලීම් සම්බන්ධයෙන් ප්‍රශංසා කළහ.
පසුදින බොහෝ ජාතික පුවත්පත්වල සිරස්තලය වූයේ &නයිට් රයිඩර් රථය අල්ලයි* යන්නයි. නමුත් එම විමර්ශනයේ සුලමුල එදා කිසිවෙක්ට දැනගන්නට නොලැබුණි. රසබර විශ්‍රාමික මතක අතරින් මෙසේ දිගහැරෙන තුරැම එය රටට රහසක් විය.
පසුව පවත්වන ලද නිසි රේගු විමර්ශනයකින් සහ පරීක්ෂණයකින් පසුව වාහනය රාජසන්තක කරන ලදී. නමුත් ඒ වනවිට වාහනය, නිෂ්කාශනය කරගෙන තිබූ බැවින් වංචා කළ රේගු බදු මුදලට සමාන රැ.4,24,000/-ක අමතර මුදලක් දඩ මුදලක් ලෙසට අයකරගෙන වාහනය ආනයනකරැට නිදහස් කිරීමට තීරණය විය. ආනයනකරැගේ පියා සහ දේශපාලන බලවතා හිතවතුන් බැවින් පසුව කරන ලද අභියාචනයක් මත මෙම දඩ මුදල රු.250,000/- දක්වා ලිහිල් කෙරිණි. මේ 1986 ගණන් හිලව්ය. අද නම් මෙම ගණන් හිලව් වල වටිනාකම මිලියන ගණනින් ලියා තැබිය යුතුය. කෙසේ වෙතත් මෙම සිද්ධියට පසු ආනයනකරැ දන්තනාරායන මහතා සමඟ හිතවත් වූයේය. අදටත් හොඳ මිතුරන්ය.
ඒ කෙසේ වෙතත් ජපානයෙන් ගෙන්වා ගන්නා ලද වාහන දෙකේ සවිස්තර පොත් දෙක අදටත් දන්තනාරායන මහතා මතකයන් ලෙස සුරක්ෂිතව තබාගෙන සිටී. සැබවින්ම එය අපූරැ මතක වස්තුවකි.
සංවාදය - චමිඳු නිසල් ද සිල්වා