2020 ජුලි 04 වන සෙනසුරාදා

හාමුදුරුවන්ගේ ඝාතනය කොල්ල කෑමක්ද?

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

“මහඉඳුරුව ගල්කන්ද පන්සලේ නායක හාමුදුරුවෝ මරා දාලලු...” මේ කතාව ප්‍රදේශය පුරා පැතිරෙන්නට ගතවූයේ කෙටි වෙලාවකි. ඒ ගිය සඳුදා පෙරවරුවේ මොහොතකය. “අනේ මේ මොන අපරාධයක්දැයි” කියමින් කතාව අහන කියන හැමදෙනාම මහඉඳුරුව විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයට ඇදුණේ මහා ජන ගඟක් පන්සල් බිමට රැස් කරමිනි.

නායක හාමුදුරුවන්ගේ මරණය අසා ශෝකයටත් බියටත් පත්වූ විජයධම්ම පිරිවෙන් විහාරස්ථ දායක සභාවේ ගම්වාසීන් “අනේ අපේ නායක හාමුදුරුවන්ට මොකද වුණේ?”යැයි දකින හමුවෙන හැමෝගෙන්ම අහන්නට වූයේ සිද්ධිය ගැන පැහැදිලි තොරතුරක් දැනගන්නටය.

බණ භාවනා කරමින් පන්සලේ දියුණුවට මෙන්ම විහාරස්ථ දායකයන්ගේ හා ගමේ සංවර්ධන වැඩවලදී මුලින් හිඳ ගම්මුන්ට හයියක් හා ආදර්ශයක් වූ නායක හාමුදුරුවන්ට මේ අපරාධය කළේ කවුද? මොකටද? ආදී ගැටලු රාශියක් දායක සභාවේ මෙන්ම අසල්වැසියන්ගේ ද සිත් තුළ විය.

ඒ අතර මෙවැනි කතාවක් අසන්නට ලැබිණි. දිනේෂ් කුමාර පන්සල පිහිටි ගමේම තරුණයෙකි. ඔහු මහඉඳුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති හිමියන් වූ යටියන බුද්ධානන්ද හිමියන් බැහැදැකීමට ගොස් තිබුණේ 29 වැනිදා උදේ 10ට පමණය. 73 හැවිරිදි වියේ පසුවූ නායක හාමුදුරුවෝ පන්සල් බිමේ පෙනෙන්නට නොවූහ. කාත් කවුරුත් නොසිටි පන්සල ඒ වන විටත් මහා පාළුවකින් පිරී තිබුණු නිසා පැමිණි ගමනේ හාමුදුරුවන් බැහැදැක යනවාමයි සිතූ දිනේෂ් මඳ වේලාවක් පන්සල් බිමේම රැඳී සිටියේය. එහෙත් නායක හිමියන් පෙනෙන්නට නොවූයෙන් වටපිටාව තරමක් සෝදිසි කර බැලුවේ ඒ හිමියන් පන්සල අවට වත්තේ හෝ ඇතැයි සිතමිනි. නමුත් නායක හාමුදුරුවෝ පෙනෙන්නට නොවූහ. එම විහාරයේම වෙනත් කුටියක හිමිනමක් වැඩසිට ඇතත් උන්වහන්සේ ද දකින්නට සිට නැත.

තවත් මොහොතක් රැඳී සිටි තරුණයා නායක හාමුදුරුවන් වැඩවසන අවාසගෙයි පිහිටි උන්වහන්සේගේ කාමරය අසලට ගියේය. එහෙත් ශබ්දයක් නොමැති වුවද ආපසු නික්ම නොගිය ඔහු වසා දමා තිබූ කාමරයේ දොරට අත තැබුවේය. ඒ උන්වහන්සේ තවමත් සැතපී ඇතැයි සිතමිනි. නායක හිමියෝ අවදි කරවා තමා පැමිණි කාරණය දැන්වීමට සිතා දොර අල්ලනවාත් සමඟ දොර සැහැල්ලුවෙන් විවෘත වූයේ දිනේෂ් කුමාරගේ දෙලොව රත් කරමිනි.

කිසිවක් සිතාගන්නට නොහැකි වූ ලෙසට නායක හිමියන් කාමරයේ බිම වැටී සිටියේ නිසොල්මන්වමය. උන්වහන්සේගේ දෑත් දෙපා ගැට ගසා තිබිණි. කටට රෙදි කඩක් ඔබා තද කර තිබිණි. දුටු දසුනින් තිගැස්සුණු තරුණයා “බුදු අම්මෝ... නායක හාමුදුරුවෝ මරලා දාලා...” යැයි ලතෝනි නැගුවේ ආවාසගෙයින් එළියට දුවමිනි. එතෙක් කිසිදු කලබලයක් නොවූවද, මෙම ලතෝනියත් සමඟ ගම්මුන් පොකුරු පිටින් පන්සල් බිමට පැමිණියේ කඩි ගුලක් ඇවිස්සුණු විලසය.

වැඩි වේලාවක් යන්නට මත්තෙන් කොස්ගොඩ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීර මහතාට ලැබුණු දුරකතන ඇමැතුමකි. ඉන් කියැවුණේ නායක හිමියන්ගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙනි. එසැණින් ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් කිහිප දෙනකු සමඟ අදාළ විහාරස්ථානය වෙත පැමිණියේය. සිදුවීම සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුම්වත් කළ පසුව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ මහතා ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්හ. 

එම පරීක්ෂා කිරීමේදී දකින්නට ලැබුණේ නායක හිමියන් වැඩසිටි කාමරයේ ස්ථාන කිහිපයක් අවුස්සා දමා තිබූ බවකි. එහි යම් දෙයක් අඩුව තිබේදැයි හඳුනා ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත. කෙසේ නමුත් පෙනෙන්නට ඇති සාක්ෂි අනුව පොලීසිය සැක පහළ කරන්නේ යම් අයකු හෝ පිරිසක් මුදල් හෝ දේපළ කොල්ලකෑමට විහාරගෙයට පිවිසෙන්නට ඇති බවය. එහිදී හාමුදුරුවන් පිරිස හඳුනාගන්නට ඇති බවත්, ඉන් කලබල වූ පිරිස විසින් උන්වහන්සේට මේ අපරාධය සිදුකරන්නට ඇති බවත් පැවසේ. මූලික පරීක්ෂණවලින් අනතුරුව බලපිටිය මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණි. එහිදී අනාවරණය වී තිබුණේ නායක හිමියන්ගේ ඝාතනය ගෙල සිරකිරීමෙන් සිදුව ඇති බවය. එසේම ඝාතනය 29 වැනිදාට පෙර දින රාත්‍රියේ සිදුව ඇති බවද නිගමනය කෙරිණි.

බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නායක හිමියන්ගේ ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළේය. යටියන බුද්ධානන්ද නායක හිමියන්ගේ ඝාතකයන් සොයා සිදු කරන විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් තුනක් දායකව සිටිති. කොස්ගොඩ, අහුන්මිල්ල, අම්බලන්ගොඩ, බෙන්තොට, මීටියාගොඩ කරන්දෙණිය යන පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක්, ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය සහ ඇල්පිටිය පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීහු විමර්ශන සඳහා එක්ව සිටිති.

සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා හා සේයාරූ: කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත