2020 ජුලි 04 වන සෙනසුරාදා

පින්සලෙන් ලෝකයම ඇමතූ පාට පාට රසවතී......

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 335

ඊටපසු දිනෙක මේ තාත්තාත් පුතාත් දුර ගෙවාගෙන නුගේගොඩට ගම්සභා හන්දියට පැමිණ සිබිල් වෙත්තසිංහ නම් ප්‍රවීණ ළමා කතා රචිකාවිය, සිත්තරාවිය හමු වී ගොස් තිබුණි.

මට මේ සිද්ධිය මතක් වූයේ පසුගිය 30දා රාත්‍රීයේ ඇය මෙලොවින් සමුගත් පුවත කන වැකුණුවිටය. ළමයින්ගේ වීරවරියක වූ ඇය රටම දැන සිටියේ සිබිල් නැන්දා යනුවෙනි. මියයන තෙක්ම ළමා පොත් ලියමින්, චිත්‍ර අඳිමින් ක්‍රියාශීලීව සිටියාය.
පසුගිය මාර්තු 5දා සිබිල් නැන්දා ගිනස් වාර්තා පොතට එක්වූවාය. ඒ ලොව වැඩිම අවසානයක් සහිත ළමා කතා පොත වූ පුදුම පළිඟුව රචනා කරමිනි. එහි අවසානය ලිවීමට රට පුරා පාසල් දරැවන් 20,000ක් එක්වූහ. දරුවන්ගේ නිර්මාණ පරිකල්පන ශක්තිය විදහා දැක්වීමට අවස්ථාවක් ලබාදීම එහි අරමුණ විය.

සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම ඇය ලියූ ළමා පොත් සංඛ්‍යාව 250කට අධිකය.
එකම පොතකට මේ වගේ අවසානයන් ගණනාවක් මීට කලින් ඇතුළත් වෙලා නෑ. මේක මට හරිම සතුටක්. මේ ළමයි හරිම නිර්මාණශීලියි. හරිම ලස්සන සුන්දර දේවල් පුදුම පළිඟුව පොතට ළමයි එකතු කරලා තියෙනවා. පුංචි ළමයා ජීවත් වන්නේ වෙනම ලෝකෙක. ඒ ලෝකෙ හරිම නිර්මාණශීලීයි. ගිනස් වාර්තාව පිහිටවූ මොහොතේ ඇය පැවසුවාය. අපේ රටේ පරම්පරා හතරකට කතන්දර ලියූ සිබිල් නැන්දා නිතර මෙසේ කියන්නීය.

මම ලෝකෙ ගොඩක් රටවල්වල ඇවිදලා තියෙනවා. ඒත් මම ඉපදුණු ගිංතොට තරම් ලස්සන ගමක් මම කොහේවත් දැකලා නෑ.
ඇය ගාල්ලට නුදුරු ගිංතොට ඉපදුණේ 1927 ඔක්තෝබර් 31 දාය. පුංචි සිබිල්ට ගමේ කවුරුත් කිව්වේ සව්දිරිස් බාප්පගේ කළු දූ කියලාය. ඒ ඇගේ අක්කා සුදු නිසාත්, නංගී කළුවට හුරු නිසාත්ය. හික්කඩුවගේ සව්දිරිස් සිල්වා ඇගේ තාත්තාය. අම්මා ජොසලින් ද සිල්වාය.

කළු දූ කියන හැඳින්වීමට පුංචි දැරිය කැමති වුණේ නැත. ඒත් ගමේ අය කියන්නෙම කළු දුව කියලයි. ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට පහේ පන්තියට එනතෙක් ඇය ගියාය. ඒ කාලේ පහේ ශිෂ්‍යත්වයක් නොතිබුණු නිසා ඇති තරම් නිදහසේ පාසල් යාමට සිබිල්ට හැකියාව ලැබුණි. සිබිල් ඇතුළු පවුලම කොළඹ යාමට තීරණය කළේ ඇය පහේ පන්තියට සමත් වූ පසුවයි.

මම ගමෙන් යන්න බෑ කියලා පෙරළි පෙරළි ඇඬුව හැටි අදත් මතක් වෙනවා. ගෙදර බඩුමුට්ටු ලොරියකට පටවලා අපි ගාල්ලෙන් පිටත් වුණු කොළඹ බස් එකක ආවා. ගිං ගඟ, ගිංතොට පාලම, උස පොල් ගස් පස්සෙන් පස්සට ගියා. ඇය පසුකලෙක අතීතය සිහිපත් කළාය. කොළඹට පැමිණි පසු සිබිල් ඇතුළත් කළේ බම්බලපිටියේ හෘදය කන්‍යාරාමයටයි.
වැනියං කළු වැනීයං පොත සිබිල් වෙත්තසිංහ ලියන්නේ තම බාලවියේ අත්දැකීම් ළමයින්ට පැවසීමටයි. ඇය එහිදී මෙසේ තමන් ගැන කියයි.

මා තුළ ඉන්නේ
චරිත දෙකක්
සුරලොව දන්නා
පොඩි ළමයෙක්
ආදර හඳුනන
වැඩිහිටියෙක්
දෙදෙනා එක්වී
රසවිඳිමින්
මතුකර දෙන්නේ 
සිහින ලොවක්

සිබිල් වයස අවුරුදු 93ක්ව මියයන තෙක්ම ළමයෙක් සහ වැඩිහිටියෙක් යන චරිත දෙක සමබර කරමින් අපූරු නිර්මාණ ලෝකයක් මැව්වාය.
මේ ඇය තම බාලවියේ අත්දැකීමක් සිහිපත් කරන අන්දමයි.

එක අවුරුද්දක අපේ ගේ ඇතුළ ළා කෙහෙල් දළු පාටින් සායම් කළේ අම්මාගේ විශේෂ ආශාවක් නිසා. ගේ ඇතුළේ බිත්ති බලන්න ලස්සනයි. ඒ අවුරුද්දේ වුණ සිද්ධියක් මට කිසිදාක අමතක වෙන්නේ නෑ. අම්මා කුස්සියේ කැවුම් බැද්දා. තාත්තා ගමේ ඇවිදින්න ගිහින්. බිත්තියේ ලස්සනට මගේ හිත තදින් බැඳිලා. මට පින්තූරයක් අඳින්න කියාපු තැන.

මා කවදත් පින්තූර අඳින්න පුරැදු වෙලා තිබුණේ මිදුලේ වැල්ලෙ, කෝටුවකින්. මෙහෙම තැනක හිතේ ආසාවට පින්තූරයක් අඳින්න ඇත්නම් කොපමණ සතුටක්ද? පින්තූරයක් අඳින ආසාව විතරයි හිතේ ඇති වුණේ.
හෙමින් හෙමින් කුස්සියට ගිය මා ආවේ අඟුරු කෑල්ලක් අතට අරන්. අවට පැවතුණු නිසන්සලතාව බිඳුණේ වරින් වර කුස්සියේ ළිප උඩ, ගිනියම් වූ තෙලට දියාරු පිටි හැන්දක් අම්මා වත් කළවිට පැන නැග්ග චී...ඊ...ස්* ශබ්දය පමණයි. 
නිදහසත්, සුදුසු තැනත්, පින්තූරයක් බිහි කිරීමේ තද ආසාවක් හිතේ ඇතිවයි මා එදා සාලෙ බිත්තියේ සතුට පිරි හිතන් ඇතිව පින්තූරයක් ඇන්දේ. මා එවැනි පින්තූරයක් ඇන්ද පළමු වතාවයි ඒ. කවදාවත් නොලැබුණු තරම් හිතේ සතුටකුත් එදා මට ඇති වුණා.

තාත්තා ගෙට ආවේ මට නොදැනුවත්ව. තාත්තා ඇවිත් හිනාවෙන්න අරන්. හිනාවෙවී මා වඩාගෙන ගියේ කුස්සියට.
බනින්න එපා. දරුවා අපූරු වැඩක් කරලා
එහෙමයි තාත්තා මගේ අම්මට මගේ පින්තූරය ගැන කිව්වේ. වැඩෙන කැවුමට තෙල් දමමින් සිටි අම්මා ඇහුවේ,
මොකද්ද ඒ අපූරු වැඩේ? යමු බලන්න කී තාත්තා අම්මා එක්ක සාලෙට ගියේ තවමත් මා වඩාගෙන. බිත්තිය දැක්ක අම්මා දුක්මුසු ලීලාවෙනුයි කතා කළේ.
මොකද්ද මේ කරලා තියෙන්නේ? හෙට නේද අවුරුද්ද?
මා දිහාවත් නොබලා අම්මා ආයිත් ගියේ කැවුම් බඳින්න.

එදා සවස තාත්තා බිත්තිය සෝදා ආයිත් සායම් කළේ දුකෙන් වෙන්න ඇති. තාත්තා පින්තූරෙට හුඟක් ආසා කළ බව මට දැනුණා. (වැනියං කළු වැනීයං) 
එච්. ඩී. සුගතපාල මහතාගේ නවමඟ පාසල් පොත් පෙළට ඇය චිත්‍ර අඳින්නේ වයස අවුරුදු 15ක පාසල් ශිෂ්‍යාවකව සිටි සමයේදීයි. ඒ 1943 – 45 අතර කාලයේදීය. සාමාන්‍යපෙළ (ජූනියර් සෙටිපිකේට්) පාස්වෙච්ච ගමන් සුගතපාල මහත්තයයි, නෝනයි මාව එක්කගෙන ගියා ලංකාදීප පත්තර කන්තෝරුවට පත්තරේ මුද්‍රණය කරන හැටි බලන්න. පත්තරේ පටන් අරන් මාස 6යි. මටත් හරිම ආසාවක් ඇතිවුණා පත්තරේ වැඩ කරන්න. අම්මා ඒකට කැමති වුණේ නෑ. ඒත් 1948දී මට අවුරුදු 19 ලැබුණම ලංකාදීපෙට බැඳුණා. එතකොට කර්තෘ ඩී.බී. ධනපාල මහත්තයා. එතුමා මට ගමේ දේවල් අඳින්න කියලා කිව්වා. ඇය වරෙක සඳහන් කළාය. ඇයගේ පුවත්පත් කලා ජීවිතයේදී බිංදු, රසවතී, සූත්තර පුංචා, කුසුමලතා ආදී චරිත මැව්වාය. පසුව ලේක්හවුස් ආයතනයට එක්වන සිබිල් එහි වර්ෂ 30ක් සේවය කළාය.

සිබිල් ලියන පළමු කතන්දර පොත පසුව ජාත්‍යන්තර කීර්තියටත් ලක්වුණු කුඩ හොරාය. ඒ 1956දීය. එය කතාවත් අපූරු චිත්‍ර රාශියකුත් එකට සංකලනය වූ කතා පොතක් විය. එහි වට්ටි, හබරල කොළ, කෙසෙල් කොළ, වඳුරු රංචු සමඟ තුටු සිතින් වැස්සට මුහුණ දෙන ගමේ ඇත්තන්ගේ සිතුවිලි ළමා මනසට අපූරුවට ළං කරවයි. ඇය එහි මැවූ කුඩ නිතර නැතිවන කොස්ගම කිරි මාමාගේ පටන් සූත්තර පුංචා හරහා දිවෙන චරිත සංඛ්‍යාව විශාලය.
ළමා කතාවක් ලියන්න මට එච්චර වෙලාවක් යන්නෙ නෑ. පුංචි කාලේ මගේ හිතේ තැන්පත් වෙලා තිබුණු අපූරු සිද්ධි තමයි ඒ කතාවලට එකතු වෙලා තියෙන්නේ. මගේ ඉස්කෝලේ, ගමේ කැලෑව, ගමේ මිනිස්සු, ඒ කාලේ සිදුවීම් තමයි මගේ පොත්වල ලියැවෙන්නේ* ඇය සඳහන් කරන්නීය.

ඇය විවාහ වන්නේ විශිෂ්ට පුවත්පත් කලාවේදියකු වශයෙන් සැලකුණු ඩී. එච්. වෙත්තසිංහ සමඟය. ඇයට ඔහු හමුවන්නේ ලේක්හවුස් ආයතනයේදීය. 
අපේ ළමා කතා සාහිත්‍යය ජාත්‍යන්තරයට රැගෙන ගිය ලේඛිකාව ද සිබිල්ය. 1965දී වෙසක් පහන කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටිං සම්මානය හිමිවුණ අතර 1986දී කුඩ හොරා ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් සම්මානයට පාත්‍ර විය. 1987දී ඉතාම ජනප්‍රිය ළමා පොත වශයෙන්ද එයට ජපානයේ ඇගයීමක් ලැබුණි. දුවන රුවුළ 2003දී හොඳම සැලසුම සහිත ළමා පොතට හිමි සම්මානය හිමිවිය. ඇයගේ කුඩ හොරා ඇතුළු ළමා පොත් ජපානය, චීනය, පිලිපීනය, කොරියාව, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 12ක පළකර තිබේ. ඇයට රාජ්‍ය සාහිත්‍ය සම්මාන රාශියක්ද හිමිව ඇත. මේ ලිපිය අවසන් කිරීමට ද සිබිල් නැන්දාගේ අදහසක් මෙසේ සඳහන් කරමි.

අද පොඩි ළමයින්ට කිසිදේකට වෙලාවක් නෑ. හිතන්න හීන ලෝකවල ඇවිදින්න, ගස්වැල් දිහා බලන්න, අහස දිහා බලන්නවත් වෙලාවක් නෑනේ. හැමවෙලාවකම ටියුෂන්.

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව - සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02