ශ්‍රී ලංකාවේ සමාජීය ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීමට ෆේස්බුක් වැනි සමාජ ජාලා ඉවහල් වී ඇති බව නිව්යෝක් විශ්වවිද්‍යාලය විසින් සිදු කළ අධ්‍යයනයක දී හෙළි වී ඇතැයි වාර්තා වේ. දේශීය නිරීක්ෂකයන්ගේ ක්‍රියාකාරිත්වයේ අඩුලුහුඩුකම් එයට බලපා ඇතැයි එහි සඳහන්ය.
එම විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මානව හිමිකම් අංශය මගින් සිදු කළ මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ 2018 දිගන ප්‍රදේශයේ ඇති වූ මුස්ලිම් විරෝධය හා පාස්කු ප්‍රහාරයට පසු පළවූ විවිධ ප්‍රකාශ පාලනය කිරීමට ෆේස්බුක් ආයතනය අසමත් ව තිබූ බවයි..
ෆේස්බුක් ඔස්සේ ව්‍යාප්ත වූ එම ප්‍රහාරයන්ට අදාළ උසිගැන්වීම් පාලනය කරන ලද්දේ නම් අදාළ තත්ත්වය ආරම්භයේදීම පාලනය කළ හැකිව තිබූ බව ද නිව්යෝක් විශ්වවිද්‍යාලය සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ ජාල ඔස්සේ සිදුකෙරෙන අපහාසාත්මක ප්‍රචාරයන් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සිදු කරන මැදිහත්වීම ප්‍රමාණවත් බවද එහි සඳහන් කර තිබේ.
සමාජ මාධ්‍ය ජාල ආරම්භ වූයේ මිතුරු මිතුරියන් හඳුනාගැනීමේ මාධ්‍යයක් ලෙසිනි. එහෙත් වර්තමානයේ එය විවිධ මතවාද ප්‍රකාශ කිරීම, පුවත් සංසරණය සහ අධ්‍යාපනික හා තොරතුරු දැනගැනීමේ මාධ්‍යයක් ලෙසද ක්‍රියාත්මක වෙයි. එහිදී සාවද්‍ය පුවත්, නොමග යවන තොරතුරු, අපහාසාත්මක ප්‍රචාර, තමන්ගේ දේශපාලනික මතවාද ඔස්සේ අනුනට ගැරහීම වැනි ක්‍රියාද සිදුවනු දැකිය හැකිය. මෙවැනි ක්‍රියා හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ට තම ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා පිළිබඳවද වාර්තා වේ.
ලොව සමස්ත ජනගහණය බිලියන 7.8ක් පමණ වන අතර ඉන් බිලියන 3.5 පමණ පිරිසක් දිනපතා අන්තර්ජාලය භාවිත කරති. ඒ අනුව ලොව සමස්ත ජනගහණයෙන් තිදෙනකුගෙන් එක් අයෙක් සමාජ මාධ්‍ය ජාල භාවිත කරයි.. සියලු සමාජ මාධ්‍ය ජාල අතුරින් වැඩි පිරිසක් පරිහරණය කරනුයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයයි. ප්‍රවෘත්ති, ඡායාරූප, ලිපි, විශේෂාංග, පෝස්ටර්, වීඩියෝ දර්ශන, බැනර්, දැන්වීම්, වාණිජ කටයුතු වැනි විවිධ ක්‍රියා සඳහා ෆේස් බුක් සමාජ ජාලය භාවිත කෙරේ. එය පරිහරණය කරන වැඩිම පිරිස අවුරුදු 18ත් 35ත් අතර වයස් කාණ්ඩයේ සිටින පිරිසය. 2019 සැප්තැම්බර් මාසයේ කරන ලද ගණනයකට අනුව මසකට බිලියන 2.45 පමණ පිරිසක් එය නිත්‍ය වශයෙන් භාවිත කරති. වසරින් වසර මෙම ප්‍රමාණය ඉහළ යන අතර 2018 වසර හා සැසඳීමේදී 2019 වසරේ 8% ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් සිදුකරන බලපෑම ප්‍රබලය. විවිධ සමාජ හා මානසික මට්ටම්වල පිරිස් එය භාවිත කිරීමට පෙළඹී ඇති හෙයින් එය සමාජ යහපතට වඩා අයහපතට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමාජීය ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීමට ෆේස්බුක් වැනි සමාජ ජාලා ඉවහල් වී ඇති බවට කෙරෙන ප්‍රකාශයේ සත්‍යතාවක් ඇති බවයි.. “ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඕනෑම පුද්ගලයකුට පරිහරණය කළ හැකියි. එවැනි මාධ්‍ය උපයෝගී කරගනිමින් යහපත් කටයුතු මෙන්ම අයහපත් ක්‍රියා සිදු කිරීමට ඇති අවස්ථා වැඩියි. කිසියම් ආගමක් හෝ ජාතියක් හෝ ඉලක්ක කර ගනිමින් විවිධ වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ දැකගත හැකි වුණා. එවැනි ප්‍රකාශ හුවමාරු කර ගැනීම සඳහා ෆේස්බුක් ජාලය කදිම තෝතැන්නක් වුණා. ඇතැම් ක්‍රියා සඳහා නියාමනයක් නැහැ. ඒ නිසා විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසීමාන්තික නිදහසක් බුක්ති විඳිනවා. ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීම සඳහා විවිධ පුද්ගලයන් මෙහෙයවීමට ඔවුනට හැකි වෙනවා.”
ෆේස්බුක් ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකින්ද ශ්‍රී ලංකාවේ සුළුජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සඳහා ප්‍රකෝප කිරීම් සඳහා කටකතා සහ වෛරී ප්‍රකාශ ව්‍යාප්ත කිරීමක් ෆේස්බුක් ඔස්සේ සිදුවී ඇතැයි හඳුනාගෙන තිබේ. වෛරී ප්‍රකාශ මෙන්ම ව්‍යාජ තොරතුරු පළ කිරීම මගින් රටේ කිසියම් නොසන්සුන්තාවක් ඇති කිරීමටද එය ඉවහල් වී තිබේ. එහෙයින් මානව හිමිකම් ආරක්ෂා සදහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් වී ඇතැයි ෆේස්බුක් සමාගමේ මානව හිමිකම් අධ්‍යක්ෂිකා මිරුන්ඩා සිසන්ස් සහ මානව හිමිකම් ප්‍රතිපත්ති කළමනාකාර ඇලෙක්ස් වැරෝෆ්කා ප්‍රකාශ කර ඇති අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඇති බාධක මැඬලීම සඳහා එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කර තිබේ.
මානව හිමිකම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ආයතනික වගවීම වැඩි දියුණු කිරීම, ප්‍රජා ප්‍රමිති යාවත්කාලීන කිරීම සහ බලාත්මක කිරීම වැඩි දියුණු කිරීම, බලයලත් තොරතුරු ප්‍රවර්ධනය කිරීම සහ අපයෝජන අන්තර්ගතයන් පැතිරීම අවම කිරීමේ වෙනස්කම් සඳහා ආයෝජනය කිරීම, වාර්තා කිරීමේ යාන්ත්‍රණය සහ ප්‍රතිචාර දැක්වීමේ අවස්ථා වැඩි දියුණු කිරීම, සිවිල් සමාජ සංවිධාන සමඟ නිතිපතා හා සැලකිය යුතු ලෙස සම්බන්ධ වීම, අන්තර්ගතය, වැරදි තොරතුරු සහ ප්‍රවෘත්ති ශ්‍රේණිගත කිරීම පිළිබඳ ප්‍රවේශය ජනතාවට වඩා හොඳින් තේරැම් ගැනීම සදහා විනිවිදභාවය වැඩි කිරීම, නිසි පරිදි මානව හිමිකම් පවත්වාගෙන යාම. යන කරුණු එම නිර්දේශයනය ඇතුළත්ය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සාමාජිකයන්ගේ පළකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යොදවා තිබේ. සමාජයට අහිතකර කිසියම් ප්‍රකාශයක් හෝ ඡායාරූපයක් පළ කරන්නේ නම් ඒවා ඉවත් කිරීමට ඔවුහු පියවර ගනිති. විශේෂයෙන් අහිතකර කටයුතු සඳහා විවිධ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් පළ කෙරෙන දැන්වීම් පිළිබඳ ඔවුන් විශේෂයෙන් සොයා බලන බව රජීව් කුරැවිටගේ මහතා සඳහන් කරයි. “ ඉස්සර මුදල් ගෙවා සිංහලෙන් දැන්වීමක් පළ කළහොත් භාෂාව නොතේරුණ නිසා එහි අන්තර්ගතය කුමක්දැයි නොදැන ඒවා පළ කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කළා. උදාහරණයක් ලෙස කිසියම් ත්‍රස්ත සංවිධානයකට පිරිස බඳවා ගැනීමේ අරමුණින් දැන්වීම් පළ කළහොත් භාෂාව නොතේරුණ නිසා ඒවා අනුමත කෙරුණා. වර්තමානයේ සිංහල භාෂාව දන්නා පිරිසක් ෆේස්බුක් ආයතනයට බඳවාගෙන තිබෙනවා. සමාජ විරෝධී කිසියම් ප්‍රකාශයක් පළ වන්නේ නම් ඔවුන් ඒවා ඉවත් කිරීමට කටයුතු කරනවා මෙය ලොව අනෙකුත් රටවලටත් පොදුයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා