පුංචි දුලෝද් සේමිණ අද දෙව්මව් තුරුලේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව හරියටම මාස දාහතරක් රෝහල් ඇඳ මත සිටි තිළිණා හර්ෂණී නැවතත් නිවෙසට පැමිණිය ද, තිළිණාට තුරුලු කර ගන්නට ඇගේ පුංචි පුතු ළඟ නැත. වෙනදාට අක්කාත් මල්ලීත් සමඟ දුව පනිමින් සෙල්ලම් කළ, අත්තම්මාගේ ඇඟේ එල්ලෙමින්, අම්මාගේ තුරුලේ හිඳිමින් හුරතල් වුණු පුංචි දුලෝද් ඒ සියල්ලම අතහැර පාස්කු ප්‍රහාරයෙන් යන්නම යන්න ගියේය.
තිළිණා හර්ෂණී අවුරැදු 36 වියැති තිදරැ මවකි. මීගමුව විවිධසේවා සමූපකාරයෙහි කළමනාකාර සහකාරවරියක් ලෙස සේවය කළ තිළිණාගේ හිතේ දරුවන් වෙනුවෙන් කප්පරක් හීන ගොඩගැසෙන්නට ඇත. එකින් එක ඒ හීන හැබෑ කරන්නට ඇය වෙර දරන්නට ඇත. නමුත් ඒ හීන සියල්ලම සුණුවිසුණු වී යන්නට ගතවූයේ එක් නිමේෂයකි. එතැන් සිට අවුරුද්දකුත් මාස දෙකක් තිස්සේම ඇය ගත කළේ රෝහල් ඇඳ මතය. හරියටම මාස දාහතරක් රෝහල් ඇඳ මත සිටි ඇය නැවතත් තම නිවෙසට පැමිණියේ ද පූර්ණ සුවය ලබා නම් නොවේ. ශල්‍යකර්ම කිහිපයකින් පසුව අදටත් ඇය ගත කරන්නේ ඇඳේය. සුෂුම්නාවට සිදුවූ දරුණු අනතුර හේතුවෙන් ඇගේ ශරීරයේ ඉනෙන් පහළ කොටස තවමත් ඇත්තේ අප්‍රාණිකවය. එමෙන්ම තවමත් ඇගේ අතැඟිලි නිසියාකාරව හසුරැවන්නට අපහසුය. ශල්‍යකර්මයකින් ඇගේ වම් ඇස සම්පූර්ණයෙන්ම ඉවත් කොට හමාරය.
දුවට තිබුණු රෝගී තත්ත්වයෙන් සියයට පනහක් විතර දැන් සුවයි. තවමත් දුව ඉන්නේ ඇඳේමයි. එයාට ස්වඋත්සාහයෙන් ඇඳේ හැරෙන්නවත්, පෙරළෙන්නවත්, නැගිටින්නවත් බැහැ. එයා වෙනුවෙන් හෙදියක් වෙනමම ඉන්නවා. එයා තමයි දුවගේ හැම වැඩක්ම කරන්නේ. දුවට හොඳට කල්පනාව තියෙනවා. කතාබහ කරනවා. වෛද්‍යවරු කියන්නේ දුවගේ ස්නායු සෙමින් වර්ධනය වෙන්නේ. ඒ නිසා දුවට සුවය ලබන්න කාලයක් ගතවේවි කියලා. නමුත් වෛද්‍යවරැන්ගේ, රෝහල් කාර්යමණ්ඩලයේ උදව්වෙන් මගේ දුවට දැන් සෑහෙන්න සුවයි. අප දුව ගැන ලොකු බයකිනුයි හිටියේ.* යැයි තිළිණාගේ මව වන සිල්වියා ප්‍රනාන්දු දේශයට අදහස් දක්වමින් පැවසුවාය.
තිළිණා මීගමුව ආවේමරියා විදුහලේ ආදි ශිෂ්‍යාවකි. නර්තනයට දස්කම් දැක්වූ තිළිණා පාසලේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවකි. ඇය පවුලේ වැඩිමලාය. තිළිණාත්, ඇගේ බාල සොහොයුරාත්, මවත්, පියාත් අපූරැ බැඳීමකින් ජීවත් වූ පවුලකි. අද තිළිණාට ඇති ලොකුම හයිය වන්නේ ද තම මව්පියන් සහ සහෝදරයාය.
එදා පාස්කු ඉරිදාවේ කටුවපිටිය පල්ලියේ දේවමෙහෙයට මමයි තිළිණා දුවයි එයාගේ බබාලා තුන්දෙනයි ගියා. අපි පල්ලියේ ඇතුළේ එකම බංකුවේ වාඩි වුණා. දේවමෙහෙය අවසන් වෙලා ස්තූති කතාව තිබුණා. අපි ඒක අහගෙන ඉඳිද්දී මම ඔය පුද්ගලයා එනවත් දැක්කා. පල්ලිය මැදදී එකපාරටම ඩෝං ගාලා විශාල ශබ්දයක් ඇතිවුණා. එකපාරටම පල්ලියම අන්ධකාර වුණා. දුමෙන් වැහුණා. ඒ දුමෙන් තමන්ට තමන්වත් අඳුරාගන්න බැරි වුණා. එකම ලේ විලක්. මාවයි ලොකු මිණිපිරියවයි බිම වැටුණා. මගේ දණහිස තුවාල වුණා. ඔළුව තුවාල වුණා. මම ඉක්මනට පුතේ පුතේ.. කියලා මිණිපිරීට කතා කළා. එයා මට මුකුත් වුණේ නැහැ ආච්චි කියලා කිව්වා. හැබැයි දුවගේ ඇඟ පුරාම ලේ තිබුණා. එයාව හිටවලා මම පුංචි බබාව උස්සලා ගත්තා. එයාවත් මම බංකුවක වාඩිකළා. ඒ වෙලාවෙම මගේ මහත්තයාත් පල්ලිය ඇතුළට දුවගෙන ආවා. මම දරැවන් දෙන්නව එයාට දීලා ඉක්මනට ඉස්පිරිතාලේ ගෙනියන්න කිව්වා. සිල්වියා ඒ අමිහිරි අතීතය ආවර්ජනය කළාය.
සැබැවින්ම එතැන් සිට මේ අතීතය සැබැවින්ම අමිහිරිය. නමුත් මවක්, ලෙසින් අත්තම්මා ලෙසින් ඇය ශක්තිමත් ගැහැනියක් වූවාය. අදටත් ඇය ඒ අමිහිරි අතීතය සිහිපත් කරද්දී අපේ ඇඟ කිළිපොලා යයි. නමුත් ඒ ශක්තිමත් ගැහැනිය නොවන්නට අද ඇතැම්විට තිළිණා ජීවතුන් අතර නොසිටිනු ඇත.
සිල්වියා වටපිට බැලුවාය. ඒ තිළිණාත්, දුලෝද් පුතාත් සොයන්නටය. තමා දුටු දසුන මේ ලොව කිසිවකුටත් නැවතත් නොදකිනු යන්න ඇගේ පැතුමයි. පුංචි දුලෝද් බිත්තිය අයිනක දණහිස නංවාගෙන වැටී සිටියේය. දුලෝද්ගේ කම්මුලක ටෙනිස් බෝලයක ප්‍රමාණයක විශාල සිදුරක් විය. එයින් ගලාගෙන යන රැධිරයෙන් ඔහු නෑවී ගොසිනි. සිල්වියා දුලෝද් ළඟට ගොස් එම සිරුර ඇල්ලුවේය. පුංචි පුතු දෙව් තුරුලට ගොස් හමාරය. සිල්වියාට යමක් තේරැණි. අත්තම්මාගේ හිත කෑ ගැසුණි. දෙපා අප්‍රාණික විය. නමුත් ඇය හිත හයිය කර ගත්තාය.
ඇය තිළිණාව සෙව්වාය. වටපිට බැලූ ඇයට කෑගසන මිනිසුන් අතරින් තිළිණාව දැකගත හැකි විය. එක ඇසක් ගිනිබෝලයක් සේ එළියට මතුවී තිබිණි. ඇය ද ලේ වලින් නෑවී ගොසිනි. සුෂුම්නාවට වූ දරැණු අනතුරින් ඇගේ අතපය සියල්ලම නෑවී ඇය රෝදයක් සේ වකුටුව බිම වැටී සිටියාය. සිල්වියා හනිකට තිළිණා ළඟට බඩගාගෙන ගොස් ඔසවන්නට උත්සාහ දැරුවාය. නමුත් තනිවම සිටි ඇයට එය කළ නොහැකි විය.
ඇය උදව් ඉල්ලා කෑගැසුවාය. එක පොදියට සියල්ලෝම තම තම ඥාතීන්ව සොයද්දී, සිල්වියාව හඳුනාගත් කෙනෙක් ඇයගේ උදව්වට පැමිණියේය. ඒ වන විටත් තිළිණාට සිහිය තිබුණි. සිල්වියා තිළිණා.. තිළිණා.. කී විට තිළිණා යමක් කියන්නට උත්සාහ දැරුවද, එය මුවින් නොපිටවුණි. මිනිසුන් හය හත් දෙනකුගේ උදව්වෙන් වකුටු වී සිටි තිළිණාව රෝහල වෙත රැගෙන යනු ලැබීය.
තිළිණා රෝහලට ගෙන ගියද, සිල්වියා වහා දුලෝද් පුතු අසලට ගියාය. දුලෝද් රැගෙන කෙනකු වාහනයකට ගොඩවෙද්දී සිල්වියා ද ඒ වාහනයටම නැගගත්තාය. ඒ මීගමුව මහ රෝහලටය. විදුලි සෝපාව අසල එකපෙළට සිටි රෝගීන් අතරින් රුධිරයෙන් නෑවුණු තම දියණිය හඳුනා ගන්නට අපහසු වුවද ඇය ඇඳ සිටි ගවුමේ එක් කොණකින් නැවතත් සිල්වියා දියණියව හඳුනා ගත්තාය. ඇය තිළිණා අසලට දිව ගියාය. සිල්වියා නැවතත් ආධාර ඉල්ලා කෑගැසුවාය. යුහුසුළුව දිව ආ තවත් සේවකයන් දෙදෙනෙක් ට්‍රොලියකින් තිළිණාව ඉහළ මාලයට රුගෙන ගියහ. නමුත් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ මේ රෝගියාට සිහිය තියෙනවා. ඉක්මනට කොහාට හරි ගෙනියන්න* යැයි වෛද්‍යවරයකු පැවසුවද, ඇයව ගෙන යන්නට ට්‍රොලියක් හෝ හදිසි ගිලන් රථයක් නොවීය. ආරංචිය සැල වී රෝහලට ආ තිළිණාගේ ඥාති සොහොයුරෙක් ඉතා ඉක්මනින් ගිලන් රථයක් සූදානම් කොට ඇයව රාගම රෝහලට ගෙන ගියේය. එම රෝහලින් යුහුසුළුව තිළිණාට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනු ලැබීය. රාගම රෝහලෙන් දවස් පහක් ප්‍රතිකාර ලබාගත් තිළිණාට විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා යටතේ පෞද්ගලික රෝහලක දී සුෂුම්නාව සම්බන්ධ සැත්කම සිදු කෙරිණි. එම පෞද්ගලික රෝහලේ මාස තුනක් ඇය නේවාසිකව ප්‍රතිකාර ලැබුවාය. ඒ සඳහා වැය වූ සියලු මුදල කතෝලික අගරදගරු නිවෙස (Bishop House) මගින් දරන ලදී.
ඉන් පසුව තිළිණා මීගමුව ආවේමරියා රෝහලට මාරු කරන ලදී. එම රෝහලේ මාස දහයක් පමණ ඇය නේවාසිකව ප්‍රතිකාර ගත්තාය.
තිළිණාට තම ආදරණීය පුතණුවන් අහිමි පුවත සැලවූයේ ද රෝහලේදීය. තිළිණා සිටි තත්ත්වය හමුවේ මෙවැනි අසුබවාදී ආරංචියක් සැලකිරීමට තරම් ශක්තියක් කිසිවකුට නොවීය. අනතුර සිදුවී මාස එකහමාරක් පමණ වනතුරු තිළිණා රෝහලේ සිටියේ සිහිය නොලබාය. ඇයට වරින් වර සිහිය ආවද, වෛද්‍යවරැන් ලබා දුන් ප්‍රතිකාර හමුවේ පවා ඇය වැඩිපුරම සිටියේ සිහිය නොලබාය. ඇයට සිහිය ආ විගසම ඇය දරැවන් ගැන ඇසුවාය. දරුවන් හොඳින් රෝහලේ දී ඇගේ ඥාතීහු පැවසූහ. නමුත් පල්ලියේදීම සිල්වියා ඇගේ සැමියාට පුතා ඉවරයි කියා අඬමින් කියනු තිළිණාට ඇසී තිබුණි. ඒ නිසාම දුලෝද් ගැන යම් සැකයක් ඇයට විය. දිනක් මනෝ වෛද්‍යවරයෙක් තිළිණා සමඟ කතා කරමින් සිටින අතරතුර ඔයා මේ සිද්ධියේ දී බරපතළව හානි වුණේ කාටද කියලද හිතන්නේ? කියා ඇසුවේය. දුලෝද් පුතා ගැන මට බයයි තිළිණාගේ පිළිතුර විය. කෙසේ හෝ අවසානයේ දී වෛද්‍යවරයා හිත හදාගන්න. ඒ පුතා නැතිවුණා. යැයි එම අමිහිරි ආරංචියට තිළිණාට සැල කළේය. ඇය දින ගණනාවක්ම එකදිගට හඬා වැළපුණාය. දරු දුක කෙසේ නම් එලෙස දරාගන්නද?
මියගිය දුලෝද් කඳාන ද මැසිනෝද් විදුහලේ දෙක වසර ඉගෙනුම ලැබූ කීකරැ හුරතල් දරුවෙක් විය. දරැවෝ තිළිණාට වගේම අත්තම්මාට ආදරය කළහ. නිතරම ආච්චි බඩගිනියි.. ආච්චි මල්ලී ගැහුවා.. ආච්චි බිස්කට් එකක් ඕනේ යැයි ඉල්ලන්නේ ද සිල්වියාගෙනි. වෙනදා මෙන් පාස්කු දිනට කලින් දා සෙනසුරාදා සවස තිළිණා සේවයට ගොස් ගෙදර ආවාය. පුතා.. හෙට අවුරුදුනේ.. දරුවන්ට මොනව හරි කන්න ගේන්න ඕනෙ යැයි සිල්වියා කියූ විට තිළිණා නැවතත් හන්දියට ගොස් දරුවන්ට අවශ්‍ය කරන ආහාරපාන රැගෙන ආවාය. සෙනසුරාදා උදෑසන සිල්වියා මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටියාය. දුලෝද් මුළුතැන්ගෙට පැමිණ ආච්චි.. මට ඔයාට දෙන්න ලියුමක් තියෙනවා.. බලන්නකෝ යැයි පැවසුවේය. මගේ අතේ ජරාව. මට ඔය ලියුම් ගන්න බැහැ යැයි සිල්වියා කියූ විට නෑ මේක ගන්නකෝ කියමින් සිල්වියාගේ කකුල් දෙක ළඟ ඔහු ඇවිටිලි කළේය. සිල්වියා ලියුම ගත්තාය. පොතක පිටුවක ප්ලැටිග්නම් පෑනකින් ආච්චි.. ඔයා පරිස්සම් වෙන්න ආච්චි* යැයි එහි ලියා තිබුණි. එය ද කාඩ්බෝඩ් කැබැල්ලක අලවා දෙකට නවා තිබුණි.
පුංචි දුලෝද්ට යමක් දැනෙන්නට ඇත. අනතුරක සේයාවක් දැනෙන්නට ඇත. ජීවිතය අතහැර යන්නට සූදානමක් සමහරවිට දැනෙන්නට ඇත. අවසානයේ දී තම අම්මාගේත්, අක්කාගේත්, මල්ලීගේත් එකම හයිය මේ අත්තම්මා යැයි දුලෝද්ට දැනෙන්නට ඇත. ඒ නිසාම අත්තම්මාට පරිස්සම් වෙන්න යැයි කියන්නට ඒ පුංචි හිතට හිතෙන්නට ඇත.
අද තිළිණා තවමත් ඇඳේමය. ලියාරාත්, ධයෝද්ත් අම්මාගේ ඇඳ ළඟට වී ඇගේ හිත හදති. මීගමුව, රාගම, කොළඹ ජාතික රෝහල ඇතුළු සියලුම රෝහල්වල වෛද්‍යවරැන් ඇතුළු සේවක මණ්ඩලය දෙවිවරැ මෙන් තිළිණාට ප්‍රතිකාර ලබා දුන්හ. එමෙන්ම කාදිනල්තුමන් ඇතුළු සියලුම කතෝලික පියතුමන් ඇතුළු සැමගේ ආශිර්වාදයෙන් තිළිණා සුවය ලබමින් සිටියි. සියල්ල අතරේ ධෛර්යවන්ත සිල්වියා මවක් මෙන්ම, අත්තම්මා කෙනෙක් ලෙසින් තම ජීවිතයම මේ දරැවන් වෙනුවෙන් කැපකොට අවසන්ය.
(විශේෂ ස්තූතිය : ප්‍රේම් ප්‍රනාන්දු මහතාට)
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ: සුමුදු හේවාපතිරණ