මෙවර මහ මැතිවරණය දැනටමත් මෙරට මැතිවරණ ඉතිහාසයේ අමතක නොවන සුවිශේෂී මැතිවරණයක් බවට පත්ව තිබේ. මින් පෙර කිසිදිනෙක මෙවර මෙන් මැතිවරණ කල්දමා නැත. ඒ පළමු කාරණයයි. මේ දක්වා පැවැති සෑම මැතිවරණයක්ම පවත්වා ඇත්තේ රටේ පොදු නීතිය හා මැතිවරණ නීති යටතේය. එහෙත් මෙවර මැතිවරණයේදී සෞඛ්‍ය බලධාරීන්ගේ නියමයන්ද සැලකිල්ලට ගැනීමට සිදුව තිබේ. ඇත්ත වශයෙන්ම මෙවර මැතිවරණයේදී මුල්තැන දීමට සිදුව ඇත්තේ මැතිවරණ නීතිවලට වඩා සෞඛ්‍ය නීතිවලටය.
මේ සෞඛ්‍ය නියමයන්ට අනුකූලවීම නිසා වඩාත්ම පහරවැදී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලටය. මැතිවරණ රැස්වීම් සීමා කිරීමට සිදුව ඇති අතර කිසිදු රුස්වීමකට සිය දෙනකුට වඩා සහභාගි කරවා ගැනීමට නොහැකිය. ඒ රැස්වීමකදී වුවත් අත්පත්‍රිකා බෙදීම තහනම්ය. ගෙයින් ගෙට යෑමද කළ හැක්කේ සීමාසහිතවය.
මේ ආකාරයට ප්‍රචාරක කටයුතු සීමාකර තිබියදී මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීමද තහනම් කරන්නට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත. මැතිවරණ කොමිසම මෙවර මැතිවරණයේදී කළ යුතුව ඇත්තේ මීට පෙර ප්‍රචාරය සම්බන්ධයෙන් තිබූ යම් යම් සීමාවන් ලිහිල් කිරීම වුවත් දැන් කර ඇත්තේ මීට පෙර තිබූ අවස්ථාද අහිමි කිරීමය.
සෑම අපේක්ෂකයකුටම ඡන්ද බල ප්‍රදේශයකට එකක් වනසේ කාර්යාලයක් පවත්වාගෙන යා හැකිය. පෝස්ටර් ඇලවීම හා ප්‍රසිද්ධ ස්ථානවල කටවුට් ඉදිකිරීම තහනම් වුවත් මෙම මැතිවරණ කාර්යාලවල තම පක්ෂයේ ලකුණ, තම ඡායාරූපය හා අංකය ප්‍රදර්ශනය කිරීමට මෙතෙක් කිසිදු තහනමක් ක්‍රියාත්මක වූයේ නැත. මැතිවරණ කොමිසම කියන්නේ මෙවර එයද කළ නොහැකි බවය. මෙවැනි තීරණයක් ප්‍රකාශයට පත්කරන මැතිවරණ කොමිසම අපේක්ෂකයන්ට තම පක්ෂයේ ලකුණ සහ අංකය ප්‍රදර්ශනය කළ හැකි විකල්පයක් කිවයුතුය. එහෙත් එවැනි විකල්පයක්ද ප්‍රකාශයට පත්වී නැත.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව මැතිවරණ කාර්යාලවල තරග කරන අපේක්ෂකයන්ගේ නම් හා ඡායාරූප ප්‍රදර්ශනය තහනම්ය. එහෙත් මෙතෙක් පැවති සෑම මැතිවරණයකදී මැතිවරණ කොමිසමත් ඊට පෙර පැවැති මැතිවරණ දෙපාර්තමේන්තුවත් කාර්යාලවල ඒ ඒ අපේක්ෂකයන්ගේ ඡායාරූප හා මනාප අංක ප්‍රදර්ශනයට අවසර දුන්නේය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට මෙවරද එම අවසරය ලබාදීමට අවශ්‍යව තිබූ නමුත් පනතේ නැති දෙයකට අවසර ලබාදීමට කොමිසමේ අනෙක් සාමාජිකයන් දෙදෙනා එකඟ වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
මැතිවරණ පැවැත්වීමේ නිසි බලධරයා වන්නේ මැතිවරණ කොමිසමය. මැතිවරණ පැවැත්වීම හරහා කොමිසම ඉටු කරන්නේ ජනතාවට තම නියෝජනය නිවැරදිව තෝරා ගැනීම සඳහා සහාය වීමේ වගකීමය. මැතිවරණ නිදහස්ව, සාධාරණව හා අපක්ෂපාතීව පැවැත්විය යුතු වන්නේ ඒ නිසාය. මැතිවරණ දෙපාර්තමේන්තුව ස්වාධීන මැතිවරණ කොමිසමක් බවට පරිවර්තනය කෙරෙන්නේ මේ වගකීම වඩා හොඳින් ඉටුකරවා ගැනීම සඳහාය.
කෙසේ වෙතත් තමන්ගේ මනාප අංක පෙර පරිදි ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීම නිසා බොහෝ දේශපාලකයන් මැතිවරණ කොමිසමත් සමඟ සිටින්නේ අමනාපයෙනි. මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන්ට ලබාදී ඇති නීතිරීති පිළිබඳව පක්ෂ විපක්ෂ කිහිපයකින් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයකින්ද විමසීමක් කළෙමු.
මුදල් නැති අපේක්ෂකයන් කබලෙන් ළිපට වැටිලා
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්
අපේක්ෂකයන්ගේ මෙම ගැටලු සම්බන්ධව අපි මුලසිටම මැතිවරණ කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කළා. නමුත් මැතිවරණ කොමිෂන් සභාව වැඩකරන්නේ ඔවුන්ට කැමති විදියට ප්‍රජාත්‍රන්තවාදීව මහ මැතිවරණයකදී තමන් කැමති නියෝජිතයා පත්කර ගැනීමට මැතිවරණ කොමිසම සෞඛ්‍ය නීති දඩමීමා කරගනිමින් බධාකර තිබෙනවා. මැතිවරණ අපේක්ෂකයන්හට තමන්ගේ ඡන්දදායකයන්ට මනාප අංකය දැනුම් දීමට නොහැකි වී තිබෙනවා කොමිසමේ මේ නීති නිසා. අද වනවිට විපක්ෂය මෙන්ම මුදල් නොමැති අපේක්ෂකයන් පවා කබලෙන් ළිපට වැටිලා අසරණ වෙලා තියෙන්නේ.
‘^81 ඉඳන් පුළුවන් නම් දැන් බැරි ඇයි?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර
1981 ඉඳන් මෙච්චර කාලයකට මැතිවරණ කොමිසම කියන නීතිය මේ රටේ ක්‍රියාත්මක වුණා. අපෙක්ෂකයන්ට තමන්ගේ මනාප අංක ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබුණා. නමුත් දැන් අපේක්ෂකයන්ට බැරිවෙලා තියෙනවා තමන්ගේ මනාප අංක ප්‍රදර්ශනය කිරීමට. ඇත්තටම අපේක්ෂකයන්ට තමන්ගේ මනාප අංකය ඡන්දදායකයාට ප්‍රදර්ශනය කිරීමට බැරිනම් ඇයි ඔවුන්ට මනාප අංක ලබාදෙන්නේ. එහෙම ප්‍රදර්ශනය කරන්න බැරිනම් ඡන්ද ලකුණක් පමණක් ඔවුන්ට ලබාදෙන්න තිබුණා. මැතිවරණ කොමිසම මේ ක්‍රියාත්මක කරන්නේ ඇතැමුන්ගේ උවමනාවන්ද කියන එක ගැනත් සැකයක් අපිට තිබෙනවා. මේ පිළිබඳව ඉදිරි පක්ෂනායක හමුවකදී නැවත වරක් කොමිසම සමඟ සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපේක්ෂකයන්ට වගේම ඡන්දදායකයන්ටත් ගැටලුවක්ජ
නතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
මැතිවරණ ප්‍රචාරණයේදී මනාප අංක ප්‍රදර්ශනයට ඉඩ නොදීම නිසා ජාතික ජන බලවේගය ප්‍රමුඛ මාලිමාව වැනි නව දේශපාලන පක්ෂවලට අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම මේ නව දේශපාලන ව්‍යාපාර එහි අපෙක්ෂකයන්ට ඇති එකම වැඩපිළිවෙළ තමයි කාර්යාලවල මනාප අංක හා ලකුණ ප්‍රදර්ශනය කිරිම කොමිසම ගත් මෙම තීරණත් සමග නව දේශපාලන ව්‍යාපාරවල නවකයන්ට එම අවස්ථාව අහිමිවීම නිසා ගැටලු මතුවෙනවා. ඒ වගේම ඡන්දදායකයන්ටත් ගැටලුවක් මතුවෙනවා තමන්ගේ මනාපය පළ කරන්න වෙන්නේ කාටද කියලා.
හැමදෙනාටම ලොකු අසාධාරණයක්
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
මැතිවරණයට ඉදිරිපත්වෙලා තියන මේ අපේක්ෂකයන්ට ඇති ගැටලු පිළිබඳව අපි ලිඛිතවත් මැතිවරණ කොමිසම වෙත කරුණු ඉදිරිපත් කළා. නමුත් ඔවුන් කිසිම සාධාරණයක් කරලා නැහැ. මෙහෙම පාර්ලිමේන්තු මැතිවරණ තියන්න පුළුවන්ද කියලා අපි මුලින්ම මැතිවරණ කොමිසමෙන් අහනවා. අද අපේක්ෂකයන්ට මේ ගැන කියන්න කෙනෙක් නැහැ. ඒ වගේම අද අපේ පක්ෂ කාර්යාලවල විතරක් නෙවෙයි අපේක්ෂකයන්ගේ පෞද්ගලික ඉඩකඩම්වල තිබෙන කටවුට් පවා මැතිවරණ කොමිසමේ උපදෙස් යැයි කියමින් ඉවත් කරනවා. මුදල් තියෙන අපේක්ෂකයන්ට මෙය ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අලුතින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මෙය ඉතා අසාධාරණයක්. මේ පිළිබඳ සමගි ජන බලවේගය ඉදිරියේදී මැතිවරණ කොමිසමට ලිඛිතව නැවතත් කරැණු ඉදිරිපත් කරන්න බලපොරොත්තු වෙනවා.
අපේක්ෂකයන්ගේ අයිතිය කොමිසම අතට අරන්
පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්
දිගින් දිගටම අපි මැතිවරණ කොමිසමට මේ ගැන කරුණු ඉදිරිපත් කළා. නමුත් මැතිවරණ කොමිසම කියන්නේ අපි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. අද මේ උද්ගත වෙලා තියන තත්ත්වය නිසා මානව අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙලා තියනවා. තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට අවැසි අපෙක්ෂකයා පක්ෂය අංකය ගැන දැනගැනීමට ඔවුන්ට ඇති අවස්ථාව මැතිවරණ කොමිසම සියතට අරගෙන තිබෙනවා. දයානන්ද දිසානායක මහතාගේ කාලයේ සිට මැතිවරණවලදී අපෙක්ෂකයන්ට ලබා දී තිබූ අයිතීන් නිදහස වත්මන් මැතිවරණ කොමිසම නැතිකර දමා තිබෙනවා. අපි මේ පිළිබඳව කොමිසම සමග සාකච්ඡා කළත් ඔවුන් කියන්නේ අප නීතිය ක්‍රියාත්මක කරනවා කියලා.
මේ ඉල්ලීම කළේ දිස්ත්‍රික් නිලධාරීන්
මේ පිළිබඳව අප කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් මෙසේ කරුණු පැහැදිලි කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික්කවල සේවය කරන නිලධාරීන් ඉල්ලා සිටියා මැතිවරණ පනතේ තිබෙන විධිවිධාන ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන්න කියලා. පනතේ විධිවිධාන වල නැහැ අපේක්ෂකයන්ගේ මනාප අංක සහ ඡායාරූප ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා. ඒවා කරන්න පුළුවන් වෙන්නේ රැස්වීම් භුමියේදී විතරයි කියලා පනතේ තියනවා. ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕන කියලා කොමිෂන් සභාව තීරණය කරලා තිබෙනවා. මැතිවරණ කාර්යාල භුමියේ ඉඩකඩ තියෙනව නම් කොවිඩ් නීතීන්ට අනුව රැස්වීම් පවත්වන්න පුළුවන්. එහෙම රැස්වීම් තියන විට මනාප අංක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. රැස්වීමක් නොමැති නම් එහෙම කටවුට් ගහලා තියන එක නීති විරෝධියි.
සටහන: හසිත් අංජන