මෙයට මාස හයකට පෙර චීනයේ වූහාන් ආශ්‍රීතව පැතිර ගිය අබිරහස් රෝගයක් ගැන වූ ආරංචිය ඒ තරම් ලෝක අවධානය දිනා ගත්තේ නැත. චීනය එබඳු අමුතු ආරංචි ගෙනෙන සෙසු ලෝකයෙන් වැසී ඇති රටක් ලෙස පැතිර ඇති විශ්වාසය නිසාය. පසුව ආරංචි වූ ආකාරයට මේ ආරංචිය ඇත්තෙන්ම සෙසු ලෝකයෙන් වසං කරන්නට චීනය උත්සාහ ගත් ආරංචියකි. අන්තිමේදී මේ නොතකා හැරි ආරංචිය ලොව භයානකම ආරංචිය බවට දැන් පත්ව තිබේ. ඒ ලොව කෝටි 2ක් ගොදුරු කරගත් සියවසේ මහා වසංගතය බවට පත්වීමත් සමගිනි. මේ වනවිට ලක්ෂ 05කට වැඩි ගණනක් මේ වසංගතයට බිලි වී හමාරය.
ඉකුත් සිකුරාදා වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 10,973,896 ඉක්මවා තිබුණි. දැන් මාස හයකට පසු වසංගතයෙන් තදින්ම බැට කන රට බවට පත්ව ඇත්තේ චීනයේ ප්‍රබල විරුද්ධවාදියා වන අමෙරිකාවයි. සමස්ත ගෝලීය ආසාදිතයන්ගෙන් හතරෙන් එකක ප්‍රමාණයක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි. අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ 28ද ඉක්මවා ගොස් තිබේ. මරණ ගණන 56000 පන්නලාය.
ලෝකයේ එක් දිනක් තුළ වැඩිම මරණ ගණන වාර්තා වූයේද අමෙරිකාවෙනි. එය +56,922කි. ඒ අතර අමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යා හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවා තිබුණී. එසේ කීවේ අමෙරිකානු රජයේ බෝවන රෝග සහ ආසාත්මිකතා මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනී ෆවුසිය. ඔහු සඳහන් කළේ, මෙම තත්ත්වය තවදුරටත් පාලනයෙන් ගිලිහුණහොත් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණය ඉක්මවනු ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අවදානම් ප්‍රදේශ වෙත පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවන බව ද වෛද්‍ය ඇන්තනී අවධාරණය කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් මුළු රටම අවදානමේ හෙළන බවයි. ලබන වසර වනවිට කොරෝනා මර්දන එන්නතක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි ද වෛද්‍ය ඇන්තනී විශ්වාසය පළ කළේය. නමුත් කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපද වූ පමණින් අමෙරිකාවේ වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි වෛද්‍ය ඇන්තනී පවසයි. ඊට හේතු ලෙසින් ඔහු පෙන්වා දෙන්නේ, බහුතර අමෙරිකානුවන් කොවිඩ් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමය. අමෙරිකානුවන් බොහෝමයක් තුළ ඇත්තේ වසංගතය ගණනකට නොගන්නා ජනාධිපති ට්‍රම්ප් තුළ දක්නට ලැබෙන උදාසීන බවය. රට තුළ ප්‍රාන්තයන්හි වෛරස ව්‍යාප්තිය දැඩි වී තිබෙන නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින්නේ වෛරසය පාලනය කර තිබෙන බව ප්‍රකාශ කිරීමට බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔහුගේ අවශ්‍යතාව වී තිබෙන්නේ හැකි ඉක්මණින් ආර්ථිකය යළි විවෘත කිරීමය. වසංගතය හමුවේද ඉතා මුරණ්ඩු ලෙස හැසිරෙමින් සිටින ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ කාර්ය සාධන බලකායේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පවා නොතකා මැතිවරණ රුළි ද ආරම්භ කර තිබේ. පසුගියදා ඔක්ලහෝමාහි ටල්සා නගරයේ පැවති මෙවන් රැළියක සිටි ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ 08 දෙනකුට කොරෝනා වෛරසය වැළඳී තිබෙන බව තහවුරු කරගෙන ඇත. ඒ අනුව රුළියට සහභාගී වූ ජනාධිපතිවරයාගේ සියලුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කරන්නට ද යෙදුණි. එහෙත් ජනාධිපති ට්‍රම්ප් මේ කිසිවකින් මට්ටු නොවන උද්ධච්ච බවකින් ක්‍රියා කරන බවට එරට මාධ්‍ය පවා දොස් පවරා තිබුණි.
ට්‍රම්ප්ගේ පිළිවෙළ අනුගමනය කරන බහුතර අමෙරිකානුවෝ කොවිඩ් පරීක්ෂණ සිදුකර ගැනීමත්, මුඛ ආවරණ පැළඳීමත් නොතකා හැර තිබේ. ඒ හේතුවෙන් චීනයටත් වඩා දැඩි හානි තවදුරටත් අමෙරිකාව කරා එන ලකුණු පහල වී හමාරය. මේ අතර සමහර සෞඛ්‍ය අංශ වාර්තා දක්වන්නේ එක්සත් ජනපදයේ තක්සේරැ කර ඇති සත්‍ය ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි බවය. රෝග මර්දන මධ්‍යස්ථාන The Centers for Disease Control (CDC) පැවසුවේ අමෙරිකානුවන් මිලියන 20කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවය. මෙවන් පසුබිමක් තුළ රටේ තරුණ ප්‍රජාව කොවිඩ් පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා දිරිමත් කිරීමටත් මුඛ ආවරණ පැළඳීම සඳහා ජනතාව පෙළඹවීමටත් උප ජනාධිපති මයික් පෙන්ස් කටයුතු කරමින් සිටී.
ඒ අතර අලුත් කොවිඩ් රැල්ලක් ලොව පුරා පැතිරයාම ද දැන් ඇරැඹී හමාරය. කොවිඩ් ශුන්‍ය භූමියක් බවට ප්‍රකාශ කර තිබූ බීජිං නගරය යළි කොවිඩ් අවදානමට ලක්වුණේ ඉකුත් මස මැද භාගයේදී ෂින්ෆාඩි තොග වෙළෙඳපොළ ආශ්‍රිතව ආසාදිතයන් පොකුරක් හඳුනා ගැනීමත් සමගිනි. නව කොවිඩ් ආසාදිතයන් පොකුර පාලනය කිරීම සඳහා චීනයේ බීජිං අගනුවර ආසන්නයේ පුද්ගලයන් ලක්ෂ පහක් පමණ දැඩි සංචරණ සීමාවලට යටත් කර තිබේ. එමෙන්ම නගරයේ කොවිඩ් පරීක්ෂණ වේගවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත. බීජිං ජනගහණයෙන් තුනෙන් එකක් පමණ මේ වනවිටත් පරීක්ෂණයට බඳුන් කර අවසන්ය. රටේ පාසල් සහ පොදු ස්ථාන නැවත වසා දමලාය.
මෙලෙසම රටවල් කිහිපයක් නැවත විවෘත කිරීමට කලින් තීරණය කර තිබුණද එම රටවලින් වාර්තා වන දෙවෙනි කොවිඩ් රැල්ල හේතුවෙන් අදාළ තීරණ හකුලාගත් අවස්ථා දක්නට ලැබුණි.
අද්භූත නියුමෝනියාව වැනි රෝගයක පළමු සිදුවීම් චීනයේ වුහාන්හි වාර්තා වී දැන් මාස හයක් ගත වී ඇත. 2002 සිට 2004 දක්වා ලොව වාර්තා වූ පුද්ගලයන් 774 දෙනකු මියගිය සාර්ස් පුපුරා යාමේ පුනරාවර්තනයක් නැවත දැකගත හැකි වනු ඇතැයි එකල ලොව බිය විය. නමුත් මේ වනවිට කොවිඩ්-19 එයට අනන්‍ය අන්දමේ භයානක ව්‍යාප්තියක් අරඹා හමාරය. මේ නිසාදෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉකුත්දා පෙන්වා දුන්නේ මෙය අප සැමට වටහා ගැනීමට අසීරු එහෙත් බලපෑම් සහගත මොහොතක් බවයි. “නරකම දේ තවම පැමිණ නැත. මේ ආකාරයේ දැන් දක්කට ලැබෙන පරිසරය හා තත්ත්වයන් සමඟ, අපි නරකම දේට බිය වෙමු” යනුවෙන් ඔහු අනතුරු ඇඟවූයේය.
සමහර රටවල ප්‍රගතියක් තිබියදීත්, සෙසු ලෝකය ආශ්‍රිතව වසංගතය වේගවත් වෙමින් පවතින බවත්, ඉදිරි මාසවලදී ලෝකයට මීටත් වඩා විශාල ඔරොත්තු දීමේ හැකියාව, ඉවසීම සහ ත්‍යාගශීලීභාවය අවශ්‍ය වනු ඇති බවත් ඔහු කියා තිබුණේ වසංගතයේ බැරෑරුම් බව අවධාරණය කරමිනි. මෙලෙස ‘නරකම දේ තවම පැමිණ නැත’ කියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවන්නේ කොරෝනා වසංගතය අවසන් වීමට ආසන්න තත්ත්වයක් තවමත් නැති බව තහවුරු කරමිනි.
► සුගත් පී කුලතුංග ආරච්චි