2020 ජුලි 04 වන සෙනසුරාදා

මහ ඡන්දෙකට යන මහ වියදමක තරම!

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

මහ මැතිවරණයක් පවත්වන දිනය නියම වී තිබේ. අපේක්ෂකයෝ උණුසුම් සටනකය. මෑතක් වනතුරු කොවිඩ්-19 අවදානම හෙයින් මහ මැතිවරණයක් පවත්වන්නට සුදුසු පරිසරයක් නැති බව කියා සිටි කිසිවකුට අද එම වගන්ති අමතකය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදි බව දක්වා එතෙක් තිබුණ පාර්ලිමේන්තුව නැවත කැඳවන සේ අධිකරණයට ගිය අතර එයද අද වනවිට අතීතයට එකතුවී ඇති බව පෙනේ. මහ මැතිවණයක් පවත්වන සුදුසු පරිසරය සෞඛ්‍ය බලධාරීන් අනුමත කරන තෙක් පියවරක් ගත නොහැකි බව දක්වමින් සිටි මැතිවරණ කොමිසම පවා ඉතාමත් වේගයෙන් තීරණ ගනිමින් සිටියි.  

ශ‍්‍රී ලංකාවේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙම ඉතිහාසය තුළ ඡන්ද සෑහෙන වතාවක් පවත්වා ඇත. මුල් කාලයේ අපේක්ෂකයෝ ඡන්දයකට වියදමක් නොකළ තරම්ය. ආසන්න මට්ටමින් තිබුණ ඡන්ද ව්‍යාපාර සුහද එහෙත් තරගකාරී බව ඉතිහාසය කියයි. දැන් එය වෙනස් පැත්තකට හැරී තිබේ. අති විශාල වියදමක් කරන දැවැන්ත බල අරගලයකි.

මැතිවරණ කොමිසමේ වියදම මිලියනවලින් ඉහළට

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මෙහෙයුම් වියදම රු. බිලියන දහය ඉක්මවිය හැකි බව මැතිවරණ කොමිසම දැනට ප‍්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකාව වැනි මැදි ආදායම් රටක, අද වනවිට මුහුණ පා සිටින ඉතාම බරපතළ ආර්ථික ප‍්‍රශ්න ඉදිරියේ මෙවැනි දැවැන්ත වියදමක් දරාගත නොහැකි බව අවිවාදිතය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැදගත්ය. ජනතාව තීරණය කරන මහජන නියෝජිතයා තෝරාගෙන ආණ්ඩුවක් පිහිටුවීම කළ නොහැකි වුවහොත් ව්‍යවස්ථා අර්බුදයක් හට ගැනේ. පාර්ලිමේන්තුව රහිතව වියදම් අනුමත කර ගැනීමට පුළුවන්කමක් නැත. රජයේ වියදම අඩාල වනවිට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා ප‍්‍රශ්නයක් වෙන්නට ඉඩ තිබේ. ජන ජීවිතය සුපුරුදු රිද්මයෙන් පවත්වා ගැනීමට නම් අනිවාර්යයෙන් මහ මැතිවරණයක් පැවැත්විය යුතුය. එයට ගෙවන වියදම රටට සහ ජනතාවට ප‍්‍රශ්නයක් නමුත් ක‍්‍රමය ආරක්ෂා කරගන්නට එකී වන්දිය ගෙවිය යුතුය.

පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ හතළිස් එක් දෙනෙක් ඇප මුදල් තැන්පත් කළහ. තිස් පස් දෙනෙක් ඉදිරිපත් වූහ. ශ‍්‍රී ලංකා ඡන්ද ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව භාවිත කළ අතර ඒවා බහාලන ඡන්ද පෙට්ටි අලුතින් හදන්නට සිදුවිය. ජනාධිපතිවරණ වියදම රු. බිලියන 4.5 ඉක්මවූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. 2019 වසර සඳහා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් මගී ජනතාවගේ පහසුව සඳහා අලුත් බස්රථ 250ක් ආනයනයට වෙන්කළ මුදල රු. බිලියන 1.5 කි. ජනාධිපතිවරණයට එය මෙන් තුන්ගුණයක් වියදම් වී තිබේ. මහ මැතිවරණයට රු. බිලියන දහයක අවම පිරිවැයක් බව කියන විට රටට බස්රථ කොපමණ ගෙන්විය හැකිදැයි කල්පනා කිරීම සුදුසුය. අනෙක් වැදගත් කාරණයක් තිබේ. ආණ්ඩුව කරන වියදම පමණකි. අපේක්ෂක ප‍්‍රචාරණයට කරන තරම ගණන් බලන්නට පුළුවන්කමක් නැත.

මහ මැතිවරණයකට පසු පළාත් සභා ඡන්දය

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ සිතියම අනුව මහ මැතිවරණයට කළින් පළාත් සභා ඡන්ද පැවැත්විය යුතුය. ඡන්දක‍්‍රමය වෙනස් කරන බවට ඝෝෂාවක් ඇතිකළ ඉකුත් පාලනය එය තාවකාලිකව කල්දමා තිබේ. දැන් වසර දෙකකට වැඩි කාලයක් පළාත් සභා අක‍්‍රීයව තිබේ. හිටපු ඇමැතිවරයෙකු වන පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් රටට බරක් වී ඇති පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන සේ යෝජනාකර ඇත. එය වැදගත්ය. මෙම මහ මැතිවරණයෙන් පරාජය වන අපේක්ෂකයෝ එතැනින් ලැබූ පදනම ජවයක් කරගෙන පළාත් සභා ඡන්දයක් පැවැත්වුවහොත් එයට ඉදිරිපත් වනු නිසැකය. එතැනදීත් පරාජය වන සහ කලින් මහ මැතිවරණයෙන් පැත්තකට වෙන සියලුදෙනා සංස්ථා සභාපති, අධ්‍යක්ෂක හා තානාපතිවරුන් වශයෙන් නුදුරු කාලයේ පත්වීම ලබනු ඇත. එය මෙරට පවතින විෂම ක‍්‍රමයෙහි ඇතුළාන්තයයි. ක‍්‍රමයෙහි ඇලී, එයින්ම යැපී, ගොදුරු කරගෙන ජීවත්වෙනු හැරෙන්නට අනෙක් විකල්පයක් දෙස අවධානය යොමු නොකිරීම බලවත් අවාසනාවන්ත තත්ත්වයකි.

පළාත් සභා අහෝසි කර පළාත් පාලන ආයතන ශක්තිමත් කළ හැකි බව මිලින්ද මොරගොඩ මහතා කියයි. 1987දී ක‍්‍රියාත්මක කරන ලද පළාත් සභා බලය බෙදන ව්‍යුහයක් බව දක්වන නමුත් එය එසේ වී නැත. සබරගමුව පළාත් සභාව 2018 සැප්. 26 දින සිට අක‍්‍රීයය. අන්තිමට ඌව 2019 සැප්.08 වැනි දින සිට නිල කාලය අවසන් වීමෙන් හෝ විසුරැවා හැරීමෙන් පසු ජනතා නියෝජනයක් රහිතව පවතී. මෙම කාලය තුළ ජන ජීවිතයට අපහසුතාවයක් වී නැත. පළාත් සභා ක‍්‍රමය වෙනුවෙන් වාර්ෂිකව රු. බිලියන 250 ක් වැයකරන බවද මෙහිදී දක්වන්නට අවශ්‍යය.

ඇමරිකාවේ ජනාධිපතිවරණයට ගිය වියදම මැන බැලීම

2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට දරන ලද වියදම එරට ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් ගණන් බලා තිබේ. සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 6.5 කි. ඇමෙරිකානු මැතිවරණ දෙපාර්තමේන්තුව දරන ලද වියදම හා අපේක්ෂකයන්ගේ වියදමද ඇතුළත්වය. එයට අමතරව අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා මූලික වටයේ ඡන්දවල පිරිවැයද එම සම්පූර්ණ මුදලට එකතු කර දක්වා තිබීම විශේෂත්වයකි. ලෝක බලවතා වූ ඇමරිකාවේ විශාල ජනගහනය වෙනුවෙන් කරන පිරිවැය සලකන විට ශ‍්‍රී ලංකාව කරන වියදම සාධාරණ එකක් නොවේ. පාලකයන්ද ජනතාවද මෙම පැති ගැන සිතා බලන්නට අවශ්‍යය. එක පැත්තකින් අපට මෙපමණ මැතිවරණ අවශ්‍ය නැත. නැත්නම් වියදම අඩුකළ යුතුය. ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන වශයෙන් කරන්නේ මහා විනාශයකි. රට වෙනස් කර අලුත් යුගයක් ඇතිකරන බව කියා බලයට එන පාලකයන් මෙම වේදනාව ගැන කල්පනා නොකරන්නේ ඇයි?

අධිරාජ්‍යවාදී කාලයේදී කෝල්බෲක් කොමිෂන් සභාව වාර්තාවක් නිකුත් කරමින් ලංකාවේ පාලනය සඳහා කවුන්සිල් නියෝජිතයන් තෝරා ගැනීම සුදුසු බව දක්වා තිබේ. 1833 දී පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයෝ පහළොස් දෙනෙකු නම්කර පත් කරගෙන ඇති අතර 1920දී ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාව මන්ත‍්‍රීවරු තිස් හත් දෙනෙකු අතරින් පස් දෙනෙකු තෝරාගැනීම සඳහා ඡන්දයක් පවත්වා ඇති බව දක්වයි. සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 වසරේදී ය. එතැන් සිට අද දක්වා ඉතා සංකීර්ණ සහ අතිශය වියදම් සහගත ක‍්‍රමවේද මැතිවරණ සඳහා අනුගමනය කර ඇත. 

ඡන්දය ජනතාවගේ අයිතියකි. ජනතා කැමැත්තෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණයක් පැවැත්විය යුතුය. එහෙත් සීමාව ඉක්මවා යා යුතු නැත. දැන් ජනතාවට ඡන්ද එපා වී තිබේ. මධ්‍යස්ථ ජනතාවට දේශපාලන පක්ෂ පක්ෂ වහකදුරු වී ඇත.  මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා දක්වන ලද අන්දමට අලුත් දේශපාලන පක්ෂ 143ක් ලියා පදිංචියට අවසර ඉල්ලා තිබේ. දැනට පවතින ලියා පදිංචි දේශපාලන පක්ෂ ගණන 70 කි. මේවා පෙන්වන්නේ රට ගමන් කරන අවිද්‍යාත්මක දිසානතිය බව පෙන්වාදීම අවශ්‍යය.

දුප්පත් රටක දූෂිත ක‍්‍රමයකින් හොඳ අනාගතයක් පැතීම

මෙරට ජනගහනයෙන් සෑහෙන කොටසක් සහනාධාර මත ජීවත්වෙති. රට තුළ සෑහෙන ප‍්‍රශ්න තිබේ. අධ්‍යාපන, සෞඛ්‍ය හා ප‍්‍රවාහන අංශවල දීර්ඝ කාලයක් නොවිසඳුන බරපතල තැන් ඇත. අලුත් වියදම් සඳහා ආණ්ඩුවට ධනය නැති අතර ධනය උත්පාදනය කරන මාර්ග ඇතිකරන ප‍්‍රයත්නය සාර්ථක කරගැනීමට නොහැකි වී තිබේ. එවැනි පසුබිමක ඡන්ද වියදම් ගැන නැවත සිතා බැලීම සුදුසුය. කොවිඩ්-19 ව්‍යසනය නිසා ජනතාවට එදිනෙදා ජීවත්වීම පවා ප‍්‍රශ්නයකි. ආණ්ඩුව බෙදාදුන් රුපියල් පන්දහස ගන්නට පොර බදන ජනී ජනයා දකින කිසිවෙකු ඡන්දයකට ධනය වියදම්කර බලයට එන්නට ප‍්‍රාර්ථනා කළ යුතු නැති අතර ජය ගැනීමෙන් පසු පවා මහජන මුදලින් නඩත්තු වීම කොපමණ නරක දෙයක්දැයි වටහා ගැනීම වැදගත්ය.

දූෂණය තුරන් කරන සහ වංචා නැති කර යුක්තිගරුක සමාජයක් හදන බවට පොරොන්දු දෙන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයෝ පළමුවෙන්ම දූෂණය හා වංචාව වෙත නැඹුරු වෙති. ඡන්ද ව්‍යාපාරයෙහි නිරත සියලු පක්ෂ හා අපේක්ෂකයන් ඒවාට වැය කරන ධනය අත යටින් ලබාගත් ඒවාය. මෙරට පවතින නීති අනුව මැතිවරණ වියදම් ප‍්‍රකාශයට පත්කළ යුතු නැත. අඩුම තරමින් පක්ෂ සාමාජිකයෝ අයවැය ගැන නොදනිති. පක්ෂ විධායක හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලවලට ඡන්දයකට වියදම් කළ මුදල් හෝ ඒවා ලැබුණ පිළිවෙළ ගැන අවබෝධයක් නැත. 

එක පැත්තකින් මැතිවරණ වෙනුවෙන් ආණ්ඩුව වියදම් කරන අතර අනෙක් පැත්තෙන් අපේක්ෂකයන් හා පක්ෂ මහා ධනස්කන්ධයක් වැයකරති. මැතිවරණ කොමිසම සිය මුදල ආණ්ඩුවෙන් ලබාගන්නා අතර එය ජනතාව ගෙවන බදු බව පෙන්වා දිය යුතුව තිබේ. පක්ෂ වියදම් කරන බිලියන සංඛ්‍යාත ධනය එන්නේ කොතැනින්ද? ඒවාද මෙරට ආර්ථිකයේ කොටසක් බව සඳහන් කිරීම අවශ්‍යය. මෙවැනි පැවැත්මකින් දරැවන්ට යහපත් අනාගතයක් අපේක්ෂා කළ හැකිද? පාලකයෝ කල්පනා කළ යුතුය. ජාතික නායකයන්, ආගමික නායකයන් අලුතින් හිතන්නට අවශ්‍යය. 

 ගාමිණී සරත් ගොඩකන්ද