ප්‍රී ෂූට් එකේ ෆොටෝ ගන්න අපි සේර ඇල්ලට ගියේ. මුලින්ම ඇල්ල උඩ ෆොටෝ අරගෙන අන්තිම ෆොටෝ එක ගන්න වතුරට බැස්සා. එතකොට අපි දෙන්නම ලිස්සලා වැටුණා. අපි දෙන්නම වතුරෙ යට ගියා.
විවාහයට පෙර ඡායාරූ ගැනීමට සේර ඇල්ලට ගොස් සිටියදී පය ලිස්සා ඇද වැටී වතුරේ ගිලී මියගිය පෙම්වතාගේ මතකය අවදි කරමින් වැළපෙන පෙම්වතිය දිල්මි මධුෂිකා පවසන්නීය.
දිල්මි - ශිරන්ත ආදර කතාවට ඉමිහිරි මතක ගොඩකි. ඒ ගෙවුණු මාස කිහිපයක අතීතයෙනි. ආදරයෙන් බැඳුණු දිල්මි හා ශිරන්තට සිය වැඩිහිටියන්ගේ ආශිර්වාදය නොමඳව ලැබීමත් සමඟ නෑ හිතමිතුරන් පිරිවරාගෙන මංගල උත්සවය සැමරීමට සූදානමින් සිට ඇත. ඒ සඳහා සුදුසු නැකත් එළඹෙන වාසනාවන්ත දිනය තවත් දෙසතියකින් පමණ උදාවීමට නියමිතව තිබිණ. ඊට පෙර දහසකුත් වැඩ රාජකාරි මැද ඥාති හිත මිතුරන්ට ආරාධනය කිරීමට කටයුතු කර තිබිණ. ඒ අතරතුර දෙදෙනාගේ ආදරණීය මතකයන් රැස්කර ලස්සන ඡායාරෑප ඇල්බමයක් සැකසීමට අදහස් කොට ඇත. වර්තමානයේ විවාහ වන නව යුවළ විවාහයට පෙර සිදුකරන ඡායාරූප ගතකිරීම හෙවත් pre shoot සිදුකිරීමට දිල්මි හා ශිරන්ත යුවළ ආසාවෙන් පසුවූහ. ඔවුන් තෝරාගත් ඡායාරෑප ශිල්පියාගෙන්ද ඊට ලැබී තිබුණේ දැඩි උනන්දු කිරීමකි.
විවාහ මංගල ඇල්බමයට පෙර pre shoot ඇල්බමය ලබාදීමේ අදහසින් ක්‍රියා කළ ඡායාරෑප ශිල්පියා යුවළගේ අදහස අනුව ඡායාරූප ගතකිරීමේ ස්ථානය වශයෙන් දුම්බර කඳුකරයේ නකල්ස් වනපෙත ආශ්‍රිත ස්ථාන කිහිපයක් තෝරාගෙන ඇත.
ඒ සඳහා දිනය නියම කොටගෙන තිබුණේ ඉකුත් 28 වැනිදාය. ඡායාරූප ශිල්පියා ඔහුගේ සහායකයකු මෙන්ම ගමනට යුවළගේ මව ඇතුළු පිරිසක් සහභාගීව සිට ඇත. කුරූණෑගල කිරිවත්ත ප්‍රදේශයෙන් පිටත් වූ ශිරන්ත ඇතුළු පිරිස මාතලේ නකල්ස්, රිවස්ටන් හා පතන ප්‍රදේශවල ඡායාරූප ගතකිරීම සිදුකොට තිබිණ. උදෑසන සිට ඡායාරෑප ගැනීමේ නිරත වූ පිරිස අවසන් ඡායාරූූප කිහිපය ලබාගැනීම සඳහා තෝරාගෙන තිබුණේ සේරඇල්ල ආශ්‍රිතවය.
දිල්මි - ශිරන්ත ඇතුළු පිරිස සේරඇල්ල අසළට ළඟා වී තිබුණේ එදින පස්වරු හතරට පමණය. ඇල්ල ඉහළ ගලකට නැගී සේයාරෑ කිහිපයකට මුහුණ දුන් පසුව ඡායාරූප ශිල්පියාගේ දැනුම්වත් කිරීමෙන් ඇල්ල පාමුල ගල් තලාවකට නැග තිබුණේ අවසන් ඡායාරූපය ලබාගැනීමටය. ඒ සඳහා ඡායාරූප ශිල්පියා උපදෙස් දෙමින් කියා තිබුණේ ගල්තලාවෙන් පහත් වී වතුරට අත දමා දිය දෝතක් ගෙන අහසට විසිකරන ආකාරයේ ඡායාරූපයක් ලබාගැනීමට සූදානම් වන ලෙසය. පෙරවරැවේ පටන්ම ඡායාරූප ශිල්පියාගේ උපදෙස් අනුව කටුයුතු කරමින් ආකර්ෂණීය ඡායාරූප ගොන්නක් රුස්කරගෙන සිටි යුවළට මේ අවසන් ඡායාරූපයට පෙනී සිටීම ගැන අමුත්තක් නොවීය. එහෙත් ඡායාරූප ගැනීමට සූදානමින් වතුර ඇල්ලීම සඳහා ශිරන්ත පහත් වූවා පමණය. පය ලිස්සා යාමත් සමඟ ආරක්ෂාවට දිල්මිගේ ඇඟෙන් අල්ලාගන්නට ශිරන්ත උත්සාහ කළත් ඊට අවස්ථාවක් ලැබී නැත. ඒ සමඟම සිදුව ඇත්තේ දිල්මිත් පෙරළාගෙන ශිරන්ත වතුරට ඇදගෙන වැටීමය.
වහාම ක්‍රියාත්මක වූ ඡායාරූප ශිල්පියා දියට පැන යුවළ බේරා ගැනීමට උත්සාහ කරමින් පළමුව දිල්මි ගොඩට ගත් අතර එහිදී කලබල වූ පවුලේ මව ඇතුළු පිරිස අනතුර සිදු වූ වතුර වලට පැන තිබුණේ දෙගිඩියාවකිනි. එසේ ශිරන්තගේ මව හා තවත් කාන්තාවක් දියට පැනීමේදී ඔවුන් ද දියේ ගිලීමට ගොස් ඇත. එහිදී ඡායාරූප ශිල්පියාට සිදුව ඇත්තේ ශිරන්ත බේරාගැනීම පසෙක තබා එම කාන්තාවන් මුදාගැනීමටය. මේ අතරතුර දියේ ගිලුණු ශිරන්ත ආගිය අතක් නොමැතිව අතුරුදන්ව සිටියේය.
සිදුවීමෙන් භීතියට පත්ව හඬන්නට වූ පිරිස අතුරින් ශිරන්තගේ මව හඬනැගුවේ පුතාට පීනන්නට තබා වතුරටත් බයයැයි කියමිනි. මේ සිදුවීම වී තිබුණේ 28 වැනිදා පස්වරු 4.45ට පමණය. අසල්වාසීන්ගේ සහයද ලබාගෙන ශිරන්ත සෙවීමට ගත් උත්සාහයෙන් ඵලක් වී තිබුණේ නැත. පසුව සිදුවීම දන්වා තිබුණේ ලග්ගල පොලීසිය වෙතය. පසුව පැමිණි පොලීසියේ දැනුම්දීම මත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා කළ මෙහෙයුමකින් පසුදින 29 වැනිදා පස්වරැ 12ට පමණ ශිරන්තගේ සිරැර සොයාගෙන තිබිණ. සිරුර හමුවනවිට ගැඹුරු දිය පතුලේ වූ කොටයක් හා සමාන කොටසක් අල්ලාගෙන මියගොස් සිටි බව එම කිමිදුම් නිලධාරීහු පවසා සිටියහ.
සිද්ධියෙන් මියගිය ශිරන්ත 27 හැවිරිදි වියේ පසුවිය. ඔහු වඩු කාර්මිකයකු ලෙස සේවය කොට තිබෙන අතර පෙම්වතිය රැකියාවක නිරතව නැත. ඡායාරූප ලබාගැනීමට ගොස් මීට පෙරද සේර ඇල්ලේදී සිදුවූ තවත් අනතුරු රාශියකි. ඔවුන් කිසිවෙක් ඇල්ලේ සුන්දරත්වය විනා පරිසරයේ අවදානම නොතැකූ පිරිස් බව සඳහන්ය.
විවාහ මංගල්‍යයට පෙර ඡායාරූප ඇල්බමයක් සැකසීම හෙවත් pre shoot ඡායාරෑප ගැනීම වර්තමාන විලාසිතාවකි.රැල්ලට සිදුකරන pre shoot ඡායාරූප ගැනීම ඇතැම් පුද්ගලයෝ විවාහ මංගල්‍යයක අනිවාර්යය අංගයක් බව සිතති. කලින් කලට නව ව්‍යාපාර අදහස් හා සේවා ප්‍රවර්ධනය කරන පිරිස් මෙවැනි දෑ සමාජගත කිරීමට පෙළඹෙති. මිල මුදල් ඇති අය වේවා මේ දේවල් ඉහළින් වැළඳගෙන කටයුතු කරන අතර රැල්ලට දුවන ඊට කොටුවන පිරිස් රුවටෙති.
ඡායාරූප ශිල්පයේදී මංගල ඡායාරූපකරණය ඉතා ප්‍රචලිත අතර වෘත්තීයභාවයෙන් තොරව තාක්ෂණය හා නව මෙවලම් භාවිතයෙන් පමණක් ඡායාරූපකරණය ව්‍යාපාරයක් ලෙස සිදුකරන පිරිස් සිටිති. සංස්කෘතිය සම්ප්‍රදාය පිළිබඳ අදහසක් නැති එවැනි අය ක්ෂේත්‍රයට ගැටලුවක් වී තිබේ. ආදරණීය යුවළකගේ මංගල්‍යය තෙවැනි ඇසකින් බලා සොඳුරු මතක රුස් කිරීම වටිනා එකකි. එවැනි ඡායාරුප ශිල්පියකු සතුව ඇත්තේ බරපතළ වගකීමකි.
යුවලගේ පමණක් නොව සහභාගී වන අයගේ ලස්සන සමඟ ආරක්ෂාව පිළිබඳව සැලකීම ඡායාරූප ශිල්පියකුගේ වගකීමය. මෙවැනි දෑ වාර්තා වීම හරහා වෘත්තීය ගරුත්වය පිරිහීමත් නිර්මාණයක වටිනාකමත් ගිලිහෙනු ඇත. කැමරාවක් අතදැරූ පමණින් යමෙක් ඡායාරූප ශිල්පියකු නොවනවා සේම මෙවැනි සිදුවීම් ගෞරවණීය වෘත්තියකට දැඩි කැලලක් ඇතිකරයි.
ඇතැම් pre shootවලින් සිදුවන්නේ අනෙකකුගේ ජීවිතයක් තවකෙනකුට ආරූඪ කර ඡායාරූප ගතකිරීමකි. එය කොතෙන් ගැලපෙනවාදැයි සිතීම නිර්මාණයේ හිමිකරුවන් සතුය. නිර්මාණය ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීම පරිසරයේ කොතැනක සිදු කළද ජීවිත ආරක්ෂාව මෙන්ම වෘත්තීය ගරුත්වය රුකගැනීම සිදුකළ යුතුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර