ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ අගනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම් කර තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විශ්ලේෂණ ආයතනයක් වැනි වන “ක්‍රික්විස්” ආයතනයේ අනුග්‍රහකත්වයද ඇතිව විස්ඩන් සඟරාව 21 වැනි සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයන් 30 දෙනා නම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ සිටි හොඳම දකුණත් පිට දඟ පන්දු යවන්නා වන මුරලිදරන් අංක එකට පත්ව සිටී.
“21 වැනි සියවසේ හොඳම ක්‍රීඩකයා තේරීම සඳහා අප දත්ත රැස්කිරීම ආරම්භ කළේ 2000 වසරේ සිටයි. මුරලි ලබාගෙන ඇති ටෙස්ට් කඩුලු 800න් කඩුලු 573 ක් ලබාගෙන ඇත්තේ තරග 85කදීයි. ඒ 2000 ජනවාරියේ සිට 2010 දක්වා කාලයේ. එම කාලයේ ඔහුට වඩා ඉදිරියෙන් සිටියේ එක් ක්‍රීඩකයකු පමණයි. ඒ ජේම්ස් ඇන්ඩර්සන්. ඔහු කඩුලු 584 ක් දවාගෙන තිබුණා.”යි විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාවේ අලෙවි අධ්‍යක්ෂ සෑම් ස්ටෝ ප්‍රකාශ කර තිබේ.
“ක්‍රික්විස්‘ ක්‍රිකට් තරග විශ්ලේෂණ ආයතනය මගින් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කෙරෙන බලපෑම අති විශාලය. එමගින් ක්‍රීඩකයකු විසින් ක්‍රීඩාව උදෙසා දක්වන ලද දායකත්වයට ගෞරවණීය තත්ත්වයක් ලබා දෙන අතර ශ්‍රී ලංකා පිළේ හිටපු දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අගනාම ක්‍රීඩකයා ලෙස නම් කෙරැණේ ඒ අනුවය. “ක්‍රික්විස් ආකෘතිය අනුව ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අපට ගැඹුරින් සොයා බැලීමට ඉඩ සලසයි, පසුගිය වසර 20 තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට මුරලිදරන් විසින් දැක්වූ අසමසම බලපෑම අපි හඳුනාගත්තා ”යැයි විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාවේ කර්තෘ ජෝ හර්මන් සඳහන් කරයි..
විස්ඩන් හා ක්‍රික්විස් මගින් සිදුකෙරුණු මෙම විමර්ශනයේදී දී ඔවුන්ගේ අවධානය යොමු වූයේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් බලපෑමක් සිදු කළ ක්‍රීඩකයන් පිළිබඳවය. ඒ අනුව වඩාත් බලපෑමක් කළ පන්දු යවන්නන් දෙදෙනා ලෙස මුරලි හා ග්ලෙන් මැක්ග්‍රාත් හඳුනාගෙන තිබිණි. එහෙත් මුරලි ටෙස්ට් තරගවලදී වැඩි පන්දුවාර ගණනක් යවමින් ශ්‍රී ලංකාවට ආධිපත්‍යය පැතිරවීමට දායක වී ඇත.
මුත්තයියා මුරලිදරන් 1972 අප්‍රේල් 17 වැනි දින මහනුවර දී උපත ලැබීය.. මුරලිදරන්ගේ පියා සාර්ථක විස්කෝතු නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යන සින්නසාමි මුත්තයියාය.. මව ලක්ෂ්මිය. මුරලි ඔවුන්ගේ දරුවන් සිව්දෙනාගෙන් වැඩිමලාය.
කටුගස්තොට සාන්ත අන්තෝනි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ පාසලිනි. ඒ මඳ වේග පන්දු යවන්නකු ලෙසිනි. ඔහුගේ පුහුණුකරු වූ සුනිල් ප්‍රනාන්දුගේ උපදෙස් මත 14 වැනි වියේදී ඔහු දඟ පන්දු යවන්නෙක් බවට පත් විය. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු වූ ඔහු මැද පෙළ පිතිකරුවෙක් ද විය. පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ අවසන් වාර දෙකේදී කඩුලු 100කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට ඔහුට හැකි විය. 1990/ 91 වසරේ බාටා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණේ මුරලිය.
පාසල් දිවියෙන් පසු ඔහු ටැමිල් යුනියන් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජයට එක් වූ අතර 1991 දී ශ්‍රී ලංකා එංගලන්ත සංචාරයකට තෝරා ගැනු ලැබීය. එහිදී තරග පහකට ක්‍රීඩා කළද එකදු කඩුල්ලක් හෝ ලබා ගැනීමට ඔහුට නොහැකි විය.. ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් තරගය 1992 ඔස්ට්‍රේලියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයයි.
මුරලිදරන් ටැමිල් යූනියන් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ප්‍රිමියර් කුසලාන තරගාවලිය සඳහාද, පළාත් ශූරතාවලියේදී මධ්‍යම පළාත සඳහාද ක්‍රීඩා කළේය. එම තරගවලදී ඔහුගේ වාර්තාව සුවිශේෂී විය. තරග 46 කදී කඩුලු 234 ක් ලබා ගැනීමට ඔහු සමත් විය.
1999, 2001, 2005 සහ 2007 යන වසරයන්හි ලැන්කෂයර් ප්‍රාන්තය සඳහා ක්‍රීඩා කළ මුරලි 2003දී කෙන්ට් ප්‍රාන්තය වෙනුවෙන් පළමු පෙළ ක්‍රීඩා තරග පහකට ක්‍රීඩා කළේය. එංගලන්තයේදී ඔහුගේ පන්දු යැවීමේ වාර්තාවද සුවිශේෂී වේ. තරඟ 33 කදී කඩුලු 236 ක්. ලබා ගැනීමට ඔහුට හැකි විය.
දකුණත් පිට දඟපන්දු (Right-arm off break) යවන්නකු වන මුරලි 1992 සිට 2010 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. එම කාලය තුළ ඔහු ටෙස්ට් තරග 133කට හා එක්දින තරග 350කට සහභාගී විය. ටෙස්ට් ලකුණු 1256ක් සහ එක්දින ලකුණු 674 රැස් කළේය. පන්දු 44,039 යවමින් ටෙස්ට් කඩුලු 800ක් හා පන්දු 18,811 යවමින් එක්දින කඩුලු 534ක් ලබා ගත්තේය. එක් ඉනිමකදී කඩුලු 10 බැගින් ලබාගත් අවස්ථා 22කි. කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා 67කි. ටෙස්ට් තරගයක හොඳම පන්දු යැවීම ලකුණු 51කට කඩුලු 9කි. එක්දින තරගයක හොඳම පන්දු යැවීම ලකුණු 30 කඩුලු 7කි. ටෙස්ට් උඩපන්දු 72කි. එක්දින උඩපන්දු 130කි.
මුරලිදරන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ කිහිපවතාවක් මතභේදයට තුඩු දුන්නේය. අවස්ථා කිහිපයකදීම සුදු ජාතික විනිසුරුවෝ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි නොවන බවට චෝදනා කළහ. ඔහුට එරෙහිව චෝදනා කළ ප්‍රධානතම පුද්ගලයකු වූයේ ඕස්ට්‍රේලියානු විනිසුරුවකු වූ ඩැරල් හෙයාර්ය. 1996දී හා 1999 දී අවස්ථා දෙකකදී ඔහුට එම චෝදනාව එල්ල වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මුරලි සියලු චෝදනාවලින් නිදොස් කරනු ලැබීය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලදී මුරලි දින 1711ක වාර්තාගත කාලයක් (ටෙස්ට් තරග 214ක් පුරා ) අංක එකේ ස්ථානයට පත්ව සිටියේය. ටෙස්ට් හා එක්දින තරගවලදී වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කීවේය. 2007 දෙසැම්බර් 3 වැනි දින ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ ඉන් පෙර එම වාර්තාවට හිමිකම් කියූ ෂේන් වෝන් අබිභවා යමිනි. 2009 පෙබරවාරි 5 වැනි දින කොළඹදී ගෞතම් ගාම්භීර්ගේ කඩුල්ල ලබා ගත්තේ වසීම් අක්‍රම්ගේ එක්දින වාර්තාව සම කරමින් කඩුලු 502 ක් ලබා ගනිමිනි. ඔහු 2010 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් අතර, 2010 ජූලි 22 වන දින ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේ අවසන් පන්දුවෙන් සිය 800 වැනි සහ අවසන් කඩුල්ල ලබා ගත්තේය.
මුරලිදරන් 2002 දී ද විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් ලොව හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ඇගයීමට ලක්විය. 2017 දී ඔහු අයිසීසී කීර්තිමත් ක්‍රීඩකයන්ගේ (ICC Cricket Hall of Fame) ලැයිස්තුවට එක්වූ එකම ශ්‍රී ලාංකිකයා විය.. ඔහු 2017 වසරේ “අද දෙරණ” ශ්‍රී ලාංකිකයා ලෙස සම්මානයට පාත්‍ර විය. කැරිබියානු ප්‍රිමියර් ලීගයට අත්සන් තැබූ හයවැනි ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් ක්‍රීඩකයා සහ නව විස්සයි විස්ස තරගාවලියට නම් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද ඔහු විය.
මුරලිට අසාධාරණයක් සිදු වූ සෑම අවස්ථාවකම ශ්‍රී ලාංකිකයෝ ඔහු වෙනුවෙන් පෙනී සිටියහ. ඔස්ට්‍රේලියාවේදී ඔහුට චෝදනා එල්ල කෙරුණු අවස්ථාවේ නායක අර්ජුන රණතුංග මුරලි වෙනුවෙන් පෙනී සිටියේ සිය ක්‍රිකට් දිවියද අවදානමේ හෙළමිනි. අවසානයේ මුරලි ජයලැබීය. ඔහු තමන්ට සිදුවූ සියලු අසාධාරණයනට පිළිතුරු දුන්නේ තම පන්දුවෙනි. එහි ප්‍රතිඵලය ලෙස ඔහු 21 වැනි සියවසේ ලොව වටිනාම ක්‍රීඩකයා ලෙස කිරුළ පළඳා සිටී.
මුරලිගේ ජයග්‍රහණයට සුබ පතමින් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පසුගිය 29දා නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලය මගින් සංවිධානය කර තිබිණි. එයට මුරලි හා ඔහුගේ පවුලේ සාමාජිකයෝ සහභාගී වී සිටියහ. ඔහු වෙනුවෙන් තනන ලද විශේෂ කේක් ගෙඩියක් අනුභව කිරීමෙන් පසු පැමිණ සිටි ආරාධියන් හමුවේ තම පුතුට සහ දියණියට පන්දු යවමින් මුරලි තම ජයග්‍රහණය සමරනු දැකිය හැකි විය..
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා