2020 ජුලි 04 වන සෙනසුරාදා

වහපු ඉක්මනට අරින්න බැරි කටුනායක ගුවන්තොටුපළ

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙන් වටවූ දූපතකි. ලොවපුරා හදිසියේම පැතිර ගිය කොවිඩ්-19 වසංගත රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ කටුනායක ගුවන් තොටුපළ තුළින් බවට ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන පොදු සත්‍යයක් බවට පත් වී තිබේ. එහෙයින් කටුනායක ගුවන් තොටුපළ යළි සංචාරකයන් සඳහා විවෘත කිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ, එතරම් හිතකර නොවන ආකල්පයකි.

තත්ත්වය එසේ හෙයින් මුලින්ම මේ පිළිබඳව විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් අදහස් විමසුවෙමි.

ජනාධිපතිතුමා විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා දැනට විදේශ රටවල ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හැකි ඉක්මණින් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස. දැනට මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා 52,000ක තරම් ප්‍රමාණයක් ඉල්ලීම් කර තිබෙනවා. ඒ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

ඒ වගේම මේ වනවිට 13,000ක ප්‍රමාණයක් මේ ආකාරයට මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා. එසේ ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන 44ක නිරෝධායනය වෙත යොමුකර තිබෙනවා. එක් ගුවන් යානයක පැමිණෙන ගුවන් මගීන්ගේ පැය 06 ක පමණ කාලයක් පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළු අනෙකුත් සියලු පරීක්ෂණ කටයුතු සඳහා වැය වෙනවා. මේ ආකාරයට දවසකට උපරිම වශයෙන් ගුවන් යානා 04ක් පමණ පී.සී.ආර්. පරීක්ෂණ නිමවා නිරෝධනයට කටයුතු සඳහා යොමු කරමින් ගුවන් තොටුපළ තුළ සමස්ත වශයෙන් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි මට්ටමක පවතිනවා.

මේ තත්වය යටතේ කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීම අගෝස්තු මස මැද දිනයක් හෝ බොහෝවිට අගෝස්තු මාසයේ අවසාන දිනයක් වීමට බොහෝවිට ඉඩ තියෙනවා. එසේම කටුනායක ගුවන් තොටුපළ නැවත සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. එයට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා, සෞඛ්‍ය බලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රේගු නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ මත කටුනායක ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම සිදුවෙනවා.
එසේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට පෙනී සිට එහි වාර්තාව කටුනායක ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතුය. ඉන්පසුව ඔවුන්ගේ එම සංචාරය අතරතුරදීත් එම විදේශීය සංචාරකයන් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. එමෙන්ම මෙම සංචාරකයන් ශ්‍රී ලංකාව තුළ දින 20 කට වඩා රුඳී සිටී නම් ඔවුන්ද යළිත් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබේ.
ඉන්පසුව මේ පිළිබඳව අදහස් දැක්වූයේ, සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සභාපති උපුල් ධර්මදාස මහතාය.

මේ කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වය ඇතිවීමට පෙර, කටුනායක ගුවන් තොටුපළ දිනකට ගුවන් යානා 85ක පමණ මෙහෙයුම් කටයුතු සිදුකළා. එහෙත් වර්තමානයේ කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රියාවලියට පැය 06ක පමණ කාලයක් වැයවෙනවා.

මෙම කාලය අවම වශයෙන් පැය 02කට වත් අඩුකර ගැනීමට හැකි වුවහොත්, කටුනායක ගුවන් තොටුපළ යළි විවෘත කිරීම පිළිබඳව යම් සුබවාදී බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට පුළුවන්. එසේ වුවහොත් දිනකට ගුවන් යානා 35ක් පමණ මෙහෙයුම් කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මෙසේ කටුනායක ගුවන් තොටුපළ යළි විවෘත කිරීම පිළිබඳව අවසාන නිර්දේශය සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කළ යුතු වෙනවා. එසේ ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා යළි විවෘත කරන ලෙස අවශ්‍ය නිර්දේශය ලබා දුනහොත් එය ලැබී පැය දෙකක් තුළ කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට අප සූදානම්.
ඒ වගේම ලෝකයේ කොවිඩ් - 19 නොමැති රටවල් 20ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. එම රටවල සංචාරකයන්ට අපි ප්‍රමුඛස්ථානය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ යළි විවෘත කිරීම පිළිබඳව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අදහස් දැක්වීය.
ලෝකයේ විවිධ රටවල තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 40,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තවදුරටත් පොරොත්තු ලේඛන තුළ රුඳී සිටිනවා. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ගත වන කාලය සලකා බැලූවිට, විදේශීය සංචාරකයන් මෙරටට ගෙන ඒමට කටයුතු කළහොත්, අපගේ ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීම අපහසු වී යනවා. හේතුව දිනකට සිදුකෙරෙන ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සීමිත නිසා, එම අවස්ථාව විදේශීය සංචාරකයන් වෙත ඇදීගොස්, ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම අඩපණ විය හැකියි.

අපි කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමට පෙර එසේ පැමිණෙන සංචාරකයන් කල් ඇතිව හඳුනාගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව එම සංචාරකයන් මෙරටට පැමිණීමට ඉල්ලීම කළ අවස්ථාවේ සිටම ඔවුන් පිළිබඳව සොයාබැලීම ආරම්භ කරනවා. මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ, රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, ඒ රටවල ගුවන් තොටුපළ, ශ්‍රී ලංකාව සමග සම්බන්ධ ගුවන් සමාගම් ආදී අංශයන් අප මේ සඳහා දායක කරගනු ලබනවා. ඒ අනුව එම සංචාරකයන් මෙරටට පැමිණීමට පෙරම ඔවුන් පිළිබඳව හොඳ අධ්‍යයනයක් සිදුකිරීමට අපට හැකි වෙනවා.

ඒ වගේම කටුනායක ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමට පෙර විෂබීජහරණය, රෝගීන් හඳුනාගැනීම, ගුවන් තොටුපළ තුළ අලුතෙන් ස්ථාපිත කර ඇති වෛද්‍ය රසායනාගාරය, හඳුනාගත් රෝගීන් යුහුසුළුව රෝහල් ගත කිරීමට අවශ්‍ය ගිලන් රථ සේවා ආදිය සකස් කිරීම සිදු කිරීමට නියමිතයි.

මේ පිළිබඳව ගුවන් තොටුපළ විවෘත කිරීමට සති තුනකට පෙර දෙස් - විදෙස් සියලු මාධ්‍ය කැඳවා කටුනායක ගුවන් තොටුපළ තුළදී විශේෂ මාධ්‍ය හමුවක් මේ මස අගදී කටුනායක ගුවන් තොටුපළ තුළ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවද ගුවන් තොටුපළ සභාපතිවරයා අනාවරණය කළේය.
ඒ අනුව බොහෝවිට ලබන අගෝස්තු මස මැද දිනයකදී හෝ අගෝස්තු මස අග දිනයක කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා යළි විවෘත කිරීම සිදුවිය හැකි බවද චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කටුනායක ටී.කේ.ජී. කපිල

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02