සිලෝන් ටී හෙවත් ශ්‍රී ලංකාව නිපදවන තේකොළ සඳහා විදෙස් රටවලින් ඇත්තේ දැඩි ඉල්ලුමකි. රසයෙන් හා ගුණාත්මකභාවයෙන් යුත් මෙකී තේකොළ නිෂ්පාදනයේ දී මහාපරිමාණ වතු සමාගම්වලට වඩා කුඩා තේවතු හිමියන්ගේ කැපවීම සුවිශේෂය. ලක්ෂ පහක් පමණ වන කුඩා තේවතු හිමියන්ගේ දලු කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල නියම කෙරෙන සූත්‍රයක් තේ කොමසාරිස්වරයා විසින් නිකුත් කොට තිබේ. එහෙත් ඇතැම් තේ කර්මාන්තශාලා වලින් එම නියමිත මුදල නොගෙවීම නිසා කුඩා තේවතු හිමියෝ ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
අමු තේදලු සපයන මහාපරිමාණ සමාගම් හෝ වතුහිමියන්ගේ ප්‍රමාණය 30% ක් පමණය. ඒ අනුව මෙරට අමු තේදලු සපයන බහුතරය වන කුඩා තේවතු හිමියන්ගේ ප්‍රමාණය 70% ක් පමණ වේ. තේ කොමසාරිස්වරයා විසින් හඳුන්වා දෙන ලද නව මිල සූත්‍රය හේතුවෙන් කුඩා තේවතු සංවර්ධන අධිකාරිය වෙත අමුදලු සපයන පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ගාල්ල, මාතර හා රත්නපුර ආදී ප්‍රදේශවල කුඩා තේවතු හිමියන්ගේ පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් කුඩා තේවතු සංවර්ධන අධිකාරිය වාර්තා කරයි. දුෂ්කරතා රුසක් හමුවේ අමුදලු සපයන කුඩා තේවතු හිමියන් ලක්ෂ පහක පමණ පිරිස මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
තේ කොමසාරිස්වරයාගේ මිල සූත්‍රය සකසා ඇත්තේ අමුදලු කිලෝග්‍රෑම් 100කින් තේකොළ කිලෝග්‍රෑම් 21.50 ක් ලැබෙන පදනම මතය. එම තේකොළවල මිලෙන් 68% ක් කුඩා තේවතු හිමියන්ටත්, 32% ක් කර්මාන්තශාලා හිමියන්ටත් ගෙවිය යුතු බව මෙකී සූත්‍රයේ සඳහන් වේ. එහෙත් කර්මාන්තශාලා හිමියන් පවසන්නේ අමුදලු කිලෝ 100කින් තේකොළ කිලෝ 20 ක් නිෂ්පාදනය කරන බවය. ඒ අනුව තමන් ගෙවීම සිදු කරන්නේ එම ප්‍රමාණය පදනම් කොටගෙන බවද ඔවුහු පවසති.
තේ කොමසාරිස්වරයාගේ නියමය අනුව තේකොළ කිලෝ 21.50ක ආදායම 4.88න් බෙදා 68%න් වැඩි කිරීම සිදු කරයි. එසේ ලැබෙන පිළිතුරු අගය තේකොළ කිලෝවක් සඳහා ගෙවන මුදලය. තේ කොමසාරිස්වරයාගේ සූත්‍රය අනුව එක් ප්‍රමාණයක් හා තේ කම්හල් පාර්ශ්වයෙන් ඊට අඩු ප්‍රමාණයක් දක්වා අඩු මුදලක් ගෙවීමට කටයුතු කිරීම නිසා කුඩා තේවතු හිමියෝ මෙම අර්බුදයට මැදිව සිටිති. මෙහිදී තේදලු කිලෝවකින් රුපියල් ගණනක පාඩුවක් විඳීමට කුඩා තේවතු හිමියන්ට සිදුව තිබේ. එහිදී ලක්ෂ පහකට අධික කුඩා තේවතු හිමියන් පාඩු ලබන පසුබිමක තේ කම්හල් හිමියන් හා ආයතන 300 ක් පමණ අසීමිතව ලාභ උපයමින් සිටියි. මෙම කම්හල් 300න් යම් සීමිත ප්‍රමාණයක පාලනාධිකාරිය මගින් කුඩා තේවතු හිමියන්ට තේ කොමසාරිස්වරයා මගින් නියම කළ මිල ගණන සාධාරණව ගෙවීමට කටයුතු කර තිබෙන බවද පැවසේ.
ලංකාවේ නිෂ්පාදනය කර විදේශ වෙත යවන සිලෝන් ටී වලින් 70% ක් නිෂ්පාදනය කෙරෙන්නේ කුඩා තේවතු හිමියන්ගේ දායකත්වයෙනි. ඔවුන් අතර ඉඩම් අක්කරය දෙක තුන වශයෙන් තේ වගා කරන පිරිස බහුලය. මෙසේ ලක්ෂ පහක් පමණ වන පිරිසගෙන් මිලට ගන්නා තේදලු සඳහා කම්හල් වෙතින් මුදල් ගෙවන්නේ මාසයකට පසුවය. කෙසේ නමුත් තේ කොමසාරිස්වරයාගේ නියමයට පිටින් ක්‍රියා කරන ඇතැම් තේ කම්හල් හිමියන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා කුඩා තේවතුහිමියෝ දැඩි සේ අසරණව සිටිති. කුඩා තේවතු හිමියන්ගෙන් යැපෙන තේ කම්හල් කුඩා තේවතු හිමියන්ව මෙසේ සූරාකෑම ගැටලුවකි.
කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ මණ්ඩල හා තේ පර්යේෂණ ආයතනය සමඟ කුඩා තේවතු හිමියෝ කටයුතු කරති. ඒ අනුව තේ කොමසාරිස්ගේ නියමය නිවැරදි බවත්, කම්හල් හිමියන්ගේ තර්කය බොරුවක් බවත් කුඩා තේවතුහිමියෝ පෙන්වා දෙති. ඉකුත් සමයේ දිගින් දිගටම කසළ තේ පිළිබඳ වාර්තා වූයේ සිදුකළ වැටලීම් ආශ්‍රයෙනි. විවිධ අපද්‍රව්‍ය හා රසායන යොදමින් සිදුකළ වංචාව අනුව එම අවස්ථා වැළකී ගිය කම්හල් හා ව්‍යාපාරිකයන් මෙසේ තේ කොමසාරිස්වරයාගේ නියමයට පිටින් කටයුතු කරන බව දැනගන්නට තිබේ.
තේ කොමසාරිස්වරයා මගින් නියම කළ මිල සූත්‍රය අනුව තේකොළ සඳහා අදාළ ගෙවීම් සිදු කිරීමට තේ කර්මාන්තශාලා හිමියන් කටයුතු කළ යුතුය. එවැන්නක් නොවන්නේ කර්මාන්තශාලා ඉතා සුළු ප්‍රමාණයකින් බවත්, සෙසු පිරිස් මිල සූත්‍රය මත ගෙවීම් කරන බවත් තේ මණ්ඩලයේ ඉහළ බලධාරීහු පෙන්වා දෙති. සාධාරණ තේ මිල තීරණය කරන තේ කොමසාරිස්වරයා ක්ෂේත්‍රයට අදාළ නියාමනයන් හා නීතිමය පියවර ගන්න බවද මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේ දී පියවර ගැනීමට නියමිත බවද, මෙහි මිල තීරණය කිරීමට කුඩා කර්මාන්තශාලා හිමියන්ට බලයක් ඇතැයි මවා පෙන්වීමට ගන්නා උත්සාහයක් පෙනෙන්නට තිබෙන බවද එය ඉතාම වැරදි ආදර්ශයක් බවද එම ප්‍රකාශකයා පැවසීය.
තේ නිෂ්පාදන ක්‍රියාවලිය පසුපස රාජ්‍ය ආයතන වන කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණ ආයතනය හා තේ මණ්ඩලය කටයුතු කරයි. මෙකී ආයතන සඳහා සිදුවන දේශපාලන අතපෙවීම් බහුලය. එබැවින් පරිපාලනයට අවශ්‍ය කටයුතු නියමාකාරයෙන් සිදු කිරීමට නොහැකිව තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර