2020 ජුලි 04 වන සෙනසුරාදා

ජාතික හා රාජ්‍ය උත්සවවලදී ලොකු කට්ටිය අසුන්ගන්න හැටි

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පැවැත්වෙන ජාතික හා රාජ්‍ය උත්සවවලදී ඒ සඳහා ආරාධනා කෙරෙන්නේ මෙරට සුවිශේෂී පුද්ගලන්ටය. එලෙස ආරාධනා කෙරෙන ප්‍රභූවරුන්ට ආසන පැනවීමේදී ප්‍රමුඛතා අනුපිළිවෙළක් තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව එම ක්‍රමවේදය පහත සඳහන් පරිදිය. 

සෑම ජාතික හා රාජ්‍ය උත්සවයකදී පූජ්‍ය හා පූජක පක්ෂයට සුදුසු ආචාරශීලී ප්‍රමුඛතාවක් ලබාදීමට පියවර ගැනේ. ප්‍රමුඛතා ලැයිස්තුවේ නොමැති කිසියම් නිලධාරියකු සඳහා අනුග්‍රහය දැක්වීමට ජනාධිපතිවරයාට තම අභිමතය අනුව කළ හැකිය.
උත්සව පීඨිකාවේ ප්‍රධාන අසුන පැනවෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා වෙනුවෙනි. ඉන්පසු (2) අගමැතිවරයා, (3) කථානායකවරයා හා (4) අග්‍රවිනිශ්චයකාරවරයා සඳහා අසුන් පැනවෙයි. ඉන්පසු (5) විපක්ෂනායක, කැබිනට් ඇමැතිවරු සහ ෆීල්ඩ් මාර්ෂල්වරයා සඳහා අසුන් වෙන් කෙරේ. 

එම පිරිසට පසු අසුන් පැනවෙන්නේ (6) පළාත් ආණ්ඩුකාරවරුන් සඳහාය. ඔවුහට පසුව (7) පළාත් ප්‍රධාන අමාත්‍යවරුනට සහ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා අසුන් පැනවේ. ඉන්පසු (8) නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය ඇමැතිවරුන්, කාරක සභා නියෝජ්‍ය සභාපති හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සඳහා ආසන වෙන් කෙරේ. 

ඔවුනට පසු ආසන පැනවෙන්නේ (9) මෙරට සේවය ආරම්භ කළ අනුපිළිවෙළ අනුව විදේශ තානාපතිවරැන් සහ මහකොමසාරිස්වරුනට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා සඳහාය..

(10) ඔවුන්ගෙන් පසු ව්‍යවස්ථාදායක සභා සාමාජිකයන්, (11) නීතිපති, (12) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, හා අභියාචනාධිකරණ සභාපතිවරයා, වෙනුවෙන්ද (13) අභියාචනාධිකරණ විනිසුරුවරුන්, (14) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, (15) පළාත් සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් සඳහාද, පළාත් විපක්ෂ නායකවරුන්, හා පළාත් සභා මන්ත්‍රිවරුන් සඳහාද ආසන පැනවේ.

(16) ජනාධිපති ලේකම්, (17) අගමැති ලේකම් සහ (18) කැබිනට් අමාත්‍ය ලේකම් (19) විගණකාධිපති සහ (20) මහ බැංකු අධිපතිවරයා ඉන්පසු අසුන් ගනිති. (21) කැබිනට් අමාත්‍ය ලේකම්වරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්, පාර්ලිමේන්තු මහලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) සහ ප්‍රධාන ලේකම්වරැන් ජනාධිපති උපදේශකවරුන්, මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්, ව්‍යවස්ථාදායක සභාවේ මහලේකම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සඳහා ආසන වෙන් කෙරේ.
ඔවුන්ගෙන් පසු (22) රාජ්‍ය ඇමතිවරුන්ගේ ලේකම්වරුන් සහ ජනාධිපති අතිරේක ලේකම්වරුන්ය. එම පිරිසට පසුව (23) ආරක්ෂක අංශ ප්‍රධානීන් (යුධ, නාවික, ගුවන්  හමුදා) සහ පොලිස්පතිවරයා සිටී.

(24) සොලිසිටර් ජනරාල්, මහාධිකරණ විනිසුරුවන්, (25) ශ්‍රී ලංකාවේ බාහිර මහකොමසාරිස්වරැන් සහ තානාපතිවරුන් සඳහා ආසන වෙන් කෙරේ.
(26) අගමැති අතිරේක ලේකම්වරුන් සහ ව්‍යවස්ථාවේ 41(බී) වගන්තිය ප්‍රකාර පිහිටුවන ලද කොමිෂන් සභා සාමාජිකයන්ද, ඉන් අනතුරුව, (27) 06/ 2006 එස් එල් 4-2006 චක්‍රලේඛයේ සඳහන් වැටුප් තලයට යටත් රාජ්‍ය නිලධාරීන්ද (28) අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරැන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් ලේකම්වරුන්ද අසුන් ගනිති.
(29) ප්‍රධාන සන්ධාන නිලධාරිවරයා අසුන් ගන්නේ ඉන් අනතුරුවය.

(30) එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතනයන්හි නියෝජිතයන්, කොළඹ ක්‍රමය කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානයන්හි ප්‍රධානීන්ද, (31) රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා  ඒ හා සමාන වෙනත් රාජ්‍ය නිලධාරින්ද, පළමු ශ්‍රේණියේ විදේශ සේවා නිලධාරින් සහ රාජ්‍ය ව්‍යවසාය අධ්‍යක්ෂ ඉන් අනතුරුව අසුන් ගනිති.

(32) වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සභාපතිවරුන්ද, (33) විදෙස් කොන්සල් ජනරාල්වරුන්, කොන්සල්වරුන් සහ වාණිජ කොමසාරිස්වරුන් ඉන් අනතුරුවද, (34) නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, උප නගරාධිපතිවරුන්, උප සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන් ඉන් අනතුරුවද අසුන් ගනිති.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02