2020 ජුනි 27 වන සෙනසුරාදා

රට කැළඹු කරැණාගේ හමුදා ඝාතන කතාව

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

අප රටේ පමණක් නොව, ලෝකයේ සෑම රටකම ප්‍රචණ්ඩ දේශපාලනයේ නිරත වූවන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි අවස්ථා තිබේ. ඒ අවස්ථාවල ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් මත පදනම්ව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත. නේපාලයේ මාවෝවාදීන්ගේ නායකයා වූ පුෂ්පකමල් දාල් හෙවත් ප්‍රචණ්ඩා එලෙස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස දෙවරක්ම එරට අගමැති ධුරයද හොබවා තිබේ.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක කරැණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් තමා යුද්ධ හමුදා සාමාජිකයන් ඝාතනය කළ බවට පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මාධ්‍ය වෙත පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයා කළ නියෝගයක් අනුව පරීක්ෂණය ආරම්භ කළ බවය.

ඒ අනුව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරැණා අම්මාන්හට ඔහු සිදුකළ එම අන්දෝලනාත්මක කථාව පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පසුගිය 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණද විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරැණා අම්මාන්’ සිය නීතිඥයන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් මේ වනවිටත් අම්පාර සහ මඩකලපුව ප්‍රදේශ වෙත පිටත්ව ගොස් තිබේ.

මේ කතාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි

ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි:

2007 වසරේදී අයි.සී.සී.පී.ආර්. කියලා පනතක් එනවා. ඉන් කියැවෙන්නේ මේ  රටේ ජනතාව අතර අසමගිය ඇතිවන ප්‍රකාශ නොකළ යුතුයි කියලා. කරැණා සිදුකර තිබෙන්නේ මියගිය හමුදා සාමාජිකයන්ගේ දෙමව්පියන්, ඔවුන්ගේ පවුලේ උදවිය, මේ වනවිට හමුදා සේවයේ නියුතු සමාජිකයන් ඇතුළු රටේ පොදු ජනතාවගේ හිත්වේදනා ඇතිවෙන ක්‍රියාවක්. මෙය දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇප ලබාදිය නොහැකි කරැණක් වෙනවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගනීවි කියලා. විනයාගමූර්ති මුරලිදරන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. සමාජ කැළඹීම් ඇති කිරීමට උත්සාහ දරමින් මැතිවරණය උදෙසා මෙවැනි වෛරී සහගත ප්‍රකාශ සිදුකිරීමට ඉඩ තැබිය යුතු නැහැ. ඉදිරියට එය සිදුවීම වැළැක්වීම අප සැමගේ වගකීමක්. ඒ නිසා අපි මේ පිළිබඳව පොලිස්පතිතුමා වෙත පැමිණිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රකාශය පිළිබඳව කිසියම් නීතිමය පියවරක් ගනී කියලා.

 ඔක්කොම කරුණාලා ඔය කතා කියන්නෙ ඡන්දෙ ගන්න

ජාතික ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස

කරැණා ඡන්දෙ ඉල්ලනවා, ජනාධිපතිගෙ දෑත් ශක්තිමත් කරන්න. කරුණා අම්පාරේ නැගෙනහිර ගිහින් කියන්නෙ මොනවද? එයාට ඡන්දෙ දෙන්න. එයා කොරෝනාවලට වඩා භයානකයි, එයා මැරැව අලිමංකඩදී හමුදාවේ 2000ක් 3000ක්. කිලිනොච්චියෙ දාස් ගාණක් මැරැව. හමුදාව මැරැව නිසා මට ඡන්දෙ දෙන්න කියනව. එයා ඒ ඡන්ද ටික අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙ දෑත් ශක්තිමත් කරනව. මෙහෙ ඉන්න කට්ටිය ඒ පත්කරපු ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න ඡන්දෙ ඉල්ලනවා. ඒ ගොල්ලො කියන්නෙ මොකක්ද? අපි තමයි කොටි මැරැවෙ... කොටි මරපු නිසා ඡන්දෙ දෙන්න. පුදුම වෙන්න එපා ඡන්දෙට කලින් සහින්දමර්දුවලට ගිහින් සහරාන් වෙනුවෙන් ස්මාරකයක් හදනව, ඒක නිසා අපට ඡන්දෙ දෙන්න කියල කිව්වත්. ඒකත් වෙන්න පුළුවන්.

මේ ආණ්ඩුව පෝෂණය කරන්නේ මෙහෙම අයද?

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ධුර අපේක්ෂක පී. හැරිසන්

අපේ මාතෘභූමිය ආරක්ෂා කිරීම සඳහා දිවිහිමියෙන් යුද්ධ කළ විරෝධාර රණවිරැවන් තුන්දහසක් තමන් ඇතුළු කොටි සාමාජිකයන් විසින් ඝාතනය කළ බවට කරැණා අම්මාන් විසින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඔහු දැනටමත් එම මිනීමැරැම් චෝදනාවල වගකීම භාර ගෙන තිබෙනවා. ඒ වගේම තවත් වීරෝධාර හමුදා නිලධාරීන් දහස් ගණනක් ඝාතනය කළා කියා ඔහු එළිපිටම කියා තිබෙනවා. මෙම ප‍්‍රකාශය කර තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපතිවරයෙක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙක්. මම ගෞරවනීය මහා සංඝරත්නයෙන් අහන්න කැමතියි, අරන්තලාව භික්ෂු ඝාතනයේදී අපේ ස්වාමින් වහන්සේලා අමු අමුවේම කපාකොටා මරා දමපු සහ යුද හමුදාවේ දෙතුන් දාහක් තමන් විසින් ඝාතනය කළා කියල පාපොච්චාරණය කරන කරැණා අම්මාන් සම්බන්ධයෙන් ගන්නා පියවර මොකක්ද කියල? එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරැණා අම්මාන් වහාම අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මෙහෙම අයවද මේ ආණ්ඩුව පෝෂණය කරන්නේ මෙවැනි ඝාතකයන් හවුල් කරගෙන ඊළඟ ආණ්ඩුව හැදීමට උත්සාහ කරන අයටත් ඉඩ තියන්න එපා.

මේ තොරතුර ඇත්තටම ජිනීවාවලට හොඳයි

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ඔහු වැරදි කර තිබෙනව නම් මේ වැරදි පිළිබද පරීෂාකොට කටයුතු සිදුකිරීම රජයේ වගකීමක්. සමාව ගැනීමක් සිදුකිරීමක් කරන්නත් රජයකට පුළුවන්. කරැණා අම්මාන්ගේ විවිධ සම්බන්ධකම් දේශපාලන අතීතයේ තිබුණ සම්බන්ධකම්වලට කරන ප්‍රකාශයන් සඳහා කිසිලෙසකින් අපිට වගකියන්න බැහැ. ඒකට අවශ්‍ය පරීක්ෂණ පවත්වා තොරතුරැ හෙලිදරව් කිරීම වටිනවා ඇත්තටම ජිනීවාවලට හොඳ දෙයක්. කරැණා අම්මාන් කියපු දේ අහගෙන ඉන්නව නම් ඒ රටවල ලංකාවට විරැද්ධව ඇඟිල්ල දික්කරන අය මෙම ප්‍රකාශයන් පිළිබඳ කටවචනයක්වත් අරින්නේ නැහැ. කරුණා අම්මාන් එම ප්‍රකාශය කරපු එකත් හොඳයි ජිනීවා රටවලට දැනගන්න. කොටි හමුදාවේ තිබුණ කුරිරැකම අමනුස්සකම කොහොම වෙතත් මේ පිළිබඳ නීතිමය කටයුතු සිදුවෙයි.

අපේ පක්ෂයේ අපේක්ෂකයෙක් නොවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරැණා අම්මාන් පොදුජන පෙරමුණේ සමාජිකයෙක් කියලා සමාජ මාධ්‍යවලත් මේ පිළිබඳ කිසිම සොයා බැලීමකින් තොරව ප්‍රකාශ කරනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාත් ඔහුගේ ට්විටර් ගිණුමේ මේ ගැන දක්වා තිබුණා. නමුත් මම පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා හැටියට මම ඉතා වගකීමෙන් පවසනවා විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරැණා අම්මාන් අපගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂයකු නෙවෙයි. මම දන්න තරමින් ඔහු ද්‍රවිඩ මහ සභාව කියන පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කය සඳහා තමයි ඉදිරිපත් වෙන්නේ. ඔහුගේ බිරිඳත් ස්වාධීන කණ්ඩායමකින් මඩකලපුවෙන් ඉදිරිපත් වෙනවා. නමුත් ඔවුන් පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන කට්ටියක් නෙවෙයි. පොදුජන පෙරමුණ ලබාගන්න යන ජයග්‍රණයට මඩගැසීමට විපක්ෂය කරනා වැඩපිළිවෙළක් ලෙස තමයි මම මෙය දකින්නේ.

ත්‍රස්තවාදී අතීතයෙන් ගැලවිලා වෙනස් වෙන්න කරුණාට අයිතියක් තිබෙනවා

ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ඕනෑම ත්‍රස්තවාදී අතීතයක් ඇති පුද්ගලයකුට එම අතීතයෙන් ගැලවිලා වෙනස්වීමේ අයිතියක් තිබෙනවා. නමුත් ත්‍රස්තවාදියකු ලෙස කටයුතු කළ සමයේ කරන ලද මිනීමැරැම් නැවතත් වටිනාකම් ලෙසින් මතුකිරීමට උත්සාහ දරනවා නම් එය වරදක්. කරැණා අම්මාන් මේ වෙලාවේ කරලා තියෙන්නේ එවැනි පහත් පෙළේ ක්‍රියාවක්. නමුත් කරැණා අම්මාන්ට වුණත් අයිතියක් තිබෙනවා ඒ ත්‍රස්තවාදී අතීතයෙන් ගැලවිලා වෙනස් වෙන්න. අද රහස් පොලිසිය ක්‍රියාකරලා තිබෙනවා ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගන්න. කණ්ඩායම් දෙකක් මේ වනවිටත් ඒ සඳහා පිටත්වෙලා ගොස් තිබෙනවා. කවුරැන් මොන දේශපාලන කඳවුරේ හිටියත් රටේ නීතියට අභියෝග කරන ප්‍රකාශ කරලා තියෙනව නම් නීතිය හමුවී පිළිතුරැ සැපයිය යුතුයි.

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය

කාර්තිව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියලා තියෙනවා,  කරැණා අම්මාන් කොරෝනාවට වඩා භයානකයි කියලා. එයා කියපු එක ඇත්ත. කොරෝනා ඇවිල්ලා මැරැණේ නව දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩදී 2000ක් 3000ක් විතර හමුදාව මරා දැමුවා. තේරෙනවා නේද? එයා කියපු එක.... කිලිනොච්චිවලත් කී දාහක්ද?

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරැණා අම්මාන් විසින් සිදුකළ මෙම ප්‍රකාශය මෙරට සියලුම විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය මඟින් පළකිරීමත් සමගම මෙරට ජාතික දේශපාලනය මෙන්ම සමාජය තුළද දැඩි ලෙස කතාබහට ලක්විය.

 

 සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02