2020 ජුනි 27 වන සෙනසුරාදා

රෑ එළිවෙනවිට මහ බැංකුව හැදු සහන ණය ක්‍රමයේ දෙපැත්ත

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැංකු ප්‍රධානීන් අතර පසුගිය ජූනි 16 වැනිදා පැවැති සාකච්ඡාවේදී බැංකු ප්‍රධානීන් ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබුණි. එයට හේතුවූයේ කෝවිඩ් වසංගතයෙන් හානියට පත්ව සිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා ස්වයංරුකියා ලාභීන්ට රජය ක්‍රියාත්මක කළ විශේෂ සහන පැකේජය බලාපොරොත්තු වූ පරිදි ප්‍රගතියක් නොදැක්වීමය. මෙය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන බලධරයා ශ්‍රී ලංකා මහ බැංකුව විය. රජය ක්ෂණිකව මේ සඳහා වෙන්කළ මුදල රුපියල් බිලියන 50කි. එම සහන තවදුරටත් පුළුල් කර 2020 මාර්තු 07 දා 2020 අංක 5 දරන දෙවැනි චක්‍රලේඛයක්ද නිකුත් කර තිබුණු අතර ඒ අනුව කෘෂිකර්මය සහ වෙළෙඳාම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් එයට ඇතුළු කර තිබිණි. මේ නියෝග වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කිරීමේදී ඒවාට සිදුවන අලාභ සියල්ල ප්‍රතිපූර්ණය කිරීමේ වගකීමද ශ්‍රී ලංකා මහ බැංකුව බාරගෙන තිබුණි.

එසේ වුවද සෙසු බැංකුවලට මෙම පුළුල් සහන ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව සහය නොදී ඇති බව මෙම සාකච්ඡාවේදී හෙළිවිය. මෙම චක්‍රලේඛය නිකුත්කර සතියක් ගතවීමට මත්තෙන් ලීසිං වාරික හා ණය වාරික ඔවුන්ගෙන් අයකරගෙන ඇති අතර, ක්‍රෙඩිට් කාඩ් හිඟද කැපී තිබූ බවට චෝදනා එල්ල වී තිබුණි. මෙහිදී වාණිජ බැංකු හා මූල්‍ය ආයතන පවසා සිටියේ රජයේ නියෝග ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොදෙන බවටය. මහ බැංකුව මේ සඳහා වාණිජ බැංකුවලට මුලින් නිකුත් කළ රුපියල් බිලියන 50 බිලියන 150 දක්වා යළි වැඩිකර තිබුණද ඉන් ප්‍රයෝජන ගෙන නොමැති බවද හෙළිවිය.

ආණ්ඩුවේ යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම් ආර්ථිකය නැංවීමේ වෙනත් යෝජනා මොනවාදැයි ජනපති විමසූ අවස්ථාවේදී බැංකු ප්‍රධානීන්ගෙන් පිළිතුරක් නොලැබුණි.

ආණ්ඩුවේ සහන පැකේජයේ තවත් කොටසක් වූයේ මෙතෙක් රජයේ ඉදිකිරීම් කර මුදල් නොලැබුණු අයට පසුගිය අවුරුදු පහ තුළ කරන ලද ඉදිකිරීම් ඇපයට තබා සහන ණය නිකුත් කිරීමය. එයට හේතුව පසුගිය ආණ්ඩු සමයේ කර ඇති වැඩවලට ගෙවීමට ඇති බිල්පත් නොගෙවීම නිසා අමාරැවේ වැටී ඇති කොන්ත්‍රාත්කරුවන්ට සහනදීමේ අවශ්‍යතාව විය.

ඊට පසුදින ජනාධිපතිවරයා ලංකා බැංකු ප්‍රධානීන්ද කැඳවා සාකච්ඡා කර ඇති අතර එහිදීද හෙතෙම පවසා සිටියේ ජනතාව තමාට දී ඇති බලය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන අතර යම් පාර්ශ්වයක් එයට බාධා කරන්නේ නම් ඒ අය ඉවත් කර සුදුසු අය පත් කිරීමට නොපසුබට වන බවය. ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන්ට අවශ්‍ය සහන සැලසීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගතයුතු අතර උද්ගතව ඇති තත්ත්වයට මුහුණදීම සඳහා පැරැණි රටාවෙන් බැහැරව අලුතින් සිතිය යුතු තැනට පත්ව ඇතැයිද පවසා ඇත.

කෙසේ වුවද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවට සහ රාජ්‍ය බැංකුවලට දැඩිව කරුණු අවධාරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුව එදින සිට රාත්‍රියේ පවා එක දිගට රාජකාරි කර මාස තුනකින් නොකළ වැඩ දින දෙක තුනකින් ඉටුකළ බව ප්‍රකාශයට පත්විය. මේ අනුව නිද්‍රාශීලී ලෙස සිටි ඇතැම් බැංකු බලධරයන් වහා අවදි වී මෙම සහන ණය ප්‍රදානය කිරීමේ මුල් පියවර දින දෙක තුනක් තුළ නිමකළ බව දැනගන්නට ලැබුණි.

අනතුරුව පසුගිය 24 බදාදා ණය නිකුත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුව දෙවැනි වරට නිවේදනයක් නිකුත් කළ අතර එදින වනවිට ණය ඉල්ලුම් පත්‍ර 13,861ක් බැංකුව අනුමත කර ඇති බව ප්‍රකාශයට පත් කෙරුණි. සෞභාග්‍ය කොවිඩ් 19 සහන ණය ගෙවීමේ යෝජනා ක්‍රමයේ ප්‍රථම පියවර ලෙස මේ සඳහා රුපියල් බිලියන 27.9ක් වැයකර ඇති අතර 2020 ජූනි 24 දින වනවිට බලපත්‍රලාභී වාණිජ බැංකු ඉන් රැපියල් බිලියන 14.8ක් 7224ක ව්‍යාපෘති සඳහා බෙදාදී ඇති බවද නිවේදනය කෙරැණි. මාස 6ක සහන කාලයක් යටතේ සියයට 4ක වාර්ෂික පොලියකට නිකුත් කරන මෙම ණය ගෙවීම සඳහා මාස 24ක කාලයක් ලැබේ.

මෙහි දෙවැනි පියවර ලෙස වැඩිදුරටත් තවත් රුපියල් බිලියන 120ක් සියයට 01ක පොලියට වාණිජ බැංකුවලට මුදාහැරීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව කියයි.

කෙසේ වුවද මේසා විශාල මුදලක් මෙම යෝජනා ක්‍රමය සඳහා මුදාහැරීමට රජයට හැකියාවක් නොමැති අතර පසුගිය සමයේ ආදායම් එකතු කිරීම අකර්මණ්‍යව තිබීම සහ බදු ගෙවීම සිදුනොවීම නිසා එදිනෙදා වියදම් පිරිමසා ගැනීමටද දුෂ්කරව තිබෙන බව වාර්තා විය. ඒ හේතුවෙන් මෙම මුදල් සපයා ගැනීම සඳහා සාමාන්‍ය ක්‍රියා පිළිවෙළින් බැහැරට ගොස් මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුව මේ වනවිට පෙළඹී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ උද්ධමනය ඉහළ ගොස් බඩුමිල වැඩිවී ජනතාවට ඉදිරියේදී ඉතා දුෂ්කර වාතාවරණයක් උද්ගත වනු ඇති බවට ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ මේ වනවිට අනතුරු හඟවති.

• බැංකු සම්ප්‍රදායට පිටින් ගිය ක්‍රමයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් වාණිජ බැංකුවලට මුදල් සැපයීම පිළිබඳ තීරණ ගත යුතුව තිබියදී ජනාධිපතිවරයාගේ බලපෑම මත තීරණ ගැනීමට සිදුවීම නරක පූර්වාදර්ශයක් විය හැකි බවයි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපතිවරයා කළ සාකච්ඡාවේදී ඔහු කේන්ති මුහුණකින් යුතුව කතාකරනු දුටුවා. එයට හේතුව මෙයට පෙර මහ බැංකුවට ණය නිකුත් කිරීම පිළිබඳ දුන් උපදෙස් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ අනාවරණය වීමයි. මෙම සාකච්ඡාවට මූල්‍ය කටයුතු පිළිබඳ නීත්‍යානුකූලව වගකිවයුතු මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී වූවාද යන්න පැහැදිලි නැහැ. මෙහිදී යම් ප්‍රමාදයක් සිදුවූවා නම් නීතියෙන් වගකිවයුත්තේ ඒ අයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.

විද්වත් ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය වන මුදල් මණ්ඩලය මෙම සාකච්ඡාවෙන් පසු ඔවුන් නොකළ යුතු දේ කළ බවයි පෙනෙන්නට තිබෙන්නේ. 19 වැනි සියවසේ සිටි ප්‍රකට ප්‍රංශ ආර්ථිකවේදියෙක් වන ෆ්‍රෙඩ්රික් බැස්ටියට් (Frederic Bastiat) කියා ඇත්තේ දැනට පවතින තත්ත්වය මත පදනම් වෙමින් අනාගතයේ පැවතිය හැකි තත්ත්වය පිළිබඳ පදනම් නොවී සැකසෙන ඕනෑම ප්‍රතිපත්තියක් නරක ප්‍රතිපත්තියක් වන බවයි. මෙම අදහස අදටද වලංගුයි.

මෙම සාකච්ඡාවලදී තීරණය වූයේ සාමාන්‍ය සම්ප්‍රදායන්ට පිටින් ගොස් බිලියන 115ක් දක්වා වැඩිපුර ද්‍රවශීලතාවක් වාණිජ බැංකුවලට පොම්ප කිරීමටයි. මෙහිදී මහ බැංකුව සතුව තිබිය යුතු සියයට 4ක් වූ සංචිත අනුපාතය සියයට 2 දක්වා පහළ බැසීමක් සිදු කෙරෙයි. (Standing Deposit facility) සෑම වාණිජ බැංකුවක්ම විශේෂ තැන්පතුවක් මහ බැංකුව සමග තබාගත යුතුයි. ඒ අනුව ගනුදෙනුකරුවන්ගෙන් රුපියල් 100ක තැන්පතුවක් ලබනවා නම් එයින් රුපියල් 4ක් මහ බැංකුවේ තබන අතර එම මුදල කිසිදු විටෙක ආයෝජනය නොකෙරේ. දැන් අලුත් ක්‍රමය අනුව තබාගත හැක්කේ 2%ක් වීම ගැටලුවකි.

මෙහිදී ගත් තවත් තීරණයක් වූයේ කෝවිඩ් වසංගතය නිසා අමාරැවේ වැටුණු ව්‍යාපාරික ප්‍රජාව සඳහා විශේෂ ණය සහනය වූ බිලියන 50ට තවත් 100ක් දමා 150 දක්වා ඉහළ නැංවීමටයි. මෙහිදී මුදල් මණ්ඩලයට සිදුව තිබෙනවා ආණ්ඩුව කියන පරිදි බිලියන 150ක අරමුදලක් තනන්නට. මෙය හරියට ළදරැවකුගේ බර දරා සිටින ගැබිණි කතකගේ කුසයට තවත් දරුවෙක් බාහිරව පිටින් එල්ලී සිටීම වැනි දෙයක්. එක් බරක් දරාගන්න බැරිව සිටියදී තවත් බරක් දීමක්.

මෙම ද්‍රවශීලතාව ඇති කිරීම සඳහා අවශ්‍ය මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට සිදුව තිබෙනවා. දැනට මහ බැංකුව සතුව ඇති රැපියල් බිලියන 41ට අඩු මුදල මුද්‍රණය කරනවා ඇති.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආණ්ඩුව කියන දේවලට මෙහිදී එකඟ වී ඇත්තේ ජනාධිපතිතුමාගේ උපදෙස්වලට ගරැ කිරීමක් වශයෙන් මිස නිසි කළමනාකාරීත්වයකින් නොවෙයි. මේ වාතාවරණය තුළ මේසා විශාල මුදලක් යෙදවිය යුතු වන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලින් නොවේ. මෙය රජයේ අයවැය ලේඛනයට පරිබාහිරව කරන දෙයක්. මේ ප්‍රතිපාදන ලබාගත හැකි ක්‍රමයක් අයවැය තුළ නැහැ. මෙහිදී වාණිජ බැංකුවලට සියයට 1 පොලියට මහ බැංකුවෙන් ලබාගන්නා මුදල් සියයට 4 පොලියට දීලා ලැබෙන සියයට 3 වෙනස පරිපාලන වැය පිරිමසා ගැනීමට යෙදිය යුතුව තිබෙනවා. මෙයින් වාණිජ බැංකුවලට ලාභයක් ලැබෙන්නේ නැහැ. බැංකුවලට වන යහපතක් නැහැ.

• දේශපාලන බලය යොදන්න පුළුවන්

වසන්ත අතුකෝරාල - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය

කඩාවැටුණු ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා මෙලෙස අඩු පොලියට ණය දෙන්නේ එම අංශ යළි නැගිට ඉදිරියට යාමට අවශ්‍ය සානුබලයක් ලෙසටයි. එසේ නොමැතිව මෙයින් රටේ ආර්ථිකයට විශාල යහපතක් සිදුවන්නේ නැහැ. එය ඒ ආයතන නොවසා කරගෙන යාමට ලැබෙන පිටුබලයක් පමණයි. මෙය ක්ෂණික සහනයක් මිස දිගටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථික අංශ අඩංලව තිබෙන වකවානුවක් තමා මෙය. මේ තත්ත්වය අපට පමණක් නොව ලොව බොහෝ රටවලටද අහිතකරව බලපෑවා. ලොව බොහෝ රටවල් ව්‍යවසායකයන්ට මෙවැනි සහන දුන්නා. ඒ නිසා අපට නිකං බලා ඉන්න බැහැ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රටේ ආර්ථිකයට යම් කොටස්කරුවන් වන බව ඇත්තයි. ඉතින් ඔවුන් අකර්මණ්‍ය වුණොත් එය රටේ ආර්ථිකයටද බලපානවා. ඒ නිසා අමාරැවෙන් දුවන අංශ තවදුරටත් රඳවා ගැනීම අවශ්‍ය වෙනවා.

කිසිම රජයකට මෙවැනි සහන දිගටම දෙන්න බැහැ. ඒවා පාවිච්චි කරලා ඒ අය දියුණු වන්නට ඕනෑ. මෙලෙස අඩු පොලියට දෙන මුදල් නිසි ලෙස ආයෝජනය නොකර නාස්ති කළහොත් එයින් එම ව්‍යවසායකයන්ට මෙන්ම රටටද වෙන්නේ අයහපතක්. අපේ රටේ මෙතෙක් ලැබූ අත්දැකීම් අනුව නම් මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනය ගන්නේ නියම ව්‍යවසායකයන් නොව දේශපාලන සම්බන්ධතා ඇති පිරිස්, ඔවුන් තම දේශපාලන බලය පාවිච්චි කරලා මෙම මුදල් ව්‍යාජ ලෙස ලබාගෙන වෙනත් කාර්යයන්වලට යොදවනවා. ඒ නිසා මේවා නිකුත් කිරීමේදී සැලකිලිමත් විය යුතුයි නියමිත අයට නිවැරදි ලෙස ලැබෙන්නට. විශේෂයෙන් සියයට 3-4 වගේ සහන පොලියට දෙන මුදල්වලට නිසි සුරුකුම් ලබාගන්නේ නැහැ. විවිධ බලපෑම් මතයි මෙය සිදුවන්නේ. එවිට නිකුත් කළ මුදල් පිළිබඳ වගකීමක් නැතිවෙනවා. ආපසු අයකර ගැනීමට විවිධ දුෂ්කරතා මතුවිය හැකියි. එවිට බැංකුද අමාරුවේ වැටෙනවා.

• දුන් ණය අයකර ගැනීම බැංකුවල වගකීමක්

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක

ගනුදෙනුකරුවන්ට ණය නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු එක්තරා නීති පද්ධතියකට අවනත විය යුතුයි. එයට පිටින් යාමට බැහැ. නිවැරදි ඉල්ලුම්කරු තෝරාගෙන ණය නුදුන්නොත් සමස්ත බැංකු පද්ධතියටම හානියක් වෙනවා. බැංකුවල ඇත්තේ ජනතාවගේ මුදල්. මෙම අනුන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීම එහි වගකීමක්. ඒ නිසා කඩිමුඩියේ මෙය කළ හැකි නොවෙයි.

ණය නිකුත් කිරීමට සුරැකුම් තැබීම අවශ්‍යයි. එම සුරුකුම් තැබීම පිළිබඳ නිර්නායක තිබෙනවා. ඒවාට අනුගත විය යුතුයි. ජාත්‍යන්තර බැංකු පද්ධතියට අපේ බැංකු බැඳී සිටිනවා. ඒ සම්මුතියට පිටින් යා නොහැකියි. බර තැබූ වත්කම් මත ණය අනුපාතය තීරණය වෙයි. ආණ්ඩුව බලාපොරොත්තු වන විදියට ණය නිකුත් කිරීම වේගවත් කිරීමට නම් දැනට ඇති සුරුකුම් තැබීමේ ක්‍රමය ලිහිල් කළ යුතු වෙනවා. එවැනි යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. ප්‍රමාදය සිද්ධ වෙන්නේ මෙවැනි අඩුපාඩු නිසයි.

නිවැරදි අයටම ණය දිය යුතු වෙනවා. කොවිඩ් වසංගතය නිසා ඇත්තටම හානි වූ අය තෝරාගත යුතුයි. ඒ එසේම මෙයට පෙර ණය ලබාගෙන නිසි පරිදි ණය නොගෙවූ අය ඉන්නවා. කිසිම සුදුසුකමක් නැතිව දේශපාලන බලය පෙන්වා ණය ලබාගන්න උත්සාහ කරන අයද සිටිනවා. ඒ නිසා නිසි අය තෝරාගෙන ණය නිකුත් කළයුතු වෙනවා. නැතිනම් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ණය අනුමත කළයුතුයි.

 යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02