2020 ජුනි 27 වන සෙනසුරාදා

ලෝක කුසලානය වික්ක කතාව ජාත්‍යන්තර මාධ්‍ය දකින හැටි

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

2011 වසරේ ඉන්දියාව සමඟ පැවැති ලෝක ක්‍රිකට් කුසලාන අවසන් මහා තරගය මුදලට පාවාදුන් බවට එවකට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශය දෙබරයකට ගල්ගැසුවාක් බඳු විය. එම ප්‍රකාශයෙන්  අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට තරග පාවාදුන් බවට චෝදනා ඉදිරිපත් නොවුවද අවසාන තරගයේ ක්‍රීඩකයන් සිව් දෙනකු මාරැ කිරීම ප්‍රශ්නකාරී බව ඔහු සඳහන් කර තිබිණි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇතැයිද පැවසේ. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයද පියවර ගෙන තිබේ.

2011 ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ කුමාර් සංගක්කාරය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ සතුව ඇති සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා එහි දූෂණ මර්දන ඒකකය වෙත ලබා දිය යුතු වන බවටය. එවිට ඒ සම්බන්ධයෙන් නිවැරුදි විමර්ශනයක් කළ හැකි බැව් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. එම තරගයට සහභාගී වූ මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ මැතිවරණය ළඟ එන විට ජෝකර්ලා වැඩ පටන් අරන් යනුවෙනි. මෙම චෝදනාවට අදාළ සාක්ෂි හෝ ක්‍රීඩකයන්ගේ නම් කෝ? යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර තිබේ.  ලෝක කුසලාන තරගය අවසන්වී වසර නවයකට පසුව මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසට හිටපු ශ්‍රී ලංකා නායක අරවින්ද ද සිල්වා ඉන්දීය රජයෙන්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. ඒ සඳහා සහය වීම සඳහා තමා ඉන්දියාවට යෑමට පවා සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය විදේශ පුවත්පත් හා වෙබ් අඩවිවලද පළවී තිබේ. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවාදුන් බවට වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි The Indian Express පුවත්පත වාර්තා කර තිබිණි. “2011 අවසන් තරගය මුදලට පාවා දී තිබේ. මම එය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන අතර විවාදයකට ඉදිරිපත් වීමට මට හැකිය. මම මේ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ නොකරමි. කෙසේ වෙතත්, ඇතැම් පිරිස් අනිවාර්යයෙන්ම මෙම කාර්යයට සම්බන්ධ වී සිටිති. මගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මම පෙනී සිටිමි. එය සිදුවූයේ මා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සිටියදීය. රටේ කීර්තිනාමය රැකගත යුතු හෙයින් තොරතුරැ හෙළිදරව් කිරීමට මා කැමති නැත. 2011 දී ඉන්දියාවට එරෙහි තරගය, අපට ජයග්‍රහණය කළ හැකි තරගයක් වුවද අපි එය වික්කා යනුවෙන් අමාත්‍යවරයා පැවසූ බව එම පුවත්පත වාර්තා කොට තිබිණි.

Republicworld.com වෙබ් අඩවිය මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ මෙලෙසිනි. 2011 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳව ඉදිරිපත්වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වේ. තරග පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමතිවරයා චෝදනා කර ඇති අතර එම තරගය ඉන්දියාවට විකුණා ඇති බවටද චෝදනා කර තිබේ. 2011 දී පැවති ලෝක කුසලානය ඉන්දියාව ජයගත්තේ කඩුලු 6 කින් ශ්‍රී ලංකාව පරාජය කරමිනි. ශ්‍රී ලංකා ප්‍රවෘත්ති ඒජන්සි වාර්තාවට අනුව, එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සුදුසු කරුණු පවතීද යන්න සොයා බැලීම සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගන්නා බව සඳහන් කර තිබේ. යැයි එහි සඳහන්ය.

ක්‍රීඩා නීති හා ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ඔන්ලයින් සම්මන්ත්‍රණයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශන සම්බන්ධීකාරක ස්ටීවන් රිචඩ්සන් ප්‍රකාශ කර ඇත්තේ  ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා  කළ හැකි වඩාත්ම ඵලදායී ක්‍රියාව වන්නේ තරග පාවාදීම වැළැක්වීම සඳහා දැඩි නීති සම්පාදනය කිරීම බවටය. පාලක මණ්ඩලවලට ක්‍රීඩකයන් පාලනය කළ හැකි වුවද මෙම වංචාවලට සම්බන්ධ සැබෑ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති බව ඔහු සඳහන් කර තිබේ. 

තරග පාවාදීම් සම්බන්ධයෙන්  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සිදුකරන විමර්ශන අතරින් බහුතරය ඉන්දියාවට සම්බන්ධ බව පැවසේ. තරග පාවාදීම සඳහා ක්‍රීඩකයන් බිලිබා ගන්නා පුද්ගලයන්ගේ නම් අටක් පමණ ඉන්දීය පොලිසියට හෝ ඉන්දීය රජයට  ලබා දිය හැකි වුවද ඒ සඳහා ඉන්දීය නීතියේ පවතින හිඩැස් නිසා පොලිසියට කළ හැක්කේ ඉතා සීමිත කාර්යයක් බවද ඔහු කියා තිබේ. ඔවුන් විවිධ නීති සම්පාදනය කිරීමට පියවර ගන්නා නමුදු ක්‍රීඩාවේ සිදුවන දූෂණ මැඬලීම සඳහා එම නීතිරීති ප්‍රමාණවත් නොවේ. එහෙයින් ඒ සඳහා විශේෂිත වූ නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පවතී යනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශන සම්බන්ධීකාරක ස්ටීවන් රිචඩ්සන් ප්‍රකාශ කළ බව Sportsstar වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව සොයා බැලීමට අයි.සී.සී.ය පියවර ගන්නා බව  The Cricket Times වෙබ් අඩවියද වාර්තා කරයි.. එවක ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා විසින් කරන ලද 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව සොයා බලන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ප්‍රකාශ කර තිබේ. මුම්බායිහි වන්කෙඩේ ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරඟයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වැදුණේ සත්කාරක ඉන්දියානු කණ්ඩායම සමඟිනි.  නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ණ වටයට සුදුසුකම් ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනකු අවසන් තරගයට පෙර වෙනස් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබිණි. ඒ අනුව ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට තිසර පෙරේරාද, අජන්ත මෙන්ඩිස්, චාමර සිල්වා සහ රංගන හේරත් වෙනුවට සුරාජ් රන්දිව්, චාමර කපුගෙදර හා නුවන් කුලසේකර කණ්ඩායමට එක් කර තිබිණි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ක්‍රිකට් පරිපාලනයට දන්වා නොතිබිණි. යනුවෙන් එහි සඳහන්ය.

හිටපු ලංකා පිතිකරු අරවින්ද ද සිල්වා, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මුසාවන් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි යනුවෙන් India Today වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 

1996 ඕස්ට්‍රේලියාවට එරෙහි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී තරග ජයග්‍රාහී ශතකයක් ලබාගත් අරවින්ද ද සිල්වා, &මිනිසුන්ට සාවද්‍ය ප්‍රකාශ කිරීමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශ කළ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය රජයෙන් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්  ඉල්ලා සිටී. 2011 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සාමාජිකයකු වූ අරවින්ද ද සිල්වා හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් කියා සිටියේ අලුත්ගමගේ විශ්වාසනීයත්වයක් නැති පුද්ගලයෙක් බවත් ඔහු බොරු චෝදනා කරන බවත්ය. "මේ සියල්ල පිළිගත නොහැකි චෝදනා. ඔහුට යම් සැකයක් ඇත්නම් ඔහු අයිසීසීය වෙත යා යුතුව තිබුණා. කීර්තියක් හෝ විශ්වසනීයත්වයක් නැති මිනිසෙක් එම ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා. ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට මම සූදානම්. නමුත් මෙම බොරැකාරයන්ට නිදහස් වීමට ඉඩ නොදිය යුතුයි. ඔහු අප අසීරුවෙන් ගොඩනගාගත් කීර්තිනාමය විනාශ කරන්න හදනවා යනුවෙන් ප්‍රකාශ කළ බැව් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02