
අනූජ් පූජිත ගුණවර්ධන... අම්පාරේ දුෂ්කර ගම්මානයක උපත ලද තරුණයෙකි. ශ්‍රී ලාංකිකයකු ලෙසින් හමුදා නිල ඇඳුමට ඇළුම් කළ අනූජ් හමුදා සේවයට එක්වන්නට දැරූ උත්සාහය නිෂ්ඵල වුවද අද ඔහු සේවය කරනු ලබන්නේ අමෙරිකානු හමුදාවටය. අමෙරිකානු හමුදාවේ වඩාත්ම බලගතු ප්‍රහාරක යානයක් වුණු “අපාචි AH64D/E” යානය පිළිබඳ ඔහු හසල දැනුමක් ඇති කාර්මික නිලධාරියෙකි. අම්පාරේ ඉපදුණු අනූජ්ගේ ජීවිතය අද නතරව ඇත්තේ ඔහු කිසිමදාක යන්නට බලාපොරොත්තු නොවුණු ඉසව්වකටය. ඒ ගමන හරි අපූරුය. නමුත් බාධක බොහෝය. හිත රිදුණු තැන් බොහෝය. අනූජ් අද ජීවිතය දිනූ තරුණ ශ්‍රී ලාංකිකයෙකි.
අනූජ් මෙලොවට බිහිවූයේ අම්පාර ප්‍රදේශයෙනි. පවුලේ වැඩිමලා වුණු අනූජ්ට බාල සහෝදරියන් තිදෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටිති. අම්පාර ගාමිණී මහ විදුහල අනූජ්ගේ ළමා කාලය ගෙවුණු අපූරු පාසල් භූමිය විය. අනූජ්ට හරි සුන්දර ළමා කාලයක් විය. පොතපතටම යොමුවුණු ළමා කාලයක් ඔහුට නොවීය.
“මගේ ජීවිතේ ලස්සනම කාලේ ඒ ළමා කාලය තමයි. කිසිමදාක අපේ අම්මා තාත්තා පාඩම් කරන්න කියලා අපිට බල කළේ නැහැ. අපිට ඇතිතරම් නිදහසක් තිබුණා. දඟ වැඩ කරලා අම්මගෙන් ගුටිකාපු දවසක් මගේ ජීවිතේ තිබුණා. හැබැයි ඒ දඟ වැඩ වගේම ඉගෙනගන්න එකත් මම හරියටම කළා.” සිය සුන්දර ළමා කාලය ගැන මතකය දේශය පිටු අතරට ඔහු එක්කළේ එලෙසිනි.
අම්පාරේ ගෙවුණු ඒ සුන්දර ළමා කාලය අනූජ්ට කිසිමදාක අමතක නොවන්නකි. වැහි කාලයේදී තවත් කොලු නඩයක් හා අනූජ් වෙල්යායේ ඇතිපදමට සෙල්ලම් කළහ. ඔහු වැව්වල නෑවේය. ඔවුන් වැඩි කාලයක් ගතකළේ ගස් උඩය. ඔවුහු ඇතිතරමට පළතුරු කෑහ. සරුංගල් කාලයට ඔවුහු වෙලට ගොස් සරුංගල් යැවූහ. තම යාළුවන්ගේ සරුංගල්වලට ගල්කැට විසිකොට සරුංගල් ඉරීම ඔවුන්ගේ විනෝදාංශය විය. ඇළවල්වල, වැව්වල ගෙදරට හොරා නාන්නට ගිය අනූජ්ට කිහිප වතාවකදීම තම මවගෙන් ඉරටුපාර ලැබුණි. වර්තමානයේදී බොහෝ දරුවන්ට නැති හරි අපූරු ළමා කාලයක් වර්තමානයේ අමෙරිකාවේ ජීවත්වන අනූජ්ට ලැබුණි.
අනූජ් කුඩා කල සිටම හමුදා නිලඇඳුමට ඇළුම් කළේය. කවදා හෝ දවසක හමුදා නිලධාරියකු වීමේ හීනය අනූජ්ට විය. ඔහු කුඩා කලදී යාළුවන් සමඟ ගල් උඩ නැග සෙල්ලම් බංකර් දැම්මේය. ඔවුහු තුවක්කු වෙනුවට උණබට යොදාගත්හ. ඒ හැම සෙල්ලමකදීම අනූජ් තම පිල ජයග්‍රහණය කර දෙන්නට උර දුන්නේය. ඒ නිසාම දවසක සැබෑ හමුදා නිලඇඳුමක් අඳින්නට අනූජ් හීන ඇහින්දේය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ හැදෑරූ අනූජ් උසස්පෙළ අධ්‍යාපනයට කොළඹ අශෝක විද්‍යාලයට ඇතුළත් විය. ඊට පෙර ද කොළඹ පාසලකට එන්නට අවස්ථාවක් ලැබුණද, පාසලේ දක්ෂ ශිෂ්‍යයකු වූ අනූජ්ට අස්වීමේ ලිපිය ලබාදෙන්නට අම්පාර ගාමිණී විදුහලේ විදුහල්පතිනිය අකැමැති විය. ඒ නිසාම සාමාන්‍ය පෙළ තෙක් එහි ඉගෙනගත් අනූජ් උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලබන්නට කොළඹ අශෝක විද්‍යාලයට ඇතුළත් විය.

“අශෝක විද්‍යාලය තමයි මගේ ජීවිතේ හදපු තැන වුණේ. පාසලේදී විෂය බාහිර ක්‍රියාකාරකම් බොහොමයක් කළා. ගාමිණී විද්‍යාලයේ මම හැම වාරයේදීම පන්තියේ පළවැනියා වුණා. ඒ නිසා මට ඒ පාසලේ තරගයක් තිබුණේ නෑ. නමුත් කොළඹ ආවට පස්සෙ මට තරගයක් තිබුණා. මම ඒ තරගයට එකතු වුණා. අම්පාරේ දුෂ්කර ගමකින් ආපු මම අශෝක විද්‍යාලයේදී පන්තියේ හයවැනියා වුණා. ඒ තරගකාරී රටාවට මමත් හැඩගැහුණා. මම තරගවලට සහභාගි වුණා. ඒවායින් ජයග්‍රහණය ලැබුවා. අශෝක විද්‍යාලයේ ගුරුවරු මට ගොඩක් උදව් කළා. ඔවුන් ඇත්තටම දෙවිවරුන්.” අනූජ් පවසයි.
උසස් පෙළ විභාගයෙන් අනූජ් බී සාමාර්ථ දෙකක් සහ සී සාමාර්ථයක් සමඟ විභාගය සමත් විය. මේ කාලයේදී අනූජ්ට ජීවිතයේ හැලහැප්පීම් කිහිපයකට මුහුණ දෙන්නට සිදුවිය. අනූජ්ගේ පියා ඔවුන්ගේ ජීවිත වලින් වෙන්වන්නේ ඔහුගේ වයස අවුරුදු 19දීය. එතැන් සිට පවුලේ වැඩිමහල් දරුවා ලෙස අනූජ්ගේ කර මත විශාල බරක් පැටවුණි. මේ නිසා නැවත වරක් උසස් පෙළ කරන්නට අනූජ් උත්සාහ නොකළේය. නමුත් ඔහු බාහිර ඉගෙනීමේ කටයුතු ඔස්සේ ගොස් කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් බාහිර උපාධි ඩිප්ලෝමාව ද අවසන් කළේය.
“තාත්තා අපිව දාලා යද්දී පවුලේ වගකීම මට දරන්න සිදු වුණා. මගේ නංගිලා තුන්දෙනයි මල්ලියි ඒ වෙද්දී පොඩියි. තනි ගෑනියෙක් විදිහට අම්මට මේ බර තනියම දරන්න අමාරුයි. ඒ නිසා මගේ ඉගෙනීම අතහැරලා මම රස්සාවක් කරන්න මහන්සි ගත්තා. ඉගෙනගන්න ආස වුණාට මට හැමදේටම වඩා මගේ පවුල ගොඩක් වටිනවා. ඒ නිසා ඉගෙනීම අතහැරලා මම රස්සාවල් කරන්න පටන් ගත්තා.” අනූජ් පවසන්නේ එලෙසිනි.
අනූජ්ගේ මුල්ම රැකියාව වූයේ පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවක නිවේදකයකු ලෙස කටයුතු කිරීමය. මාස කිහිපයක් යනතුරුම අනූජ්ට එම ආයතනයෙන් කිසිදු වැටුපක් නොලැබුණි. ඒ පුහුණු නිවේදකයකු ලෙස කටයුතු කළ නිසාවෙනි. නිවෙසින් බස්රථයට යාමට ඒමට ලබාදෙන රුපියල් දහයට අමතරව අනූජ්ගේ මුදල් පසුම්බියේ එකදු මුදලක් හෝ නොතිබුණි. නමුත් ඔහුගේ හිතේ හයිය තිබුණි. මාස හතරකට පසුව ගුවන්විදුලි නාළිකාවෙන් රුපියල් තුන්දහසක වැටුපක් අනූජ්ට ලැබුණි. ඒ ඔහු ලද මුල්ම වැටුප විය. එය ජීවිතයේ ලද අපූරු තෑග්ගකි. ඔහු ඉතා සුළු මුදලක් පසුම්බියේ තබාගෙන ඉතිරි මුදල අත්තම්මාට ලබා දුන්නේය.
කුඩා කල සිටම හමුදා නිලඇඳුමට ඇළුම් කළ අනූජ්ගේ හිතට හමුදා නිලධාරියකු වීමේ සිහිනය කිසිදාක අත්හැරැණේ නැත. ඔහු 2004 වසරේදී මුල්වරට රත්මලාන කොතලාවල ඇකඩමියේ කැඩෙට් නිලධාරීන් තෝරාගැනීමේ පරීක්ෂණයට සහභාගි විය. සාමාන්‍ය කුඩා සිරුරකට හිමිකම් කී අනූජ් අවශ්‍ය බර මෙන්ම නියමිත පපු ප්‍රදේශයේ අඩුවීම හේතුවෙන් එම පරීක්ෂණයෙන් අසමත් විය. නැවත වරක් 2005 වසරේදී කැඩෙට් නිලධාරීන් තෝරාගැනීමේ පරීක්ෂණයක් පැවැත්විණි. එම පරීක්ෂණයට ද ඔහු සහභාගි විය. පෙර වතාවේ තිබූ අත්දැකීම් සමඟම ඔහු තමන්ට හැකි උපරිමයෙන් පපු ප්‍රදේශය පුම්බා පරීක්ෂණයට ඉදිරිපත් විය. නමුත් මේ තාවකාලික පිම්බීම නිලධාරීන්ට හසුවිය. එපමණක් නොව, පෙර වතාවේද සිටි උසස් නිලධාරියෙක් අනූජ්ව හඳුනා ගත්තේය.
“ගිය වතාවේ ආවා නේද? ඔහොම බෑ.. හොඳට කාලා ඇඟ හදාගෙන එන්නකො..” යැයි ඔහු පැවසූ විට අනෙක් නිලධාරීන් සියල්ලෝම අනූජ්ට සිනහ වූහ. ඒ සමච්චල් සිනහවෙන් අනූජ්ගේ හිත කඩා වැටුණි.
දෙවැනි වතාව ද ඔහු අසාර්ථක විය. ටික කාලයකට පසුව ඔහු පොලීසියේ ගැසට්කොට තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයැදුම්පතක් යොමු කළේය. සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමක් නොමැතිවම ඔහුගේ අයැදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් ලියමනක් ඔහුගේ නිවෙසට තැපෑලෙන් ලැබුණි. ඒ ලියමන තව තවත් අනූජ්ගේ හිත පෑරවූවේය.
එතැන් සිට අනූජ් රැකියාවල් කිහිපයක නිරත විය. වරක් ඔහු මැදපෙරදිග ගොස් වසර කිහිපයක් රැකියාවක් කළේය. ඒ ඔහුගේ පවුලේ වගකීම වෙනුවෙනි. ඇතැම් රුකියා ආයතනවලින් ඔහුට ඉහළ වැටුපක් ලැබුණි. මේ අතර පාසල් කාලයේදී සිටම යාළුවෙක් වුණු රුවන්, අනූජ් වෙනුවෙන් ග්‍රීන් කාඩ්පතක් අයැදුම් කළේය. ඒ පිළිබඳව අනූජ්ට ලොකු විශ්වාසයක් නොතිබුණි. නමුත් ඔහුගේ වාසනාව කොහේ හෝ තැනක සැඟවී තියෙන්නට ඇත. තම මිතුරා දැමූ ග්‍රීන් කාඩ්පතින් 2016 වසරේදී අමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා අනූජ්ට අවස්ථාව ලැබුණි.
“අමෙරිකාවට යන්න ඕනේ කියන අදහස මගේ හිතේ කොතැනකවත් තිබුණේ නෑ. නමුත් ඒක ලැබුණට පස්සේ මම ගොඩක් සතුටු වුණා. මම අමෙරිකාවේ ටෙක්සාස්වලට තමයි ආවේ. කාලගුණයෙත් ලොකු වෙනසක් වුණේ නැහැ. නමුත් ලංකාවට වඩා මනසට නිදහස් ගතියක් දැනුණා. මිනිස්සු විනයගරැකව වැඩ කළා.” අනූජ් පැවසීය.
අනූජ් අමෙරිකාවට ආ අලුත ඉගෙනගත්තේය. ඒ වෙනුවෙන් අනූජ්ට ග්‍රීන් කාඩ්පත අයැදුම් කළ මිතුරාගේ සහයෝගය ලැබුණි. ඔහු අනූජ් වෙනුවෙන් වියදම් කළේය. විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා අතරතුර රුකියාවල් සඳහා පුරප්පාඩු ඇතිවිට ඒ පිළිබඳ ශිෂ්‍යයන් දැනුවත් කිරීම් ද සිදුවෙයි.
“දවසක් අමෙරිකානු හමුදාවට කට්ටිය බඳවාගන්නටත් යුනිවර්සිටියට නිලධාරීන් ඇවිත් හිටියා. මාත් ඒක දිහා ආසාවෙන් ඈතට වෙලා බලාගෙන හිටියා. ඔය අතරේ මම ළඟට ආපු නිලධාරියෙක් %ආමි එකට එකතු වෙන්න කැමැති නැද්ද?” කියලා ඇහුවා. මට හිතාගන්නවත් බැරි වුණා. මම එකපාරටම (කැමැතියි) කිව්වා. ඊටපස්සේ ඒ අය මාව ලිඛිත පරීක්ෂණයකට යොමු කළා. මම ඒකෙන් සමත් වුණා. පසුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සහ සෞඛ්‍ය පරීක්ෂණයක් සිදු කළා. ඒ හැම පරීක්ෂණයකින්ම මම සමත් වුණා. ඒ අනුව මම සති දහඅටක් පුහුණුවීම් කළා. උසස් පුහුණුවීම්වලදී මම ගුවන්යානා කාර්මික ශිල්පියකු විදිහට පුහුණුවීම් ලැබුවා.” ඔහු පැවසීය.
අද අනූජ් අමෙරිකානු හමුදා නිලධාරියෙකි. ඒ ගැන ඔහු තුළ විශාල සතුටක් තිබේ. “මගේ ජීවිතේ අද කණපිට හැරිලා වගෙයි මට දැනෙන්නේ. මගේ ජීවිතේ පටන්ගත්තේ අම්පාරෙන්. කවදාවත් ලෝකෙ අනිත් කෙළවරට යන්න මම ප්‍රාර්ථනා කළේ නෑ. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී අද මට තියෙන්නෙ සතුටක්.” ඔහු එසේ කියන්නේ සැබෑම සතුටකිනි.
(අනුජ් සමඟ සිදුකළ වට්ස්ඇප් සාකච්ඡාවක් ඇසුරිනි)
දිශානි ජයමාලි කරුණාරත්න