
පාස්කු ප්‍රහාරය මතින් ඇතිවුණු ලාංකීය දේශපාලන පරිවර්තනයන්ගේ දෝංකාරය තවම මැකී ගොස් නැත. මැතිවරණ වේදිකාවේ තවමත් ප්රතිරාව නංවන පාස්කු දේශපාලනය පසුගිය සතියේ නැවතත් කාගේත් දෙසවන් සලිත කළේය. ඊට හේතුව වූයේ ජාතික සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු වන හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශයයි. සමගි ජන බලවේගය මැදිරිගිරියේදී පැවැත්වූ ප්රචාරක ජනහමුවක් අමතමින් ඔහු එම ප්‍රකාශය සිදුකර තිබුණි. ඒ හරහා මේ වනවිට රටතුළ ඇති වී ඇති දේශපාලන ආන්දෝලනය සුළුපටු නොවේ. එම නිසාම සතියක් පුරා ඇවිලී ගිය මෙම ප්‍රකාශ සම්බන්ධ කතිකාව එක්තැන් කොට කියවා ගැනීමට තීරණය අපි කළෙමු.
අගරදගුරු දේශපාලනය හිරිකිත බවත් ඒ හරහා ජනාධිපතිවරණයේදී සජිත්ගේ ඡන්දවලට ෂොට් එක දුන් බවත් මෙහිදී හරීන් ප්‍රනාන්දු සෘජුව ප්‍රකාශ කොට තිබුණි. කෙසේ වෙතත් මේතාක් ලංකීය දේශපාලන ඉතිහාසයේ අගරදගුරුවරයකු වෙත එල්ල වූ ප්‍රබල චෝදනාව මෙය විය.
“ගෝඨාභය – 52%යි. සජිත් – 42%යි. මෙතන ගේම බලන්න. ගෝඨාභයගේ ගොඩෙන් 5% ක් සජිත්ට ආවා නම් ප්‍රතිශත සමාන වෙනවා. 5% වෙනස් කළේ කවුද? හිතාගන්න පුළුවන් නේද? කතෝලික ඡන්දවලට පහර ගැහුවා. අගරදගුරු හිමියන් වෙත ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මටත් කතෝලික සම්භවයක් තියෙන්නේ. අගරදගුරු දේශපාලනය කිරීම ගැන හිරිකිතයි. මම ඇමතුමක් දුන්නා. උන්වහන්සේ කළ ප්‍රකාශය දේශපාලනය කළේ. 5% ගේමේ ඇතුළේ හිටපු මිනිස්සු මේ...”
මෙම ප්‍රකාශයේ තවත් බොහෝ ආන්දෝලනාත්මක දෑ අන්තර්ගත විය. අපගේ නීරීක්ෂණ පරිදි පාස්කු ප්‍රහාර අවස්ථාවේදී හරීන්ට සිදුවූ අකරතැබ්බය මෙම ප්‍රකාශයේ පදනම වී තිබේ. ඔහු සිටින්නේ සිය පාර්ශ්වයේ මෙන්ම පෞද්ගලික දේශපාලනයේ ඇදවැටීම පිළිබඳ වේදනාවකින් සහ වෛරයකිනි. පාස්කු සමයේ ඔහු ප්‍රකාශ කළේ සිය පියා ප්‍රහාර පිළිබඳ දැන සිටි බවයි. අද ඔහු පවසන පරිදි එම තොරතුරු ඔහුට ප්‍රසිද්ධියේ කීමට රනිල් වික්‍රමසිංහ අවසර දී තිබේ. නමුත් එම ප්‍රකාශයෙන් පසුව සිදුවූයේ ඔහු කිසිවිට අපේක්ෂා නොකළ දෙයකි. ඒ හරහා සිදුවුයේ ඔහුගේ දේශපාලන ජීවිතයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමය.
“බදුල්ලේ ඉඳන් මම කොළඹට ආවා. මම තාත්තාගෙන් ඇහුවා දන්න විදිහ. CID නිලධාරියෙක් කියලා තියෙන්නේ. මාව CID යට අට පාරක් ගෙනාවා. මමද මේක කළේ? හිටපු ජනපති දන්නේ නැහැ කියනවා. රනිල් මට කියන්න කිව්වා. මාත් ඒක මාධ්‍යයට කිව්වා. ඒක කැරකිලා මට ආවා. තොරතුරු කලින් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ තියෙන්නේ වෙන සෙල්ලමක්.”
හරීන්ගේ මෙම වචන හරහාම ඔහුගේ මනෝභාව අවබෝධ කරගත හැකිය. එය තහවුරු වන තවත් වදන් පෙළක් මෙම ප්‍රකාශයේ ඉතා පැහැදිලිව අන්තර්ගත විය.
“අගරදගුරුවරයා දේශපාලනයක නිරත වුණා හිරිකත විදියට. දවසක් මම එයාට කෝල් කළා. ඇයි කියලා තිබුණානේ ඇමැති පුතා බේරුණා, අපේ මිනිස්සු මැරුණා කියලා...”
පෞද්ගලික ආවේගයන් මතින් ජාතික දේශපාලනය කිරීමට යාම දේශපාලනමය සියදිවි නසාගැනීමක් බව මේ වනවිට හරීන් ප්‍රනාන්දු විසින් ඔප්පුකර තිබේ. ඒ කෙසේ වෙතත් ඔහු කී සියලු වචන මේ මොහොතේ ජාතික දේශපාලනය උඩු යටිකුරු කර ඇත. හරීන් විරෝධය මේ වනවිට ඇත්තේ කළමනාකරණය කරගත හැකි මට්ටමක නොවේ. නමුත් කාලය විසින් ඊට යම් විසඳුම් ලබාදෙනු ඇත. මෙම ප්‍රකාශ සම්බන්ධව එල්ලවූ විරෝධතා අතරින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී සිදුකළ ප්‍රකාශය අප විශේෂ කොට දක්වමු.
“එක මන්ත්‍රීවරයෙක් කතෝලික ආගමේ කාදිනල්තුමාට අපහාස කරනවා. බෞද්ධ හෝ වේවා කතෝලික හෝ වේවා වෙනත් ආගමක හෝ නායකයකුට අපහාස කළොත් ඒ ඔහුගේ පිරිහීම. ඒ විතරක් නෙවෙයි ඔහු ඉන්න පක්ෂයේත් පිරිහීම. ඒ නොමේරුම්කම ප්‍රේමදාස පිල තුළ පැහැදිලිව පේනවා කියන එක අපිට පැහැදිලියි.*”
මෙය සරල නමුත් වඩාත් පරිණත දේශපාලන පැහැදිලි කිරීමකි. කවර ආගමක වුවත් පූජාසනයක සිට වුවත් සිංහාසනයට සෘජුව බලපෑම් කළ හැකි දේශපාලන පසුබිමක් මෙරට තුළ අද නිර්මාණය වී තිබේ. එහි උචිත අනුචිතභාවය වෙනම ප්‍රශ්න කළ යුතුය. කෙසේ නමුත් වර්තමාන දේශපාලනයේ යථාර්ථය එයයි. බල දේශපාලනය තුළ යමෙක් එය තේරුම් නොගන්නේ නම් එය නොමේරුම්කමකි. නමුත් නොමේරැම්කම මේ දේශපාලන ක්‍රමය තුළ වරදට සමාවක් නොවේ. සරලව කියතොත් එය ඉල්ලන් කෑමකි.
හරීන් ප්‍රනාන්දු දේශපාලනය ගම්පහ දිස්ත්‍රික්කයට විතැන් වීමේ උත්සාහයක් තිබෙන බව අපගේ නිරීක්ෂණයයි. සජිත් ප්‍රේමදාස ජාතික ලැයිස්තුව හරහා මෙවර ඔහුට ලබාදී ඇත්තේ ඊට අනඟි අවස්ථාවකි. නමුත් ඔහු ඊට කෘතගුණ සලකනවා වෙනුවට ලැබූ නිදහස අනුවණ ලෙස භාවිතා කර තිබේ. මේ හරහා ප්‍රේමදාස පාර්ශ්වය දැවැන්ත දේශපාලන අර්බුදකට මුහුණ පා සිටියි.
මේ වනවිට අභ්‍යන්තර විරෝධතා රැසක් හරීන්හට එල්ල වෙමින් තිබෙන බවට තොරතුරු ඇත. කෙසේ නමුත් හරීන් ප්‍රනාන්දු මේ ගෙවමින් සිටින්නේ දැඩි අපල කාලයක් බව නම් අපට පැහැදිලිය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සමාව අයදින තැනකට දැන් හරීන්ගේ ප්‍රකාශය අන්දෝලනාත්මක වී හමාරය. ප්‍රේමදාස මහතා පවසා සිටියේ හරීන් ප්‍රනාන්දු මහතා මැතිවරණ වේදිකාවකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් කිසියම් සිත් තැවුලක්, සිත් රිදීමක් සිදුවූවා නම් තමන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවයි. එසේම වරදක් හෝ අතපසුවීමක් දුටුවිට එය නිවැරදි කිරීමට තමන් පසුබට නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
මෙම ප්‍රකාශ සහ විවේචනවල දේශපාලන පෞද්ගලික පදනම කෙසේ වුවත් කාදිනල්තුමන් පිළිබඳ සමස්ත කතෝලික සමාජය තුළ ඇති ගෞරවය අතිශය ඉහළය. පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට බෞද්ධයන් අතරද කාදිනල්තුමන් ගෞරවනීය චරිතයක්ව සිටියි. උන්වහන්සේ ප්‍රහාරයෙන් පසු ක්‍රියාකළ ආකරය ප්‍රසංසනීය. නැතිනම් කළු ජූලියට වඩා බරපතල වර්ගවාදී ගැටුම් මෙරට තුළ ඇවිලී යන්නට ඉඩ තිබුණි. උන්වහන්සේගේ ප්‍රකාශ මෙරට දේශපාලනය කෙරෙහි බලපෑම් සහගත වූ බව අවිවාදිතය. එහෙත් එම ප්‍රකාශවල දේශපාලන අරමුණක් තිබුණා යැයි කීම සාධාරණ නැත.
මේ අතර කතෝලික දේශපාලන ප්‍රබලයන් හරීන්ගේ ප්‍රකාශය විවේචන කිරීම වැදගත්කොට සැලකිය යුතුය. එජාප අපේක්ෂක කාවින්ද ජයවර්ධන මහතා මේ සම්බන්ධව ප්‍රබල විවේචනයක් එල්ලකොට තිබුණි. හරීන් ප්‍රනාන්දු කතෝලික ජනතාවගෙන් සහ කාදිනල්තුමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ඔහු පවසා තිබුණි. එසේම නිමල් ලංසා වැනි අයද මේ ප්‍රකාශ සම්බන්ධව කතෝලික ජනතාවගේ පාර්ශවයේ සිට විවේචන ඉදිරිපත් කළහ. මේ අතර සමාජ ජාල ඔස්සේ විශාල කතෝලිකයන් පිරිසක් මෙම ප්‍රකාශය සම්බන්ධව දැඩි විවේචන එල්ලකර තිබෙන ආකාරය අපට නිරීක්ෂණය විය. ඊට අමතරව කොළඹ අගරදගුරු පදවි, කතෝලික පූජක සංසදය සහ ශ්‍රී ලංකා කතෝලික සභාව මෙම ප්‍රකාශ අවමන් සහගත බව දක්වමින් ප්‍රකාශ නිකුත් කළේය. ඊට අමතරව බෞද්ධ භික්ෂූන් රුසක්ද හරීන්ගේ මෙම ප්‍රකාශ විවේචන කර තිබුණි.
කෙසේ වෙතත් අප මෙම සටහන තබන මොහොත වනවිටත් හරීන් ප්‍රනාන්දු මෙම ප්‍රකාශ පිළිබඳ නිසි සමාව ගැනීමක් සිදුකර නොතිබුණි. ඔහු සමාව අයද සිටියේ අගරදගුරු යන වචනය වැරදිලෙස උච්චාරනය කිරීම සම්බන්ධව පමණි. කවරක් වුවත් ආගමික සංස්ථාවන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමට අප දේශපාලන චරිත පුරුදු විය යුතුය. මන්ද මෙරට බල දේශපාලනය අතිශය සංස්කෘතිකය. හරීන් ප්‍රනාන්දු සිදුවීම සියල්ලෝම උදාහරණයක් කර ගැනීම වටියි.
මෙවැනි කතා වලින් අගරදගුරුතුමන් සැලෙන්නේ නෑ
කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා
අගරදගුරුතුමන්ට පක්ෂ දේශපාලනයේ යෙදිලා දිනාගන්නට දෙයක් නැති බව ඉතාමත් පැහැදිලියි. අපගේ ආගමික සහ සංස්කෘතික පදනම මත පිහිටා කල්පනා කරන විට ආගමික නායකයින්ට සැලකීම සහ ගෞරවයෙන් කටයුතු කිරීම අපේ සංස්කෘතියම කොටසක්. ඒ නිසා විශේෂයෙන්ම ඒ අයගේ නමට කැලකක් වන දේවල් අපි සඳහන් කරන්නේ නෑ. පාස්කු ප්‍රහාර වෙලාවේදී අගරදගුරුතුමන් ජනතාව සංසුන් කිරීම සඳහා ඉතාමත් ප්‍රශංසනීය සේවයක් සිදුකළා. ජනතාව ඒ සේවය අගය කරනවා.
පාස්කු ප්‍රහාරයත් සමඟ උන්වහන්සේ තවමත් ගැඹුරෙන් දුක්වන බව අපි පෞද්ගලික දන්නවා. උන්වහන්සේට ලොකු බලපෑමක් වෙලා තිබෙනවා කියලයි දැනට පවා අපිට තේරෙන්නේ. ඒ පාස්කු ප්‍රාහරය පදනම් කරගෙන. ජාතික මට්ටමේ ආගමික නායකයකු වන අගරදගුරුතුමන් මේ බොහෝ දේවල්වලදී සැලෙන්නේ නෑ. උන්වහන්සේ සැලෙන්නේ එකම දෙයක් පිළිබඳවයි. ඒ සමස්ත ලෝකයේ මනුස්ස ජීවිත ආරක්ෂා කිරීම සඳහා පමණයි.
හරි දේ ගැන කතාකරන්න මම බය නෑ
හරීන් ප්‍රනාන්දු
මං කිව්වේ මෙතැන ගේමක් තිබුණා. පාස්කු ප්‍රහාර මුස්ලිම් මිනිස්සුන්ගේ මනස වෙනස් කිරීම. මං ඕක කියාගෙන එනකොට තමයි එදත් කිව්වේ අති උතුම් කාදිනල් හිමිපාණෝ වගේ කට්ටියගේත් ප්‍රකාශ මේකට බලපෑවා කියලා. ඒක මගේ මතය. සමගි ජන බලවේගයේ මතය නෙවෙයි. මගේ ගණන් හැදීම. ඒ නිසා ඒක සම්බන්ධයෙන් උන්වහන්සේට කතෝලික ජනතාව එක බාධකයක් වුණානම් ඒ සම්බන්ධයෙන් මම සමාව අයැද සිටිනවා.
හැබැයි මගේ ස්ථාවර ස්ථාවරයමයි. ඒ කරපු දේවල් කරපු ප්‍රකාශ මට කියපු දේවල් ඇමැති පුතා බේරුණා... අපේ මිනිස්සු මැරුණා වගේ අපිට කරපු චෝදනාවලට මිනිස්සු වෙනස් වුණා. කොන්ද පණ තියෙන නායකයෙක් පත්කරගන්න ඕනා කිව්වා. මේ ආණ්ඩු වෙනස් වෙන්න ඕනා කිව්වා. ඒවා දේශපාලනය කළේ නෑ කියලා කියනවා නම් දෙපාරක් හිතලා බලන්න ඕනෑ කාරණාවක්.
කාදිනල්තුමාට මම සමාව භජනය කරනවා අගරදගුරු කියන එක අදරදගුරු කීම සම්බන්ධව. එච්චරයි මට සිද්ධවුණ වරද. වැරදි දේ වැරදි ලෙසත් හරිදේ හරි ලෙසත් දකින්න අපිට අපේ දෙමාපියෝ උගන්වලා තිබෙනවා. ඒ නිසා මට මඩ ගැහැව්වා කියලා මගේ කට වහන්න හම්බවෙන්නේ නෑ. හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් මං දකිනවා. ඒ ගැන කතා කරන්නත් හරීන් ප්‍රනාන්දු බය නෑ.
චමිඳු නිසල් ද සිල්වා