2020 ජුනි 27 වන සෙනසුරාදා

කොවිඩ් 19 එක්ක හැප්පෙන්න කොළඹ සරසවිය හැදූ ඇප් එක

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

ලොව කෝටි භාගයක් මේ වනවිට මියගොසිනි. තවත් කෝටියකට ආසන්න පිරිසක් ආසාදනයට ලක්ව හමාරය. කොවිඩ් 19 වසංගතය ලෝකය අඩපණ කර ආර්ථීක බොරු වළකටද වට්ටවා හමාරය. දැන් නැවත යථා තත්ත්වයට එන්නට නම් බාහිර ආධාරයක් අවශ්‍යව තිබේ. එහිදී මේ ඇසට නොපෙනෙන සතුරාට එරෙහිව යොදා ගත හැකි හොඳම අවිය නව තාක්ෂණයයි. කොවිඩ් 19 තවදුරටත් පැතිරයාම වැළැක්වීම සඳහාත්, කොවිඩ් සමඟ නැවත සාමාන්‍ය ජන ජීවිතය ඇරැඹීම සඳහාත් උපකාරී වන නවතම තාක්ෂණික මෘදුකාංගයක් හඳුන්වාදීමට මේ තත්ත්වය තේරුම්ගත් අපේ විද්වත් පර්ෙය්ෂකයන් පිරිසක් දැන් සමත්ව ඇත. කොවිඩ් 19 ආසාදිතයන් අහලපහල සිටින බවට ඔත්තු ලබාදෙන ඇප් එකක් හෙවත් ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට මේ පිරිසට හැකිව තිබේ. දැන් එය නොමිලේ සාමාන්‍ය ජනතාවට සිය ආරක්ෂාව සඳහා බාගත කරගත හැකිය.

කොවිඩ් පමණක් නොව ඩෙංගු වැනි ඔනෑම වසංගතයකදී ආසාදිතයන්ගේ සංචරණ රටාව සහ ව්‍යාප්තිය හඳුනාගන්නට මේ විශ්වකර්ම යෙදවුම හෙවත් ඇප් එකට හැකිය.

මේ අලුත් ‘ඇප්’ එක හැදුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂකයන් කණ්ඩායමකි. ජාතික පර්යේෂණ සභාවේ COVID 19 වසංගත වැළැක්වීමේ පර්යේෂණ ප්‍රතිපාදන යටතේ COVID-19 වසංගතය අවම කිරීම සඳහා “ස්වාරක්ෂා” නමින් යුතු මෙම ජංගම දුරකථන පදනම් කරගත් යෙදුම සකස් කර ඇත. මෙය 100%ක් ශ්‍රී ලාංකික සංවර්ධිත යෙදුමක් වන අතර සාමාන්‍ය ජනතාවට එය දැන් නොමිලේ බාගත කරගත හැකිය. එය තොරතුරු රහස්‍යතාව සමඟ තත්‍ය කාලීන ආරක්ෂාවද සපයයි.

ඇප් එක බාගත කිරීම සඳහා www.swaraksha.lk වෙබ් අඩවිය වෙත පිවිසිය යුතුය. එයට ඔබේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර OTP ලෙස 1111 ඇතුළත් කිරීමෙන් මෙම ඇප් එක මගින් ලැබෙන සේවා ලබාගන්නට හැකිවේ. 

මෙම ඇප් එක පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් සහ මාධ්‍ය දැනුවත් කර ඇති අතරම සෞඛ්‍ය ඇමැතිනියට ද එය පසුගියදා හඳුන්වා දීමට මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රමුඛ පිරිස කටයුතු කළහ. මේ ඇප් එක නිසිපරිදි ක්‍රියාත්මක වීම උදෙසා සෞඛ්‍ය බලධාරීන් ලංකාවේ කොවිඩ් 19 අසාදිතයන් ගැන මූලික දත්ත උඩුගත කළ යුතුය. ආසාදිතයන් සහ ඒ ආශ්‍රීතයන් හඳුනා ගැනීමට ‘ඇප්’එක සමත් වන්නේ ඉන්පසුවය. එවිට එයින් එය භාවිතා කරන අය හට කොවිඩ් 19 පූර්ව ආරක්ෂණ අනතුරු සංඥා ලැබෙන්නට ගනියි. සාමාන්‍ය ජනතාවට පහසුකම් සැපිරුණු කළ මෙම යෙදුම ක්‍රියාත්මක කිරීමෙන් බියකින් සැකයකින් තොරව රටේ ඕනෑම තැනකට ගොස් ආර්ථික, සමාජීය කටයුතුවල නිරත විය හැකිය. ඔබ ඇප් එකෙන් සන්නද්ධ වූ විට  මීටර් 10ක් ඇතුළත ඕනෑම කෙනකු ඔබ වෙත ළඟා වනවිට ඔහු කොවිඩ් අවදානමක් සහිත කෙනෙකු නම් ඔබේ ජංගම දුරකථනයේ එලාම් එකක් බීප් හඬින් නාද  වනු ඇත. දුරකථනය කම්පනය වන අතර ඔබ ළඟා වන පුද්ගලයාගේ/ පුද්ගලයන්ගේ අවදානම් මට්ටම දක්වමින් විවිධ වර්ණ 5 කින් ඔබගේ ජංගම දුරකථනයේ තිරය මත දැනුම්දීමක් ලබා දෙනු ඇත. එම දැනුම්දීම මේ ආකාරය. එම තැනැත්තා දැනටමත් Covid-19 රෝගියෙක් නම් එනම් සක්‍රීය නම් (රතු) පැහැය දිස් වේ. ඔහු සුවය ලැබූ අයෙක් නම්  (කහ) පැහැය දිස් වේ. දැනටමත් නිරෝධායනයේ යෙදෙන අයෙක් නම් (දුඹුරැ) පැහැය දිස්වේ. නිරෝධායනය සම්පූර්ණ කළ අයෙක් නම් (කොළ) පැහැය දිස්වේ. පසුගිය දින 14/28 තුළ විදේශයන්ගෙන් පැමිණි අයෙක් නම් එවිට (මැජෙන්ටා) පැහැය දිස්වේ. එම අය අසල සිටී නම් සිටිනා ඉසව්වද සිතියමක් මත දැක ගත හැකිය. එපමණක් නොව, ගතික සිතියමක, ඔබ සාප්පු සංකීර්ණයක් වැනි ස්ථානයකට යාමට පෙර කලින්ම එහි ඇති කොවිඩ් අවදානම් මට්ටම දැකිය හැකිය. 

මෙම යෙදුම මගින් ලැබෙන ප්‍රමුඛ පෙ‍ෙළ් වාසිය වන්නේ එය භාවිතයට ගැනීම සමඟින් අපගේ ආදායමෙන් 13%ක් උපයන රටේ සංචාරක කර්මාන්තය නැවත විවෘත කළ හැකි වීමය. COVID 19 ආසාදිතයැයි සැකකරුවන් ඔවුන්ගේ නිවෙස්වල/ හෝටලයක ස්වයං නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය නම් කඩයිම්, භූ-ආරක්ෂණ (geofencing) පහසුකම් ද සැලසීමට මේ ඇප් එකට හැකියාව තිබේ. පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වුවහොත්, අවශ්‍ය නම්, ඔහුගෙන්/ ඇයගෙන් කෝවිඩ් බෝවූ සම්බන්ධතා නැවත දින 14ක් දක්වා පසුපසට, බලධාරීන්ගේ අවසරය මත, සොයාගැනීමට පහසුකම මෙම යෙදුමේ තිබේ. තවත් විශේෂාංගයක් ලෙස මෙම යෙදුමට ඔහුගේ අවදානම් මට්ටම දැක්වෙන QR කේත අංගයක් ඇති අතර පවතින ශරීර උෂ්ණත්වය මැනීමේ ක්‍රමයට අමතරව ආරක්ෂාවක් ලෙස පොදු ස්ථානයකට ඇතුළු වීමටද එයද භාවිතා කළ හැකිය. අනාගතයේදී උත්පතන විය හැකි වෙනත් වසංගත අවම කිරීමට සහ ඩෙංගු පොකුරු පෙන්වීමට ද මෙම යෙදුම ප්‍රතිසකසා  භාවිතා කළ හැකිය.

COVID-19 රෝගීන් විශාල වශයෙන් පැතිරීම පාලනය කළ රටවල් බොහොමයක් එම අවම කිරීමේ වැඩසටහන්වල අනිවාර්ය අංගයක් ලෙස තමන්ගේම ජංගම දුරකථන පදනම් කරගත් යෙදුම් සාර්ථකව භාවිතා කර ඇති බවට සාධක තිබේ.

මේ ආකාරයේ ‘ඇප්’ දැනටමත් රටවල් කිහිපයකම කොවිඩ් 19 ව්‍යාප්තිය හඳුනාගැනීමට ප්‍රයෝජනයට ගනියි. චීනයේ මෙම තාක්ෂණය හඳුන්වා දී ඇත්තේ QR කේත ක්‍රමයක් ලෙසටය. පොදු ස්ථානවල දක්වා ඇති මෙම කේත සිය දුරකතනයෙන් ස්කෑන් කරගත්විට තමන් එම ස්ථානයට ඇතුළු වීම සුදුසුද නැද්ද යන්න ගැන පණිවුඩයක් ලැබේ. අප්‍රේල් මුල ඔස්ට්‍රේලියාවට හඳුන්වා දුන් මෙවන් යෙදුමක් සඳහා මිලියන 2කට වඩා දින කිහිපයකදී එක්ව තිබුණි. ක්‍රියාත්මක වීම අතින් විවිධ වෙනස්කම් සහිත මෙබඳු යෙදවුම් සිංගප්පූරුව, තායිවානය, හොංකොං  සහ ඊශ්‍රායලයේ ද භාවිතා වේ. මේ රටවල කොවිඩ් පාලනයට එම  ඇප් දැඩි ලෙස මැදිහත්ව හමාරය. මේ වනවිට නව පන්නයේ යෙදවුමක් නිර්මාණය සඳහා ව්‍යාපෘතියක් ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල දෙකක් විසින් අරඹා ඇත. පුද්ගලයන්ගේ කැස්ස සහ හඬ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පුරෝකථනය කළ හැකි මෘදුකාංගයක් (ඇප්) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකි. මින් එක් ව්‍යාපෘතියක් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාවට නංවා ඇති අතර අනෙක් ව්‍යාපෘතිය අමෙරිකාවේ කානෙගි මෙලෙන් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මකය.

ඒ අතර  පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අතරම ඕනෑම වසංගතයක් අවම කිරීම සඳහා දැනට ඇති විශේෂාංග විශාල සංඛ්‍යාවක් සහිත ලොව දියුණුම ජංගම කථන සඳහා වූ යෙදුම තමන් සෑදු ඇප් එක බව මහාචාර්ය චන්දන ජයරත්න කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හරහා මෙම යෙදුම ලෝකයේ අවශ්‍යතා ඇති අනෙක් රටවලට ද  නොමිලයේ  ලබා දීමට ද තමන් සැලසුම් කරමින් සිටින බව මහාචාර්ය චන්දන ජයරත්න කියයි.

 සුගත් පී කුලතුංග ආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02