2020 ජුනි 27 වන සෙනසුරාදා

ඡන්ද වේදිකාවේ වැසි වස්සන පොරොන්දු

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

මහ මැතිවරණයක් සඳහා පසුබිම සකස් වී තිබේ. කොවිඩ් - 19 වසංගතය හා එම කාලසීමාවට කලින් ආණ්ඩුව විසුරුවා හැරීම කිසියම් කලබැගෑනියක් ඇති කළේය. වසංගත තත්ත්වය මැද ඡන්ද පැවැත්විය හැකි ද යන කාරණය මහත් ආන්දෝලනයකට ලක් වූ අතර අධිකරණය කරා ගියේය. ව්‍යවස්ථා අර්බුදයකට කලින් තීරණයක් ගැනීමට අවකාශයක් මතුවීම භාග්‍යයකි.

ඉතිහාසයේ සිට තිබුණ දේශපාලන පක්ෂ අද ප‍්‍රධාන ප‍්‍රවාහයේ නැත. වාමාංශික දේශපාලනයේ අවසාන පුරුක් කිහිපය පවතී. එක්සත් ජාතික පක්ෂය කොටස්වලට කැඩී තිබේ. නිදහස් සටනට පසු පළමු බෙදීම සිදුවී බිහි වූ පක්ෂ දේශපාලනයේ පළමු සංධිස්ථාන වශයෙන් සැලකෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද සුළු පක්ෂයක තරමට පත්ව ඇත. මෙවැනි වෙනස්කම් මධ්‍යයේ පවා දේශපාලනයේ නොවෙනස්ව පවතින එක දෙයක් තිබේ. ඡන්ද පොරොන්දුය. මඩගැසීම්, අවලාද, දූෂණ චෝදනා අතරට භීෂණකාරී වාතාවරණයක් ද එකතු වෙන්නට බැරි නැත. ඉදිරි ආණ්ඩුවකින් ජනතාවට බෙදන සහන ගැන තරගය ඇරඹෙමින් තිබේ.

ආර්ථිකය කොහොම නමුත් දේශපාලන වේදිකාව පොහොසත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් ගැන කරන අලුත් වාර්තාවකට අනුව ශ‍්‍රී ලංකාව ආර්ථික අවගමනයක පසුවෙයි. 2020 වසරේ ආර්ථිකය සෘණ දශම පහකින් පහතට වැටෙනු ඇත. ඉකුත් වසර එනම් 2019 වසර ද මෑත වසර දහ අට තුළ අවම වර්ධන වේගයක් වාර්තා කළේය. එය එපමණ හොඳ තත්ත්වයක් නොවේ. පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිදු වූ අන්තවාදී ප‍්‍රහාර හමුවේ අර්බුදයකට පත් ආර්ථිකය මෙම වසරේ ආරම්භයේ සිට බලපවත්වන වසංගත තත්ත්වයෙන් බලවත් පීඩනයකට මුහුණ පා සිටී. ජනතාව නගන මැසිවිලිවලින් ඔවුහු මුහුණ පා ඇති වාතාවරණය වටහා ගත හැකිය. වියදම් ඉහළ ගොස් ඇති අතර ස්ථිර ආදායමක් නැති පිරිසට එදිනෙදා ජීවිතය දුෂ්කර වී තිබේ. රජය මාසිකව රු. පන්දහසක දීමනාවක් සහ තවත් අතුරු සහන ප‍්‍රකාශයට පත් කළ නමුත් පැවැතුණ හොඳ තැනක සිට පහළට වැටුණු පසු දැනෙන අමාරුකම්වලින් පොදු ජනතාව පීඩා විඳිති.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු නමුත් මෙරට ඉන්ධන මිල ගණන් අඩු වී නැත. ඉන්ධනවලින් අය කරන අධිභාරය ඉකුත් බ‍්‍රහස්පතින්දා සිට අඩු කරන ලද අතර එම වාසිය ඉන්ධන ආනයනය කරන හා මෙරට විකුණන සමාගම්වලට විනා ජනතාවට නොලැබෙන දෙයකි. සහල් මිල ඉහළ ගොස් තිබේ. එළවළු මිල පහත නමුත් සීනි, පරිප්පු ඇතුළු ආනයනික දේ මිල ඉහළ ගොස් ඇත. බස් ගාස්තු වැඩි කරන සේ මැසිවිලි නැගෙමින් තිබේ. කිරිපිටි මිල නංවන සේ ආනයනකරුවෝ බලකරන බව අනාවරණය වෙයි. මේවායේ වියදම උසුලාගත නොහැකිය. පසුගිය මාස තුන හතර තුළ දුරකථන සඳහා භාවිතා කළ දත්ත වියදම වේගයෙන් ඉහළ ගිය අතර මැදි ආර්ථිකයක් ඇති ජන කොටස එයින් දුෂ්කරතාවයකට පත් වූ බව ද පෙන්වා දිය යුතුය. පාසල් යන දරුවෝ අන්තර්ජාල ඉගැන්වීමට ඩේටා භාවිතා කළහ. මේවා පොදුවේ බලපාන ලද ගැටලු අතර තිබේ.

ජනතාවට ආර්ථිකයේ ස්වභාවය දැනෙන නමුත් ඡන්ද අපේක්ෂකයන්ට එය පෙනෙන්නේ නැත. ආර්ථිකය විශාල උල්පතක් සේ කල්පනා කරමින් සිටිති. කොතැනකින් හෝ මුදල් හොයාගෙන ජනතාව ජීවත් කරන බව දිවුරා පොරොන්දු වීම විශේෂත්වයකි.

හැමදාමත් රවටන නමුත් මෙදා ඡන්දයේදීත් එහෙමය

හඳෙන් හාල් ගෙනත් දෙන බව ප‍්‍රකාශ කරන ලද අන්දමට සෑම පවුලකටම දීමනාවක් ගෙවන්නට සූදානම් බව ප‍්‍රකාශ වී තිබේ. ජාතික සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන අන්දමට එක පවුලකට රු. විසි දහසක දීමනාවක් ගෙවිය හැකිය. වත්මන් ආණ්ඩුව රු. පන්දහසක දීමනාවක් ගෙවා ගන්නට බැරි තත්ත්වයක සිටියදී එය මෙන් හතර ගුණයක් ගෙවන්නට මුදල් ලැබෙන්නේ කෙසේද? හෝමාගම ඉදිකරන්නට නියමිත ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය අවලංගු කර එයින් ලැබෙන මුදල් ජනතාවට බෙදා දෙන බව කියා තිබේ.

වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය අවස්ථාවේදී සියලු ගොවියන්ට නොමිලේ පොහොර දෙන බව කියා සිටියේය. වී වගා කරන කාලයට ගොවියාට අවශ්‍ය තරමට පොහොර නොලැබුණි. පොහොර කිලෝ පනහක් ලැබුණ ගොවියෝ සිය වගාවට එය ප‍්‍රමාණවත් නැති බව කියමින් දොස් පැවරූහ. කිසිසේත් නොලැබුණ පිරිසක් ද ආණ්ඩුවේ ක‍්‍රමය ගැන උරණ වූ බව දැක්විය යුතුය. බලයේ ඉන්නා දේශපාලනඥයන් පමණක් නොව බලයට එන්නට සූදානම් නායකයන් ද ක‍්‍රියා කරන්නේ එලෙසය.  

ආණ්ඩු පක්ෂය මෙතෙක් සිය පොරොන්දු එළිපිට කියා නැත. සෙසු දේශපාලන පක්ෂ පවා මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ඉදිරිපත් කර නැති අතර ජනතාව හමුවට පැමිණ කරන්නට පුළුවන්කමක් නැති දේ කියන්නට කලින් ඒවා කරගන්නට බැරි වෙන බව ඡන්දදායකයන් තේරුම්ගත යුතුය. විදුලිය බිල කපා හරින, ජල අය කිරීම් අහෝසි කරන හා පොදු ජනතාව බැංකුවලින් ගත් ණය කපා දමන සේ පක්ෂ නායකයෝ ආණ්ඩුවට බල කරමින් සිටිති. මේවා ඉටු කළ නොහැකි නම් ආණ්ඩු බාර දී ගෙදර යන සේ බලකරන දිනය වැඩි ඈතක නොවේ. මිලියන විසි එකක් වන ජනගහනයට අලුත් සහන දෙන්නට විශාල මුදල් කන්දරාවක් අවශ්‍යය. ආර්ථිකය අර්බුදයක පවතින අවස්ථාවක බදු ආදායම අඩුවෙයි. අනෙක් පැත්තෙන් රටට ලබා ගත හැකි සහන අවුරා තිබේ. විරුද්ධ දේශපාලන පක්ෂ ඇති කරන පීඩනය හෙයින් මිලේනියම් චැලෙන්ජ් වෙතින් ලබා ගත හැකි අමෙරිකානු ඩොලර් මිලියන 480ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත හැකි අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලත් හිර වී තිබේ. ඒවා ගැන ආණ්ඩුව වචනයක් කතා කළහොත් වේදිකාව දෙදරවා කෑ ගසන්නට විපක්ෂ දේශපාලනඥයන් සූදානම්ය. අතට මුදල් එන ක‍්‍රමයක් නැති නමුත් බෙදන්නට මැලිකමක් නැතිකම විශේෂත්වයකි. 

රජයේ ආයතන ණය බරෙන් තවත් ණයකරුවන් වීම

විදුලි බල මණ්ඩලය ඉකුත් පෙබරවාරි මාසයේදී ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් රුපියල් බිලියන පහලොවක ණය මුදලක් ගෙන තිබේ. එම ණය ගන්නා අවස්ථාව වනවිට රු. බිලියන 125ක් ණය ගෙවන්නට තිබුණ අතර 2019 වසරේ අලාභය රු. බිලියන 83ක් බව සඳහන්ය. විදුලි බල මණ්ඩලය පමණක් නොවේ. ඛනිජ තෙල්, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, දුම්රිය, ලංගම, වරාය, තැපැල්, ජල සම්පත් ඇතුළු සියලු මර්මස්ථාන දුබල තැනක පසුවෙයි. මේවායේ ආදායමක් උපයන්නේ නැත. යමක් නොලැබෙන තැනකින් බෙදන්නට දෙයක් උපයා ගන්නේ කෙසේද? සෑම ආණ්ඩුවක්ම බලයට පත්වන්නේ රට හොඳ තැනකට ගෙන එන අතර රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරන බව එක හෙලා පවසමින්ය. එය කෙරෙන්නේ නැත. ආණ්ඩුවෙන් හිතවාදීන් ලොකු පුටුවලට පත්කරන අතර දේශපාලන හිතවත්කම් ඇති පිරිසට අලුත් පත්වීම් දෙති. මේවා වළකන්නට පුළුවන්කමක් ලැබී නැත. 

ඡන්දයක් එනවිට ප‍්‍රතිඥා තොග ගණනින් දෙන දේශපාලනඥයෝ ඒවා ආගමික නායකයන්ට පිළිගන්වා මහත් ආඩම්බරයකින් ඡන්දදායකයන්ගෙන් මනාපය ඉල්ලා සිටිති. මනාපය දිනාගෙන බලයට පත් වූ පසු ප‍්‍රතිඥා අමතකය. තමන්ගේ නෑදෑ හිතවතුන් හා පාක්ෂිකයන්ගෙන් ආයතන පුරවති. අවසානයේදී රාජ්‍ය ආයතන බංකොලොත් වන අතර පොදු ජනතාව දුකට පත්කරයි. මෙවැනි පැති ගැන ඡන්දදායකයන් අවධානය යොමු කළ යුතුය. අපේක්ෂකයන් දෙන පොරොන්දු පමණක් නොව පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ආකාරය ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.

ජනතා සේවය සඳහා බිලියන ගණන් වැය කරන සූදානම

කරන්නට බැරි පොරොන්දු දෙන ඡන්ද අපේක්ෂකයෝ එක ඡන්දයක් වෙනුවෙන් සල්ලි මළු පුරවා වියදම් කරන්නට සූදානම්ය. දශක දෙක තුන ජනතාව හමුවේ සිටි දේශපාලනඥයන් පවා ලක්ෂ ගණන් මුදල් ගෙවා මාධ්‍ය ප‍්‍රචාරය ගනිමින් සිටිති. රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශ අතරතුර තත්ත්පර තිහක දැන්වීමක් ලක්ෂ හතරකි. නිෂ්පාදන පිරිවැයට අමතරවය. පුවත්පත්, ගුවන් විදුලි, වෙබ් හා සමාජ මාධ්‍ය, පත‍්‍රිකා බෙදීම, ප‍්‍රසිද්ධ ජනහමු සහ ගෙයින් ගෙට යන ආධාරකරුවන් ඇතුළු සියලුම දේ වෙනුවෙන් වියදමක් තිබේ. අපේක්ෂකයකුට මෙම වියදම දරාගත හැකිද? ප‍්‍රසිද්ධ නාලිකා තුන හතරක දවසකට එකවතාවක් දැන්වීම් ප‍්‍රචාරය කළ ද බිලියන ගණනක වියදමකි. මෙම මුදල් එන්නේ කොතැනින්ද යන්න වෙනම ප‍්‍රශ්නයකි. ජනතාවට ඇත්ත කියන, බොරු පොරොන්දු නොදී සේවය කරන අවංක දේශපාලනඥයෙකුට මෙවැනි වියදමක් කරන්නට අවශ්‍ය නැත. දේශපාලනයේ පවතින පිටවැස්ම තේරුම්ගැනීමට මෙම කරුණු ප‍්‍රමාණවත්ය. 

අලංකාර ප‍්‍රචාරණය හා ඉතාම ව්‍යක්ත දේශනවලින් ජනතාව මුලා කරමින් සිටින වකවානුවකි. ශ‍්‍රී ලංකාව පවතින ආර්ථිකයෙන් ගලවා ගන්නට නම් තද තීරණ අවශ්‍යය. වියදම අඩු කර අලුත් ආයෝජන අවස්ථා සොයා ගත යුතුය. ජාති, ආගම් වශයෙන් රට තුළ කැළඹීම් ඇති කිරීමෙන් සහ කරන්නට බැරි තරම් මහත් පොරොන්දු විසුරැවා හැරීමෙන් කිසිම වාසියක් සිදු වෙන්නේ නැත. යථාර්ථය කියන්නේ නැති දේශපාලනඥයෝ සුරංගනා ලෝක මවා පෙන්වමින් සිටිති. තවත් මාසයකට ආසන්න කාලයක් තිබේ. ඉදිරි දිනවල තවත් පොරොන්දු වැසි වැටෙනු ඇති අතර ඒවායෙන් ගැලවෙන්නට තරම් පොහොසත් අවබෝධයක් මෙරට ජනතාව ඇති කරගත යුතුය.

ගාමිණී සරත් ගොඩකන්ද
gsgodakanda@gmail.com