2020 ජුනි 27 වන සෙනසුරාදා

කටුනායකදී කොටුවූ නෝර්වේ මහ කොටියා

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

දශක තුනක් පැවති ත්‍රස්තවාදය මෙරටින් තුරන්කොට දශකයක් ගත වී හමාරය. එහි අභිමානවත් 11 වැනි සැමරුම පසු කළ ද ත්‍රස්ත හිතවාදී බළල්අත් තවමත් ඊළාම් සිහිනවල එල්බ සිටිති. ඒ බොහොමයක් දිවයින අභ්‍යන්තරයේ නොව ඇතැම් විදේශ රටවලය.

අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය හෝ එවැනි ප්‍රහාර හා ඝාතන කිසිවක් නැතත් වරින් වර ක්‍රියාත්මක ත්‍රස්ත හිතවාදීන්ගේ විරෝධතා හා විවිධ තර්ජනනාත්මක සිදුවීම් ද වාර්තා වේ. එවැනි ආසන්නම සිදුවීමක් වශයෙන් මීට මාසයකට පමණ ඉහතදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්අඩවිවලට එල්ල කෙරුණු සයිබර් ප්‍රහාරය හඳුනාගත හැකිය. හැකර්වරුන් හෙවත් සයිබර් මංකොල්ලකරැවන්ගේ ග්‍රහණයට නතුවූ එම වෙබ්අඩවිවල එල්.ටී.ටී.ඊ. ධජය ප්‍රදර්ශනය කිරීම නිසා මෙය එම ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරයක් බවට විශ්වාස කරයි. එමෙන්ම තත්ත්වය බරපතළ බව අවබෝධ වූයේ එම සයිබර් ප්‍රහාරය රටේ ප්‍රධාන පෙළේ පෞද්ගලික මාධ්‍ය ආයතනයක වෙබ්අඩවියකටත් එල්ල කර තිබීම නිසාය.

විදේශ රටවල සිට ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිළිබඳ විමසීමේදී ප්‍රමුඛ අවධානයක් යොමුවන්නේ නෝර්වේ දෙසටය. ඒ මීට පෙර අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා රජයට එරෙහිව හා එල්.ටී.ටී.ඊ. හිතවාදී සිදුවීම් කිහිපයකට එරෙහිව ක්‍රියාත්මක වීමය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නෝර්වේ ප්‍රධාන සංවිධායකයා බව කියන එරට norwaynews.com වෙබ්අඩවියේ ප්‍රධාන කර්තෘ වශයෙන් කටයුතු කරන නඩරාජා සේතුපරන් පසුගිය 22 වැනිදා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ත්‍රස්ත විමර්ශන ඒකකයේ බාරයට ගනු ලැබීම මෙහිදී විශේෂය.

එල්.ටී.ටී.ඊය වෙනුවෙන් නෝර්වේ සිට මුදල් එක්රුස් කරන ප්‍රධානම ක්‍රියාකාරිකයා බව කියන නඩරාජා සේතුපරන් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරයි. ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු මොහු යාපනය, කරවෙඩි, තුන්නලෙයි උතුර ප්‍රදේශයේ පදිංචිකරැවකුව සිට මීට වසර විස්සකට පමණ ඉහත දී නෝර්වේ වෙත සංක්‍රමණය වූවෙකි. අනතුරුව නෝර්වේ, ඔස්ලෝ, වෙස්ට්‍රේ හියුගන් ප්‍රදේශයේ පදිංචිව සිටිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සම්බන්ධ වෙමින් කටයුතු කළ බව පැවසේ. පසුගිය යහපාලන ආණ්ඩුව මගින් ලිහිල්භාවයට පත් කළ විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් විදෙස්ගතව සිටි නානාවිධ පුද්ගලයන් රුසක් මෙරටට පැමිණීමත් යළි පිටව යාමත් සිදුවිය. ඒ අතර විදෙස්ගතව සිටි ප්‍රබල එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් හා ත්‍රස්තවාදී හිතවාදීන්ද ගුවන් මගින් මෙරටට පැමිණ ගොස් තිබේ.

නෝර්වේ පදිංචිව සිටි නඩරාජා සේතුපරන් දිවයිනට පැමිණියේ මාස කිහිපයකට ඉහතදීය. යළිත් නියමිත දිනයට ඔහුට පිටව යා නොහැකිව ඇත්තේ පැවති කොරෝනා වසංගතය නිසා ගුවන්ගමන් අත්හිටුවා තිබීම හේතුවෙනි. කෙසේවෙතත් ඔහු නැවත නෝර්වේ බලා පිටත්ව යාමට සූදානමින් පසුගිය 22 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි. එල්.ටී.ටී.ඊ. හිතවාදියකු මෙන්ම එරට වෙබ් මාධ්‍යවේදියකු ද වන නඩරාජා සේතුපරන් පිළිබඳ ඇසගසා සිටි, ඔහු පිළිබඳ තොරතුරු දන්නා අයකු වහා ක්‍රියාත්මක වූයේ මේ අවස්ථාවේදීය. යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු ආරිගුණරාජා සෙල්වකු නැමැත්තකු බවට වාර්තා විය. මොහු කන්කසන්තුරය පොලීසියට තොරතුරක් ලබා දී ඇත්තේ නෝර්වේ එල්.ටී.ටී.ඊ. හිතවාදියකු වන නඩරාජා ලංකාවට පැමිණ සිට හොරරහසේ පිටත්ව යන බවකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සම්බන්ධ ක්‍රියාකාරිකයකු වන ඔහු සතුව විවිධ තොරතුරු ඇතැයි ද ඔහු දන්වා තිබේ.

තොරතුරුකරුගේ දැනුම්දීම අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ. එම නිලධාරීන් ක්‍රියාත්මක වී කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන්ට තොරතුරු දන්වා සැකකරු අත්අඩංගුවට ගැනීමේ පසුබිම සකස් කරගෙන තිබේ. ඒ අනුව ආගමන විගමන නිලධාරීන්ගේ සහාය මත නඩරාජා සේතුපරන් අත්අඩංගුවට ගත්තේ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් පිටව යාමට සූදානමින් සිටියදී එම අවස්ථාව වළක්වාලමිනි.

නඩරාජා සේතුපරන් විසින් තමාට එල්ලවන චෝදනා හා පවතින ජීවිත තර්ජනය පිළිබඳ දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇතැයි ද එම ලිපිය මේ වන විට අන්තර්ජාල වෙබ්අඩවි කිහිපයක සංසරණය වන බවද කියැවේ. එම ලිපියේ පිටපත් පොලිස්පතිවරයාට අගමැතිවරයාට හා නෝර්වේ අගමැතිවරයාට මෙන්ම මානව හිමිකම් කොමිසමට යවා ඇතැයි ද දක්වා තිබේ. එම ලිපියෙන් ඔහු දක්වා ඇත්තේ නැවත නෝර්වේ බලා යන තෙක් සිය ජීවිතය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසය. 

මොහු හා පවුලේ සමීපතමයන් කිහිප දෙනකු ඔහුගේ දියණියගේ උත්සවයක් වෙනුවෙන් ලංකාවට පැමිණ ඇත්තේ 2019 අග භාගයේදීය. එහිදී නෙල්ලියඩි පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබීම නිසා පෙර කී දියණියගේ සාදය අවලංගු කළ බවද දන්වා තිබේ. යළිත් වරෙක තමාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබූ බවත් එය වැරදි චෝදනාවක් සම්බන්ධයෙන් නිසා මගහැර සැඟවී සිටි බවද දන්වා තිබේ. ඊට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ඔහු කටයුතු කර තිබිණ. අනතුරුව නෝර්වේ බලා ගිය ඔහු නැවත ලංකාවට පැමිණියේ පෙර කී නඩු කටයුත්ත අවසන් කිරීමටය. එහිදී කන්කසන්තුරේ පොලීසිය මොහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර පසුව නැවත නෝර්වේ බලා පිටත්ව යාමට සූදානමින් සිට ඇතැයි පැවසේ.
මේ අතර ජනපතිවරයාට යැවූ ලිපියෙන් දන්වා ඇත්තේ යම් පාර්ශ්වයක් තමාට තර්ජනාත්මකව කටයුතු කරන බවත් උපන් ගමට යාමට බියක් ඇති බවත්ය. එබැවින් ඕනෑම කටඋත්තරයක් ලබා දීමට කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකයට පමණක් ගෙන්වන ලෙසද නැවත නෝර්වේ බලා යන තෙක් ආරක්ෂාව ලබා දෙන්නැයිද එම ලිපියෙන් ඉල්ලා තිබේ.

මෙරට යුද්ධය සහමුලින්ම මර්දනය කෙරුණ ද තවමත් ත්‍රස්ත හිතවාදීන් ඊළාම් සිහිනයෙන් දතකන බව අපි දනිමු. එබැවින් අනාවරණය වන සුළු තොරතුරකට එරෙහිව ද ක්‍රියාත්මක වීම ආරක්ෂක අංශ සතු වගකීමකි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02