2020 ජුනි 27 වන සෙනසුරාදා

අලුතින් ලියැවෙන කංසා වංස කතාව

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 331

ත්‍රෛයිලෝක විජයාපත්‍ර හෙවත් කංසා පානය මීට වසර 2500 පමණ ඉහතද පැවැති බවට  වන සාධක රැසක් පසුගිය දිනවල චීන සොහොන් ගැබකින් සොයා ගැනීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ. ගංජා හෙවත් කංසා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC (ටෙට්රාහයිඩ්‍රොකැනබිනොල්) සංඝටකය අන්තර්ගත ශාක විශේෂයකි. එහි අන්තර්ගත තෙල් සහිත ඇට සහ කෙඳි ලබා ගැනීම සඳහා යටත් පිරිසෙයින් ක්‍රිස්තු පූර්ව යුගයේ පවා මිනිසුන් කංසා වගා කරන්නට ඇතැයි එම චීන විද්‍යාඥයන් පිරිස සඳහන් කර තිබේ.

නීතියෙන් තහනම් බැවින් මෙරට කංසා වගා කරන්නේ රහසිගතවය. වැල්ලවාය, හම්බෙගමුව, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශ රහසිගත කංසා වගාවට ප්‍රසිද්ධ වන අතර මහ පරිමාණ කංසා හේන් විනාශ කොට ගිනි තැබීමට ආරක්ෂක අංශ කටයුතු කරයි. ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ 1961 මත්ද්‍රව්‍ය ඖෂධ ඒකීය සම්මුතිය යටතේ වෛද්‍ය ප්‍රතිකාර හා පර් යේෂණ සඳහා නිෂ්පාදනය කිරීම හැර, ළඟ තබා ගැනීම, භාවිතය, වෙළෙඳාම, බෙදාහැරීම, ආනයනය, අපනයනය සහ නිෂ්පාදනය තහනම්ය. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 08 වැනි වගන්තිය අනුව ඖෂධ සඳහා කංසා වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයා වෙත බලය පැවරී තිබේ.

මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන අනෙකුත් ද්‍රව්‍ය හා සංසන්දනය කිරීමේදී කංසාවල ඇත්තේ අවම හානිදායක තත්ත්වයකි. එමෙන්ම එහි අන්තර්ගත ඖෂධීය ගුණය අති විශාලය. එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් කංසා හා කංසා රෙසින ඉවත් කරන ලෙසට 2018 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ එහි පවතින ඖෂධීය ගුණය පිළිබඳව සලකා බැලීමෙනි. 

ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා තෙල් නිස්සාරණ හැකියාව (දේශීය හා විදේශීය වෙළෙඳපොළ) පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් අධ්‍යයනයක් කර තිබේ. ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දී ඇත්තේ  ලෙස ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විමර්ශන වෛද්‍ය නිලධාරී වෛද්‍ය මාධවී පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි තාක්ෂණ වෛද්‍ය ප්‍රදීප් තරංග විසිනි. ගුවන් හමුදාව මගින් කරන ලද මෙම අධ්‍යයනය මගින් කංසා ශාඛයෙන් ලබාගත හැකි විපුල ප්‍රයෝජන රැසක් අනාවරණ කර තිබේ.
සාමාන්‍යයෙන් කංසා උප ප්‍රෙභ්ද තුනකට බෙදා තිබේ. ඉන් පළමුවැන්න කැනබිස් සැටයිවාය. (Cannabis Sativa) (මේ වර්ගය යොදා ගැණෙනුයේ විවිධ නිෂ්පාදන සහ ඖෂධ නිෂ්පාදනය සඳහාය.) දෙවැනි වර්ගය කැනබිස් ඉන්ඩිකා . (Cannabis Indica) ය. (මෙය ඉතා ඉහළ මත්ද්‍රව්‍ය සංයුතියකින් යුතුවන අතර ඇතැම් ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ.) තෙවැනි වර්ගය කැනබිස් රෑඩෙරාලිස් . (Cannabis Ruderalis) ය. (මේවා මධ්‍යම සහ නැ‍ගෙනහිර යුරෝපා රටවල වැවෙන වල්පැළෑටියක් ලෙස සැලකේ)

කංසාවල ප්‍රධාන රසායන සංඝටක වන්නේ කැනබිනොයිඩ් (මෙය එහි අන්තර්ගත ප්‍රධාන සංඝටකය වන අතර මෙම රසායනික ප්‍රභේද 113ක් පමණ සොයාගෙන ඇත.), ටර්පීන්ස් (සුවඳ සංඝටක) හා ෆ්ලේවනොයිඩ් (රස සංඝටක)ය. කැනබිනොයිඩ්හි අන්තර්ගත රසායනික ද්‍රව්‍ය අතර THC (ටෙට්රාහයිඩ්‍රොකැනබිනොල් - මානසික ආවේග ඇතිකරන සංයෝග. මෙහි ප්‍රබලත්වය අවම කළ ප්‍රභේද ඖෂධ සෑදීම සඳහා භාවිත කෙරේ.) සහ CDB (කැනබිඩියෝල් - මානසික අවේග ඇති නොකරන ඉහළ ඖෂධ ගුණයකින් යුතු සංයෝගයකි. ලොව පුරා ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ) ප්‍රධානවේ.

ශ්‍රී ලංකාවේ සුලබ වශයෙන් දැකිය හැකි කංසා වර්ගය කැනබීස් සැටයිවාය. මෙම ශාඛයේ අවම THC ප්‍රතිශතයක් සහ ඉහළ CDB ප්‍රතිශතයක් පවතී. එහෙයින් ශ්‍රී ලංකාවේ වැවෙන කංසා පැළෑටිය ඖෂධ නිෂ්පාදනය සඳහා ඉතා යෝග්‍ය වන අතර ඉහළ අපනයනය හැකියාවක්ද පවතී. Cryogenic Extraction Processes නම් ක්‍රමවේදය මගින් පැලෑටියේ රසායනික සංයුතියට හානියක් නොවන පරිදි එහි ඇති කැනබිනොයිඩ් රසායනය වෙන් කරගත හැකිය. මේ වන විට මෙම ක්‍රමය යොදා ගනිමින් කුළුබඩුවලින් තෙල් නිස්සාරණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ අත්හදා බලමින් සිටින අතර එය කංසාවල ඇති කැනබිනොයිඩ් සංඝටක නිස්සාරණය කර ගැනීම සඳහාද භාවිත කළ හැකි බව ගුවන් හමුදා අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.

CDB හෙවත් කැනබිඩියෝල් තෛලය කාන්සාව, ආතතිය, දියවැඩියාව, පිළිකා වැනි රෝග සඳහා වන ඖෂධ නිපදවීමට හා වේදනා නාශකයක් ලෙසද භාවිත කෙරේ. මෙම තෙල් යොදාගෙන දැනට ලොව පුරා විවිධ ඖෂධවර්ග නිෂ්පාදනය කෙරේ. ලෙනක්ස් ගැස්ටවුට් සින්ඩ්‍රෝමය හෙවත් ළමා වියේ වැළඳෙන අපස්මාරය, ජානමය ආබාධයක් වන ඩ්‍රාවට් සින්ඩ්‍රෝමය සඳහා භාවිත කෙරෙන Epidiolex නමැති ඖෂධය, පිළිකා රෝගීන්ට ලබා දෙන වේදනා නාශක ඖෂධයක් වන Sativex, පිළිකා රෝගීන්ට ඇතිවන වමන තත්ත්වය සමනය සඳහා ලබා දෙන Dronabinol,  Marinol,Nabilone” Cesamet, සහ හෘද ශල්‍යකර්මවලින් පසු හා මොළයට සිදුවූ අනතුරුවලින් පස් යළි සිහිකැඳවීම සඳහා ලබා දෙන මෙන්ම මෙන්ම පිළිකා මර්දනය සඳහා ලබා දෙන Dexanabinol වැනි ඖෂධ නිපදවීම සඳහා කැනබිඩියෝල් රසායනික යොදා ගැනේ.

ලොව බොහෝ රටවල් මේ වන විට CDB රසායනික රූපලාවණ්‍ය, ඖෂධ සහ  ආහාරපාන නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ. විශාල ලෙස ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක් හෙයින් ලොව පුරා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් CDB නිෂ්පාදන කෙරෙහි යොමු වී සිටිති. ගෝලීය වශයෙන් වැඩිම කැනබිඩියොල් තෙල් වෙළෙඳපොළ ඇත්තේ එක්සත් ජනපදයේ හා කැනඩාවේය. එක්සත් රාජධානිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, ආජෙන්ටිනාව, බ්‍රසීලය, කොළොම්බියාව ඊශ්‍රාෙයලය සහ අප්‍රිකාව වැනි රටවලද එය ව්‍යාප්තව තිබේ.

2018 වසරේ ලෝක වෙළෙඳපොළේ කංසා නිෂ්පාදනය සඳහා ඇස්තමේන්තුගත වෙළෙඳපොළ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර අගයක තිබිණි. 2025 වන විට එම අගය වාර්ෂිකව 22.5% වර්ධන වේගයක් ඇතිවන බවටද ඒ වනවිට කංසා සඳහා ලෝක වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 8.6ත් 10.5ත් අතර වනු ඇතැයිද ඇස්තමේන්තු ගතකර තිබේ.

ශ්‍රී ලංකාවේ වැවෙන කැනබීස් සැටැයිවා ශාඛයේ CDB රසායනික සංයුතිය ඉතා ඉහළ වන අතර THC අගය පහළ මට්ටමක පවතින හෙයින් ගෝලීය කැනබියොල් කර්මාන්තයට විශාල දායකත්වයක් ලබාදිය හැකිය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වැනි රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් කංසා තෙල් නිස්සාරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගත හැකි  බවත්, එමගින්  ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බවත් ගුවන්හමුදාව මගින් කරන ලද අධ්‍යයනයේ සඳහන්ය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා