2020 ජුනි 27 වන සෙනසුරාදා

කටුනායක ගුවන්තොටේ අලුතින් හැදෙන ඩොලර් උල්පත

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

ශ්‍රී ලංකාව තවමත් භාවිත කරනු ලබන්නේ වසර 70ක් තරම් පැරණි ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග පද්ධතියකි. එහෙත් වර්තමානය වනවිට ලෝක ගුවන් ගමන් ක්ෂේත්‍රය විශාල දියුණුවකට පත් වී තිබේ. එම තත්ත්වයන්ට ගැලපෙන ආකාරයට නව ගුවන් ගමන් මාර්ග පද්ධතියක් සකස් කිරීම පිළිබඳව ආරංචියක් ලද විගස සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගෙන් මේ පිළිබඳව විමසුවෙමු. ඒ මහතා මේ දිනවල වඩාත් කාර්යබහුල තත්ත්වයකින් පසුවන නිසා, මෙම නව සැළසුමේ නිර්මාතෘ කටුනායක ගුවන් ගගන නාවුක සේවයේ ප්‍රධානී නිශාන් චන්දිම අබේවර්ධන මහතා හමු වී ඒ පිළිබඳව වැඩි විස්තර ලබා ගන්නා ලෙසට කළ දැනුම්දීම මත අබේවර්ධන මහතා හමු වූයෙමි.

ඒ අනුව අබේවර්ධන මහතා මේ පිළිබඳව පැයකට අධික කාලයක් කැප කරමින්, විස්තර ලබා දුන්නේය. වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් කලාපයේ ගුවන් ගමන් මාර්ග පද්ධතිය කටුනායක ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වී ඇති අතර, ගුවන් ගමන් මාර්ග කිහිපයක් පමණක් ඉන් පරිබාහිරව ව්‍යාප්ත වී පවතී. මෙයට හේතු වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍ර භූමියේ ස්ථාපිත කර ඇති (V O R) නැමැති ගගන නාවික උපකරණයයි.

මෙම උපකරණය මගින් ලෝකයේ විවිධ රටවල සිට ශ්‍රී ලංකා ගුවන් කලාපයට පැමිණෙන ගුවන් යානාවලට අවශ්‍ය පියාසැරි දත්ත එනම් එම ගුවන් යානය ගමන් ගන්නා උස, දුර ආදී වඩාත් සංවේදී, වැදගත් කරුණු, රේඩියෝ සංඥා මගින් දැන ගත හැකි වෙයි. ලොව නන්දෙසින් ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඇතුළු වන ගුවන් යානාවල මාර්ග, කටුනායක ගුවන් තොටුපොළ සමීප ඉහළ අහසේදී එකිනෙකට ළංවී විහිදී පවතී. මේ නිසා එම ගුවන් යානා පදවන ගුවන් නියමුවන් මෙන්ම, මෙම ගුවන් යානා මෙහෙය වන කටුනායක ගුවන් ගමන් පාලකවරු ද මහත් දුෂ්කරතාවලට මුහුණ පෑමට ලක් වී සිටිති.

මෙසේ විවිධ රටවල සිට පැමිණෙන ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ සමීපයෙහි දී එකිනෙක සමීප වීම වළක්වා ගැනීම සඳහා කටුනායක ගුවන් ගමන් පාලකවරුන් එම ගුවන් යානා ගුවන් ගමන් මාර්ගයෙන් දෙපසට ඈත්ව ගමන් කිරීමට සලස්වන අතර, එවිට එම ගුවන් යානා නියමිත ගමන් මාර්ගයෙන් බැහැර වීමක් සිදු වේ. එසේ නැතිනම් එම ගුවන් යානා ගමන් කරන මාර්ගයේම උස අඩු වැඩි කරමින් ගුවන් යානා එකිනෙක ගැටීම වළක්වා ගනී. මෙම සියලු ක්‍රියාමාර්ගවලදී ගුවන් යානයේ ගමන් වේගය අඩු කිරීමට සිදු වන අතර, එමගින් ගුවන් යානයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපෑම් ඇති වේ. මේ නිසා ගුවන් ගමන් පිරිවැය ඉහළ යයි.

වර්තමානයේ නිපදවා ඇති නවීනතම බෝයිං ඩ්‍රීම් ලයිනර්, බෝයිං 777, එයා බස් ඒ- 380 වැනි මගී ගුවන් යානා අඩි 29,000කට වැඩි උසකින් අහසෙහි ගමන් ගැනීමට නිපදවා ඇති අතර, එමගින් එම ගුවන් යානා උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගනී.

එමෙන්ම එම ගුවන් යානා V O R තාක්ෂණයෙන් තොරව, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ගමන් කිරීම ද සිදු කරයි. නිදසුනක් ලෙස ඇමෙරිකාවේ ඇරිසෝනා කදවුරෙන් නියමුවන් රහිතව පිටත්වන දුරස්ථ පාලක සහිත ස්ටෙල්ත් ගුවන් යානයක්, සියලු රටවල රටවල ගුවන් කලාප ඔස්සේ, එම රටවලට නොදැනී, ඇෆ්ගනිස්ථානය වෙත පැමිණ කාබුල් නුවර වීදියක ගමන් ගන්නා, ත්‍රස්තවාදීන් පිරි මෝටර් රථයක අංකය නිවැරැදිව පරීක්ෂා කර, එයට පහර දී, එය විනාශ කර, ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීමකින් තොරව, යළිත් ආපසු ඇරිසෝනා ගුවන් කඳවුර වෙත පැමිණීමට තරම් ඉහළ තාක්ෂණික දැනුමක් ලෝකයේ ගුවන් ගමන් ක්ෂේත්‍රය ලබා ගෙන තිබේ. එහිදී ඔවුන් භාවිත කරන්නේ චන්ද්‍රිකා තාක්ෂණයයි. එසේම වර්තමානයේ නිපදවා ඇති ඇතැම් ගුවන් යානාවලට ද ගුවන් නියමුවන් අවශ්‍ය නොවේ. එහෙත් මෙම යානා තුළ මගීන් ගමන් ගන්නා නිසා අත්‍යාවශ්‍ය වුවහොත් පමණක් භාවිතා කිරීමට ගුවන් නියමුවන් යොදවා ගැනෙයි.

මේ  අතර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් වර්තමානයේ ජාත්‍යන්තර ගුවන් ගමන් හැසිරවීම සඳහා නව සංකල්පයක් හඳුන්වා දී තිබේ. එය දේශසීමා බාධාවකින් තොරව ගුවන් සංචාලන සැළසුමයි.

මෙම සංකල්පයෙන් අදහස් වන්නේ දේශසීමා බාධාවලින් තොරව තම ගුවන් යානා පිටත් වූ ගුවන් තොටුපළේ සිට කිසිදු වෙනස් වීමකින්, බාධාවකින් තොරව ගමන් කර ගමනාන්තය වෙත ළඟා වීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි. මෙම ක්‍රියාවලිය තුළින් ගුවන් යානාවල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ ගොස් ගුවන් ගමන් පිරිවැය අවම වන අතර, ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකවරුන් මෙන්ම ගුවන් මගීන් ද අපහසුතාවට පත් වීම ද වැළකී යයි.

මෙම ගැටලුව වළක්වා ගැනීම සඳහා V O R යන්ත්‍රය වෙනුවට ජාත්‍යන්තර සන්නිවේදන තාක්ෂණය භාවිතා කරමින්, ශ්‍රී ලංකා ගුවන් කලාපයේ කටුනායක ගුවන් තොටුපොළ සමීපයෙහිදී සියලු ගුවන් ගමන් මාර්ග ඒකරාශි වීම වළක්වා, ශ්‍රී ලංකා ගුවන් කලාපය තුළ සමාන්තරව විහිදෙන ගුවන් ගමන් මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමේ කාර්යයට මේ වනවිට චන්දිම අබේවර්ධන මහතා තමා යටතේ පවතින දෙපාර්තමේන්තු තුනක, 230ක් වන කාර්යය මණ්ඩලය, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සමඟ අත ගසා තිබේ.

මේ වනවිටත් ලෝකයේ අනෙකුත් රටවල් මෙන් අපගේ ගුවන් කලාපයට උතුරින් පිහිටි ඉන්දියාව සහ දකුණෙන් පිහිටි ඕස්ට්‍රේලියාව ද මෙම සමාන්තර ගුවන් මාර්ග භාවිත කරමින් මෙම නව සංකල්පය ක්‍රියාවට නංවා තිබේ. මෙම නව සැලසුමෙන් ශ්‍රී ලංකා ගුවන් කලාපය ඔස්සේ ගමන් ගන්නා ගුවන් යානාවලට, තම ගුවන් යානය ගමන් ගන්නා වේගය සහ උස ප්‍රමාණය එලෙසම තබා ගනිමින්, සුරක්ෂිතව ගමන් කළ හැකිය.

එහෙත් තවදුරටත් පැරණි සම්ප්‍රදායික ගුවන් ගමන් මාර්ගයම භාවිත කළහොත්, බොහෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් කලාපය මග හැර හෝ එයට පිවිසීමෙන් වැළකී සිටීමට පියවර ගත හැකිය. දැනට දිනකට ශ්‍රී ලංකා ගුවන් තලය ඔස්සේ ගුවන් යානා 400ක් පමණ ගමන් කරන අතර, එහිදී එක් ගුවන් යානයකින් අමෙරිකානු ඩොලර් 250ක මුදලක් අය කර ගැනීම සිදු කෙරේ. වර්තමානයේ කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා මෙම ගුවන් යානා ප්‍රමාණය අඩු වී තිබෙන අතර, මෙම කාලය නව ගුවන් ගමන් මාර්ග පද්ධතියක් සැලසුම් කර ස්ථාපිත කිරීමට හොඳම කාලය බවට පත් වී තිබේ. එසේම මෙම සම්ප්‍රදායික ගුවන් ගමන් මාර්ග පද්ධතිය ඔස්සේ ගමන් ගන්නා ගුවන් යානාවල ගුවන් නියමුවන්, ඔවුන් පත් වන අපහසුතා පිළිබඳව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, ඒ නිසා අපගේ ගුවන් කලාපය අප රටට උතුරින් පිහිටි ඉන්දියාවට හෝ ඕස්ට්‍රේලියාවට භාර දීමේ අවධානමක් ද පවතී.

මෙම පසුබිම යටතේ කටුනායක ගුවන් ගගන නාවුක සේවයේ ප්‍රධානී නිශාන් චන්දිම අබේවර්ධන මහතා විසින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙත මේ සැලසුම පහදා දී විධිමත් ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඒ මහතාගේ අවසරය ද ලබාගෙන තිබේ.

මොවුන්ගේ මීළඟ පියවර, නව ගුවන් ගමන් මාර්ග පද්ධතියක් සැළසුම් කර සකස් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ දැනුම, අත්දැකීම් සහිත ආයතනයක් හෝ පුද්ගලයකු සම්බන්ධ කර ගැනීමයි. මේ සඳහා මේ වනවිට ලෝක ව්‍යාප්ත දැනුම් දීම් සිදු කිරීමට ද මොවුන් සැලසුම් කර තිබේ. මෙම නව ගුවන් ගමන් මාර්ග සැලසුම නිසා රටට දිනපතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන අතර, ශ්‍රී ලංකාවට ද තවත් වසර 50කට පමණ තාක්ෂණික  වශයෙන්  දියුණු ලෝකයේ රටවල් අතරට  පිවිස සිටීමට  ද හැකියාව පවතී.

 කටුනායක ටී.කේ.ජී. කපිල