ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් කනගාටුදායක දිනයන්ගෙන් එකක් වූ 2011 වසරේ අප්‍රේල් මස 2 වැනිදා ලෝක ක‍්‍රිකට් ‘ඔටුන්න අහිමිවීම ‘මුදලට පාවාදීමක ප‍්‍රතිඵලයක් බව හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා හෙළි කිරීමත් සමඟ ‘කොරෝනා’ අවදානමට වඩා එම සිද්ධිය අවධානය දිනා තිබේ.
2011 ලෝක කුසලානය වික්කා කියලා මම කියනවා. වගකීමෙන් කියන්නේ. ඉන්දියාවත් එක්ක තිබුණ තරගය වික්කා කියලා වගකීමෙන් කියන්නේ. මම මේකට ක‍්‍රීඩකයන් සම්බන්ධ කරගන්නේ නෑ.
අවසන් මහ තරගයේදී ක‍්‍රීඩකයන් සිවුදෙනක් වෙනස් කළා. එම වෙනස්කම්වලට අවසර ගත්තේ නෑ යනුවෙන් අලුත්ගමගේ හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා ‘වෙඩි මුරයක්’ තැබීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් පසුගිය බදාදා ක‍්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය නාවලපිටිය නිවසේදී ප‍්‍රකාශයක් ලබාගත් අතර එහිදී හිටපු අමාත්‍යවරයා මෙම සිද්ධියට සම්බන්ධයෙන් ලියකියවිලි අටක් සහ සහ පිටු හයක ප‍්‍රකාශයක් පොලීසියට ලබා දුන්නේය.
එවකට ක‍්‍රීඩා අමාත්‍ය ධුරය දැරෑ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අති භයානක හෙළිදරව්ව කිරීමට වසර නවයකට අධික කාලයක් ගතවීම, දියගම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවීම සහ මහ මැතිවරණයක් ආසන්නයේ තිබීම නිසා මෙම සිද්ධිය ක‍්‍රිකට් ලෝලීන් පඹගාලක පටලවා තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ මහතා කීර්තිමත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට යොමුකළ චෝදනාවක් පිළිගැනීමේ හැකියාව පිළිබඳව තක්සේරුවක් කළ හැකිද? යන ප‍්‍රශ්නයද මතුවේ.
මෙම චූදිත අවසන් මහ තරගයට පෙර ශ්‍රී ලංකා පිල කොළඹදී සහභාගි වූ අවසන් පූර්ව තරගයට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන් සිවුදෙනකු අවසන් මහ තරගයේදී වෙනස් කිරීම පිළිබඳව එදින සිට කතාබහක් නිර්මාණය වී තිබුණි.
ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට තිසර පෙරේරාද, පා දඟපන්දු යවන රංගන හේරත් වෙනුවට වේගපන්දු යවන නුවන් කුලසේකරද, චාමර සිල්වා වෙනුවට චාමර කපුගෙදරද, පිට දඟපන්දු යවන අජන්ත මෙන්ඩිස් වෙනුවට වේගපන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාද, අවසන් මහ තරගයට ඇතුළත් කරනු ලැබූහ.
මෙයට ක‍්‍රීඩකයන්ගේ සම්බන්ධයක් නොමැති බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණද චෝදනාව බරපතළ වීම නිසා ක‍්‍රීඩකයන්ට එයට මැදිහත්වීමට සිදුවේ. ක‍්‍රීඩකයන් නොවේ නම් එම චෝදනාව තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බාරගත යුතුය. හිටපු අමාත්‍යවරයා චෝදනාව කළ පසුදිනම ක‍්‍රීඩකයෝ ප‍්‍රතිචාර දැක්වූහ. ශ්‍රී ලංකා පිලේ නායකයා මෙන්ම වර්තමානයේ කීර්තිමත් ක‍්‍රිකට් පරිපාලකයකු වන කුමාර් සංගක්කාර එම චෝදනාව පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස පළමුවෙන්ම ඉල්ලා සිටියේය.
මේක බරපතළ චෝදනාවක් නිසා මම විශ්වාස කරනවා ඔහු සතුව ඇති සියලුම සාක්‍ෂි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට සහ දූෂණ මර්දන ඒකකයට ලබාදිය යුතුයි. එසේ වුවහොත් කිසිවකුටත් උපකල්පනවල ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ. එසේ වුවහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මේ සිද්ධියේ මුලට ගිහින් විසඳන්න හැකියාව ලැබෙනවා. එය තමයි කළ යුතුම දේ* යැයි සංගක්කාර එහිදී පැවසීය.
2011 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන, හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට මෙවැනි ප‍්‍රතිචාරයක් දැක්වීය.
මැතිවරණයක් ආසන්නයේ සර්කස් සංදර්ශනයක් ආරම්භ කර ඇති බව පේනවා. සාක්‍ෂි ඉදිරිපත් කරන්න.
එම ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දීය පිලේ ප‍්‍රබලතම පිතිකරැවන් දෙදෙනා වූ විරේන්ද්‍ර සෙවැග් (0) සහ සචින් තෙන්ඩුල්කාර් (18) ලකුණු 31ක් තුළ දවාගත් වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සැර ප‍්‍රකාශයක් අන්තර්ජාලයට මුදාහැර තිබුණි. එහිදී ලසිත් මාලිංග මෙසේ පැවසීය.
2011 වසරේ ලෝක කුසලාන අවසන් තරගය මුදලට පවාදුන්නා කියලා ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා. අවසන් මහ තරගයේ පළමු කඩුලු දෙක දවාගත් ක‍්‍රීඩකයා හැටියට මම කියන්නේ මේක ඉතාමත් සරල දෙයක්. මුදලට පවා දුන්නා කියලත් කියනවා. ඒ දේවල් දන්නවා කියලත් කියනවා. ඒක හොයන්න මහ වෙලාවක් යන්නේ නෑ යැයි මාලිංගගේ ප්‍රකාශයේ සඳහන් විය.
එවකට තේරීම් කමිටුවේ සභාපති ධුරයේ කටයුතු කළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පෙළගැස්වීමේදී පළමු කීපදෙනා අතර සිටිය යුතු අරවින්ද ද සිල්වා මහතා හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයාට අභියෝග කළේය.
මිනිසුන්ට සැමවිටම බොරැ කියලා ගැලවිලා යන්න බෑ. මේ චෝදනාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව, ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වහාම පරීක්‍ෂණයක් කරන්න ඕනේ. එහිදී අරවින්ද ද සිල්වා මහතා වැඩි දුරටත් අවධාරණ කළේ මෙම චෝදනාව ඉන්දියාව 2011 වසරේ ලෝක ශූරයන් වීම අවතක්සේරු කර ඇති බවත් මෙම චෝදනාව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට මෙන්ම ඉන්දීය ක‍්‍රීඩකයන්ටද අවමානයක් බවත්ය. ක‍්‍රීඩකයන් ආදේශ කිරීමේදී අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගත් බවට කළ චෝදනාවද එහිදී අරවින්ද ද සිල්වා මහතා පැහැදිලිව ප‍්‍රතික්ෂේප කළේය.
අවසන් මහ තරගයට පෙර ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයකට ඇදවැටුණු බව මතකය ආවර්ජනය කළහොත් සිහියට නැගෙනු ඇත. එසේම අවසන් පූර්ව තරගය පැවැති කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ තණතීරැව සහ මුම්බායි වැන්කඩේ ක‍්‍රීඩාංගණයේ තණතීරැව අතර වෙනස හේතුවෙන් වෙනස්කම් හතරක් කළාද විය හැකිය.
අරවින්ද ද සිල්වා සභාපති ධුරය දැරූ එවකට ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමල් සිල්වා, රංජිත් ප‍්‍රනාන්දු සහ ශබීර් අස්ගර් අලී යන මහත්වරැද කටයුතු කළහ. කිසිවකු තරගයක් පවාදුන්නේද නැද්ද යන්න කිසියම් පුද්ගලයකු පැවසීමෙන් පමණක් තීරණය කළ නොහැක. ඒ සඳහා නිශ්චිත තොරතුරැ පරීක්‍ෂණයකදී සාක්‍ෂිවලින් ඔප්පු විය යුතුය.
හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ හෙළිදරව්ව පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා දින දෙකක් ගතවීමට පෙර ක‍්‍රීඩා දූෂණ විමර්ශන පොලිස් ඒකකයට ලිඛිතව දැනුම් දුන්නේය. මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පසුගිය බදාදා ක‍්‍රීඩා දූෂණ විමර්ශන පොලිස් ඒකකට පැමිණිල්ලක් කිරීමට සූදානමින් සිටියේය.
ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක අර්ජුණ රණතුංග මහතා පැවසුවේ අයි.පී.එල්. තරගාවලියට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට සහභාගි වීමට අවසරදීම මෙවැනි චෝදනා එල්ල වීමට ප‍්‍රධාන හේතුව බවට පත්ව ඇති බවයි.
2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේ චෝදනා සහ අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධ කථාවක්ද ඇති බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කතාබහක් පැතිර යමින් තිබේ. චෝදනා එල්ල වන 2011 ලෝක කුසලාන තරගාවලියෙන් සනත් ජයසූරිය ඉවත් කිරීමේ මෙහෙයුමක් සංචිතය තේරීමේ සිට ක‍්‍රියාත්මක වූ බවට කථාවක් පැතිර යන අතර එවකට තේරීම් කමිටුව සංචිතය කලින් තේරෑ බවද පැවසේ.
සංචිතය තෝරන කාලය අතරතුර පැවැති දේශීය තරගාවලියකදී සනත් ජයසූරිය දස්කම් අතරට පැමිණියද ඒ වනවිට ඔහුට සංචිතයේ දොර වසා තිබූ බවද කියැවේ. එහිදී සනත් ජයසූරිය සංචිතයට ඇතුළත් නොවීමෙන් ඔහුගේ අයි.පී.එල්. තරගාවලියේ වටිනාකම දැවැන්ත ලෙස පහත වැටීමෙන් අයි.පී.එල්. සංවිධායකයන් දැවැන්ත වාසියක් ලැබූ බවද කියැවේ.
අයි.පී.එල්. තරගාවලියේ එවකට සංවිධායකු වූ මේ වනවිට දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තහනමකට ලක්ව සිටින නිලධාරියකු මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ සිටි බවත් වැඩිදුරටත් කතාබහට ලක්ව තිබේ. අදාළ පුද්ගලයා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි බවද නිල නොවන ආරංචි පැතිර යයි.
කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර වරදකරුවන් සිටී නම් දඬුවම් පැනවිය යුතු අතර එහි සත්‍යතාවක් නොමැති නම් 2019 අංක 24 දරන ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත ප‍්‍රකාරව දඬුවම් පැනවිය යුතුය.
යොහාන් භාසුර