මැලේසියාවේ සිට නැව් මඟින් මෙරටට රැගෙන ආ පාර්සල් හතළිස් පන්දහසක පමණ ලිපින මැකීගොස් තිබීම හේතුවෙන් එම පාර්සල් අදාළ අයිතිකරුවන්ට බාරදීමට නොහැකි තත්ත්වයකට තැපැල් දෙපාර්තමේන්තුව මුහුණදී සිටී. එම පාර්සල් හතළිස් පන්දහසෙන් කොටසක ජාත්‍යන්තර තැපැල් අංශයේ සේවක මඬුල්ලගේ පූර්ණ කැපවීම මත ලිපින සොයාගත්තද තවමත් ලිපින සොයා නොගත් පාර්සල් බෝහෝමයක් තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩගසා තිබේ.
පෙබරවාරි මස අවසන් සතියේ සහ මාර්තු මස මුල් සතියේදී මැලේසියාවෙන් මෙම පාර්සල් තොගය බාර අරගෙන තිබෙනවා. සාමාන්‍ය පරිදි මෙවැනි පාර්සල් ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මාර්ගයෙන් තමයි ලැබෙන්නේ. ලංකාවට ගුවනින් එන ඒ සියලු පාර්සල් දින දහයක් දොළහක් ඇතුළත අදාළ ලිපිනවලට අපි තැපෑලෙන් බෙදා අවසන් කරනවා. සාමාන්‍ය කාලවකවානුවේදී අපි සිදුකළේ එලෙසයි. නමුත් ලොවපුරා කොවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීමත් සමඟ ඒ බාරගත්තු පාර්සල් පෙරපරිදි ලංකාවට එවන්න ඔවුන්ට බැරිවුණා. අදටත් ගුවන් තැපැල් සිදුවන්නේ නැහැ. මාසයක් එකහමාරකට පසුව ඔවුන් මුහුදු මාර්ගයෙන් මෙම පාර්සල් ලංකාවට එව්වා. ඒ සඳහා සති තුනක් වැනි කාලයක්ද ගතවුණා. මෙම පාර්සල් අපිට ලැබුණේ ජූනි දහවෙනිදායි. මාස තුනකට අධික කාලයක් මේ පාර්සල් ගොඩගැහිලායි තිබුණේ.
මෙය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ පාර්සල් අඩංගු නැවක්. මෙය සාමාන්‍ය විදේශ තැපැල් පාර්සල් නැවක්. ඒ සඳහා වැයවෙන මුදල අඩුකර ගන්නට ඔවුන් යොදාගන්නේ අඩුම මිල ගණන් යටතේ තිබෙන මුද්‍රණ ක්‍රමයයි. එය සාමාන්‍ය මුද්‍රණ ක්‍රමයක්. ඉතා ඉක්මණින් ඒ ලිපින මුද්‍රණය කරපු කොටස මැකෙනවා. බොහෝවිට මෙය සති තුන හතරකින් මැකී යනවා. මෙම පාර්සල් මාස තුනක කාලයක් ගතවූ නිසා තමයි මෙහෙම මැකී ගිහින් තියෙන්නේ. යැයි මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ අධිකාරි අසලම් හසන් මහතා දේශයට අදහස් දැක්වීය.
මේ සම්බන්ධව බොහෝදෙනා විවිධ චෝදනා එල්ල කළහ. එක්තරා මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම පාර්සල් නැව් මගින් මෙරටට ගෙනඒමේදී ජලයට හසුවීමෙන් මෙහි සඳහන් ලිපින විනාශ වී ඇති බවය. ඇතැමුන් කොරෝනා හේතුවෙන් කරනු ලැබූ විෂබීජහරණයක් හේතුවෙන් මෙම විනාශය සිදුවන්නට ඇතැයි නිගමනය කළහ. නමුත් එවැනි විෂබීජහරණයක් සිදුනොකළ බවත් මෙයට හේතුව වන්නේ මුද්‍රණ කඩදාසියේ ඇති බාලකම බවත් අධිකාරි අසලම් හසන් මහතා වැඩිදුරටත් පැවසීය. මෙම මුද්‍රණ කඩදාසියේ මුද්‍රණය කළ දෑ සති තුන හතරකින් මැකී යන බව ඔහු පවසයි.
මෙම පාර්සල් නැව මඟින් මැලේසියාවේ සිට පාර්සල් හතළිස් පන්දහසක් පමණ මෙරටට ලැබී තිබිණි. මේ වනවිටත් එයින් විසි හයදහසකට අධික පාර්සල් ප්‍රමාණයක් අයිතිකරැවන් හට තැපැල් මගින් ලබාදී අවසන්ය. මේ වනවිට ඉතිරිව ඇති පාර්සල්වලද තැපැල් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර තැපැල් අංශයේ සේවක මඩුල්ලේ කැපවීම මත ලිපින සොයාගැනීමේ නිරීක්ෂණ කරමින් පවතී.
එසේත් සොයාගත නොහැකි පාර්සල් සම්බන්ධව තොරතුරු මැලේසියාවෙන් ලබාගෙන ඒවා ඉතා කඩිනමින් පාර්සල් හිමිකරුවන්ට ලබාදීමට ජාත්‍යන්තර තැපැල් අංශය කටයුතු කරයි. ඒ සඳහා යම් කාලසීමාවක් ගතවිය හැකි බව අධිකාරි අස්ලම් හසන් වැඩිදුරටත් පැවසීය.
ජාත්‍යන්තර තැපැල් අංශයේ සේවක මඬුල්ල ඉතා යුහුසුළුව මෙම කටයුත්තේ නියැලෙති. විශාල පාර්සල් මලුවල ඇති පාර්සල්වල ලිපිනයන් සොයාගැනීමට නොහැකි ලෙස මැකී ගොස් ඇති බව අපටද දැකගැනීමට හැකිවිය. නමුත් ඒ බොහෝ පාර්සල්වල සඳහන් එක් ප්‍රදේශයකින්, මාවතකින් ලිපිනය නිගමනය කළ හැකි සේවා දැනුමක් ඔවුන් සතුව ඇත. ඇතැමුන් තම ජංගම දුරකතනය මඟින් මැකීගොස් ඇති කොටස ඡායාරූපයක් ගෙන එය සියුම් ලෙස විශාල කොට බලමින් ලිපින සොයන ආකාරයත්, ඇතැමුන් විශාලක කාච (Magnifying glass) උපයෝගී කර ගනිමින් ලිපිනය සොයා යන ආකාරයත් දැකගත හැකි විය. ඒ අනුව ඔවුන් මහත් ඕනෑකමින් සොයාගත් ලිපිනය පාර්සලේ සටහන් කොට ගනිති. මෙය හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඇතැම් පාර්සල්වල ලිපින පැහැදිලි නොවුණ අතර ඇතැම් පාර්සල්වල දුරකතන අංකයේ යම් පැහැදිලිකමක් තිබුණි. ඒ අනුව එම දුරකතන අංක වෙත ඇමැතුමක් ලබාදී ලිපිනය ලබාගැනීම තවත් පිරිසකගේ කාර්යය වේ.
මෙම බොහෝ පාර්සල් ඉතා කුඩා පාර්සල්ය. එහි ඇත්තේ කුමක්දැයි සඳහන්ව නොතිබුණද එම පාර්සලේ ලිපිනය සොයාගැනීමට මේ වනවිට ජාත්‍යන්තර තැපැල් අංශය මහත් පරිශ්‍රමයක් ගනී. සාමාන්‍ය පරිදි එක් දිනකට ඔවුන් පැය අටකට දහදාහක්, පාසල් තේරීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් මේ තත්ත්වය වනවිට මෙම පාර්සල් පන්සීයක් එක දිනකට තෝරාගැන්මට පවා අද ඔවුන්ට නොහැකි වී ඇත. ඒ සියල්ලේම ලිපින මැකීගොස් තිබීම හේතුවෙනි.
මේ පුංචි අකුරු හොයන්න ගියාම හරිම අමාරුයි. පාර්සල් දහයක් පහළොවක් දිහා එක දිගට බලාගෙන ඉඳිද්දී සමහර වෙලාවට ඇස් මොකක්දෝ වෙනවා. ඔළුවට හරි බරක්... ඒත් මේ හැම පාර්සලයකටම අයිතිකරැවෙක් ඉන්නවා. ඒ නිසා ඒ අයිතිකරුවාට පාර්සලය ලබලා දෙන්න අපි පුළුවන් උපරිමයෙන්ම උත්සාහ ගන්නවා. යැයි ජාත්‍යන්තර තැපැල් අංශයේ නිලධාරියෙක් දේශයට පැවසීය.
මෙය ඔවුන්ගේ රාජකාරිය වේ. පාර්සලයේ ඇති කුඩා අකුරු කියවා ලිපිනය සොයා අදාළ අංශයන්ට යොමුකරන්නට ඔවුන්ට ගතවන්නේ ඉතා සුළු කාලයකි. නමුත් අකුරු මැකුණු ලිපිනයකින් අයිතිකරැවා සොයාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එවැනි බොහෝ පාර්සල් ඔවුන් සොයාගනු ලබන්නේ රාජකාරි පළපුරුද්ද හේතුවෙනි. ඔවුන් කෙසේ හෝ ලිපිනය සොයා අදාළ තැපැල් කාර්යාලයට බාරදුන්නද එය එක්වරම කියවාගන්නට ලියුම් බෙදන්නන්ට නොහැකිය. මේ නිසාම මහත් වෑයමකින් සොයාගත් එම ලිපිනය පාර්සලයේ නැවත සටහන් කිරීමක් කරයි. එවිට ඉතා පහසුවෙන් එම පාර්සලය අදාළ හිමිකරුවන්ට ලබාදීමට ලියුම්කරුවන්ට හැකියාව ඇත.
මිනිස්සු විවිධාකාරයි. අපිට සමහරු දුරකථන ඇමතුම් ලබලා දීලා එයාලාගේ පාර්සලය ලැබුණේ නැහැ කියලා බණිනවා. මිනිසුන්ගේ පැත්තෙනුත් ඒක සාධාරණයි. සල්ලි දීලා ආසාවෙන් ගෙන්වගත්තු පාර්සලය ලැබුණේ නැතිවුණාම දුකයි. නමුත් මේ වෙනුවෙන් අපි විඳින මහන්සි ගැන ඒ අය දන්නේ නැහැ. මේ එක පාර්සලයක ලිපිනයක් හොයාගන්න කී දෙනෙක් මහන්සි වෙනවාද...? කොහොම හරි මේ අවසන් පාර්සලය තෙක්ම අයිතිකරැවන්ට ලබලා දෙන්න අපි මහන්සි වෙනවා... යැයි ඔවුහු පැවසූහ.
අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කළ මෙවැනි පාර්සල් මසකට ලක්ෂ තුනහමාරක් පමණ තැපැල් මඟින් බෙදාහැරේ. බොහෝවිට මෙවැනි පාර්සල් වැඩිපුරම එන්නේ චීනයෙනි. එවැනි පාර්සල් ලක්ෂ තුනහමාරක් පමණ මසකට තෝරා අදාළ හිමිකරුවන්ට ලබාදෙන මෙම ජාත්‍යන්තර තැපැල් අංශයට මැලේසියාවෙන් පැමිණි මෙම පාර්සල් හතළිස් පන්දහස අදාළ අංශවලට යොමුකිරීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. නමුත් මෙවැනි මැකීගොස් ඇති ලිපින සහිත පාර්සල්වල සැබෑ හිමිකරුවන් සොයාගැනීම ඉතා අපහසුය.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ