
බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අවසන් කටයුතු පසුගිය සඳුදා සිදුවුණා. ඒ ඔහු වාසය කළ සහ දිවිනසාගත් මුම්බායි නගරයේදීය. සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය බොලිවුඩය පමණක් නොව සමස්ත ලෝකයේම සිනමා ලෝලීන් කම්පනයට පත්කළ එකකි. ඔහුගේ මරණය මේ වනවිටත් ආන්දෝලනාත්මක කලබෑගෑනියකට හේතු වී තිබෙනවා. මේ වනවිට ඒ පිළිබඳව ඉදිරිපත්ව ඇති සැකසංකා බොහෝමයකි. සුෂාන්ත්ගේ රසිකයන් රටපුරා මේ ගැන උද්ඝෝෂණ පවා පවත්වන තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ අය චෝදනා කරන්නේ බොලිවුඩයේම ඇතැම් තරු පන්තියෙ කිහිප දෙනෙකුටයි.
සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය විශාදය නමැති මානසික අසමතුලිතතාව හේතුවෙන් සිදුවූවක්ය යන කතාබහ ඇරඹුණේ ඔහු ගෙල වැල ලා මියගිය බව වාර්තාවීමත් සමගයි. එයට පෙර සතියේ ඔහුගේ කළමනාකාරවරියද සිය දිවි නසාගෙන තිබීමත් සමග මේ සිද්ධිය තවත් ගුප්ත හොලිවුඩ් කතාවක් තරමටම අබිරහස් මට්ටමකට පත්ව තිබෙනවා. දැන් රසිකයන් සහ ඔහුට සමීපව සිටි ක්ෂේත්‍රයේ සමහරු චෝදනා කරන්නේ සුෂාන්ත් සිං රාජ්පුත් මියගියේ නැත, බොලිවුඩයේම කිහිප දෙනෙකු එක් වී ඔහු මරා දැම්මාය, යනුවෙනුයි. කලා මාධ්‍ය ක්ෂේත්‍රයන්හි සුලබව දකින්නට ලැබෙන දක්ෂයන්ට තරු බවට පත්වන්නට ඇති ඉඩකඩ අසුරා දමා ඔවුන් කලකිරෙන තැනට කොන්කර අදක්ෂයන් යැයි හංවඩු ගසා ඉවත්කර දැමීමේ න්‍යාය සුෂාන්ත් සිං රාජ්පුත් සඳහාද ක්‍රියාත්මක වූ සමීකරණය බවටයි මේ අය චෝදනා කරන්නේ. ඔහුගේ අවමඟුලට පසුදා සිට රසිකයින් වීදී බැස ඇත්තේ මේ චෝදනාව නඟමිනුයි. ඒ අයගේ දෝෂාරෝපණ එල්ලවන ප්‍රධාන චරිත ලෙස සුපිරි බොලිවුඩ් තරැ වන සල්මන් ඛාන්, කරන් ජොහාර් සහ ආලියා බාත්ගේ නම් කියැවෙනවා.
සුෂාන්ත් සිං රාජ්පුත්, පූර්ව බොලිවුඩ් ඥාති සබඳතාවක් නැතිවම දස්කම් මගින් කෙටිකලකදී දුර ගමනක් යන බව පෙන්වූ ප්‍රේක්ෂක ඉල්ලුමක් තිබූ චරිතයකි. සුෂාන්ත් සිං රඟපෑ “පීකේ”, “එම් එස් දෝනී, දි අන්ටෝල්ඩ් ස්ටෝරි” සහ “චිච්චෝරේ” වැනි චිත්‍රපට ඉහළ ප්‍රෙක්ෂක ප්‍රතිචාර දිනාගත් අතර තරැවක් බවට ඔහු පත්වන ලකුණු පෙන්වූ ඒවාය. ඔහු රංගන දායකත්වය සැපයූ චිත්‍රපට අතරින් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ එම්.එස්. දෝනි - දි අන්ටෝල්ඩ් ස්ටෝරිහි සිදුකළ රංගනය දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්තේය.
සුෂාන්ත් සිං රාජ්පුත්, රඟපෑ හොඳම චිත්‍රපට අතර මුල්තැනට එන්නේ එයයි. නීරාජ් පාණ්ඩේ අධ්‍යක්ෂණය කළ එම්.එස්. දෝනි: ද අන්ටෝල්ඩ් ස්ටෝරි සුෂාන්ත්ගේ වෘත්තීය ජීවිතයේ උච්ඡතම අවස්ථාව ලෙස සැලකිය හැකිය. එම්.එස්. දෝනි එරට වඩාත්ම සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු පිතිකරණයේ දක්ෂතාව නිසා ප්‍රසිද්ධ වී ඇතිවා පමණක් නොව, ඔහුගේ අකුණු වේගයෙන් කඩුලු රකින හැකියාවන්ද තරුණ පෙළ වශීකර තිබුණි. ක්‍රිකට් ඉතිහාසයේ සියලුම අයිසීසී කුසලාන දිනාගත් එකම නායකයා ඔහුය. ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාව 2007 අයිසීසී ලෝක විස්සයි විස්ස, 2010 සහ 2016 ආසියානු කුසලාන, 2011 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය සහ 2013 අයිසීසී චැම්පියන්ස් කුසලානයද දිනාගත්තේය.
ඔහුගේ චරිතාපදානය වන MS Dhoni: The Untold Story චිත්‍රපටය, 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය දක්වා ඔහුගේ ජීවිතය හා ක්‍රිකට් දිවිය විස්තර කළේය. සාමාන්‍ය ඉන්දීය තරුණයන් මෙන්ම ක්‍රිකට් පිස්සෙකු වූ සුෂාන්ත් සිං, මුළු රටේම ආදරය දිනූ දෝනිගේ චරිතය නිරෑපනය මගින් මුළු රටේම අවධානය ආදරය හිමිකර ගත්තේය.
සුෂාන්ත් සිං රාජ්පුත් සැබැවින්ම නළුවෙක් වෙන්නට සිටි අයෙක් නොවේ. ඔහු ඉගෙනුම ලැබුවේ ඉංජිනේරුවකු වන්නටය. නමුත් ඔහුද ඒ වයසේ ඉන්දියානු කැම්පස් තරුණයන්ට පොදු ලෙස සිනමා ලොව සිහින අතර සැරිසැරූවෙකි. ඉන්දියානු තරුණ පෙළේ සිහින කුමරා ෂාරුක් ඛාන් ඔහුවද සිහින ලෝකයකට කැන්දා ගොස් තිබුණි.
සුෂාන්ත් සිං රාජ්පුත්, සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවට සඳහන් කළ ආකාරයට ඔහුට දැඩි බලපෑමක් කළ බොලිවුඩ් චිත්‍රපට අතර ෂාරැක් රඟපානා (දිල්වාලේ දුල්හානියා ලෙ ජයෙන්ගේ)
(Dilwale Dulhania Le Jayenge,) කුච් කුච් හෝතා හේ )Kuch Kuch Hota Hai,) කබී කුෂි කබී ගම් වගේ චිත්‍රපට ඔහුගේ ජීවන අභිලාෂයන් වෙනස් කර තිබුණා.
“මම ඇත්තටම නළුවෙක් වෙන්න ඕන කියලා හිතුණේ ෂාරුක් නිසා, මට අවශ්‍ය වූයේ දිල්වාලේ දුල්හානියා ලෙ ජයෙන්ගේ චිත්‍රපටයේ රාජ් වගේ වීමටයි. රාජ්ට හැමදෙයක්ම හරියට තිබුණා. ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් නිසා ඔහුට ගැහැනු ළමයින් පිස්සු වැටිලා හිටියා. නමුත් ඔහු ආදරයෙන් බැඳී සිටින විට සැබෑම ප්‍රේමවන්තයෙක්. ෂාරුක් ඛාන් මට විශාල බලපෑමක් කළ බව මා කියන්නේ ඒ නිසයි. ඔහුගේ චරිත මගේ ජීවිතයේ අභිලාෂයන් කුමන ආකාරයේ විය යුතුද යන්න ගැන අලුතෙන් නිර්වචනය කළා. ඉතින් අපේ පරම්පරාවේ සියලුදෙනාම වාගේ මාත් ෂාරුක්ට පිස්සු වැටුණා. අපි හැමෝටම ඕනෑවුණේ ෂාරුක් කෙනෙක් වෙන්න. ඒත් ඒක හීනයක්. ඒත්, මට නම් බොලිවුඩයේ පස් පාගන්නවත් වාසනාව ලැබුණා.”
ෂාරැක් නිසා සිය ජීවන අභිලාශයන් වෙනස්කර ගනිමින් මුලින්ම රූපවාහිනී දීර්ඝ ටෙලිනාට්‍ය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි ඔහු බොලිවුඩය හා එක්වුණේ 2013 වර්ෂයේදීයි. එදා සිට මුල්පෙළ චිත්‍රපට 11කට ඔහු රංගන දායකත්වය සපයා ඇති අතර අවසන් චිත්‍රපටය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබේ.
සුෂාන්ත් සිං රාජ්පුත් නිතරම නළුවෙක් ලෙස ජීවත් වූ අයෙක්. ඔහු චිත්‍රපටයක් භාරගත් විට සිය උපරිම කැපවීම ඒ වෙත ලබාදීමට අවංක වූ කෙනෙක්. ඒ නිසාම එම නිර්මාණ වඩාත් සිත්ගන්නා සුළු වුණා. වතාවක් බොලිවුඩ් විචාරකයෙක් මේ ගැන සඳහන් කළේ සුෂාන්ත්ට රොමෑන්ටික් මුහුණක් නැතත් ඔහු ප්‍රේක්ෂකයින්ගේ, විශේෂයෙන්ම රසිකාවියන්ගේ සිත් බැඳගත් රංගනයක් ඉදිරිපත් කළ බවයි.
සුෂාන්ත් සිං රාජ්පුත් රංගනයෙන් දායක වූ මුල්ම චිත්‍රපටය ලෙස සැලකෙන්නේ – කයි පෝ චේ! (2013) – Po Che! නම් චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කළේ අභිෂේක් කපූර්ය සුෂාන්ත් සිංගේ චරිතය වන ‘ඉෂාන්‘ මෙම චිත්‍රපටයේ කේන්ද්‍රිය චරිතයයි. සාමාන්‍ය තරුණයින් මෙන් වෙනස් දෙයක් කිරීමට කැමති මිතුරන් තිදෙනෙක් වටා ගෙතුනු මේ කතාවේ, ඉෂාන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. විවිධ අභිලාෂයන් සහිත ඔවුන්ගේ මිත්‍රත්වය කාලයේ පරීක්ෂණයෙන් අභියෝගයට ලක්වන අයුරු මෙහි කතා වෙනවා.
ඔහුගේ අවසන් චිත්‍රපටය එක්තරා අන්දමක දෛවෝපගත සමානත්වයක් පෙන්වා දෙන නිර්මාණයක් බව කිව හැකියි. ඒ 2019 බොලිවුඩ් සම්මානවලදී මේ චිත්‍රපටයට ලැබිය යුතු සම්මාන නොලැබුණ බවට ඇති කතාබහක් නිසයි. චිචෝරේ Chhichhore හි ඔහු සුවිශේෂ රංගනයක් ඉදිරිපත් කර තිබුණා. එහි ඔහු රඟපෑවේ විභාග පීඩනය හේතුවෙන් නැතිනම් විෂාදය හේතුවෙන් සියදිවි නසා ගැනීමට තැත්කරන තම පුතා ගැන සැලකිලිමත් වන පියෙකු ලෙසයි. අන්තිමේදි දෛවයේ සරදමක් ලෙස සුෂාන්ත් සිං සිය දිවි නසාගන්නේත් මේ කියන විෂාදය නිසා යැයි දැන් කතාබහට ලක්ව තිබෙනවා.ඒ ඔහුට ලැබිය යුතු නිසි අගැයීම නොලැබීම නිසා ඇති වූ මනස්තාපය නිසා බවයි ඔහුගේ හදිසි වියෝවෙන් කම්පනයට පත් රසිකයින් චෝදනා කරන්නෙ. මේ කතාව ඇත්තක් නම් සුෂාන්ත්සිංගේ කතාවත් බොලිවුඩ් ෆැන්ටසියක් තරම්ම අබිරහස් අපූර්වත්වයක් බවට පත්වේවි. නමුත්, මේ ඇත්ත කතාව එළිවන්නට තව කාලයක් ගතවනු ඇති.
සුගත් පි. කුලතුංගආරච්චි