
මාපිටිගම කලා ලොවට හුරුපුරුදු නමකි. එතරම් එය සමීපව ඇත්තේ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රරත්න මාපිටිගම නිර්මාණකරුවා නිසාය. ඔහුගේ ගුරුහරුකම් ලබමින් රංගනයට පිවිසි වීණාවි සුලක්ඛනා මාපිටිගම ඔහුගේ එකම දියණියයි. සිය ආදරණීය සැමියා සමඟ ගමන් ගත් මෝටර් රථය මාරක අනතුරකට ලක්වීමෙන් ඇය ගිය සඳුදා පස්වරුවේ අවාසනාවන්ත ලෙස ජීවිතයට සමු දුන්නාය.
වීණාවි මාපිටිගම මහත්මිය සිය සැමියා සමඟ වැගන්ආර් වර්ගයේ මෝටර් රථයෙන් වැල්ලවත්ත ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියාය. ඔවුන් එසේ ගමන් කරමින් සිට ඇත්තේ ඊශ්වර පාර ප්‍රදේශයේ ඥාති නිවෙසක් වෙතය. වැල්ලවත්ත දෙසට මංතීරු දෙකක් හා කොළඹ දෙසට මංතීරු දෙකක් වශයෙන් මංතීරු හතරකින් යුතු පුළුල් මාර්ගයක් ඔස්සේ පාමංකඩ, මායා මාවත පසුකරමින් ඊශ්වර පාර හන්දිය ආසන්නයට වැගන්ආර් මෝටර් රථය ළඟාවෙමින් තිබිණි. එම මාර්ගයේම විරුද්ධ දෙසින් නාරාහේන්පිට පසුකරමින් මායා මාවත දෙසට වේගයෙන් ධාවනය වූ සුබාරු වර්ගයේ මෝටර් රථයකි. එතැනින් පසුව සිදුවීම මාර්ගය පසෙක වූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණේ පසුගිය සඳුදා පස්වරු 5.20ට පමණය.
පාමංකඩ දෙස සිට තරමක වේගයෙන් එන වැගන්ආර් මෝටර් රථය ප්‍රධාන මාර්ගයේ දකුණුපස මංතීරුවෙන් ධාවනය වෙමින් තිබේ. මාර්ගය මධ්‍යයේ වන සුදු ඉරි දෙක කෙළවර තනි ඉරක් සටහන්ව ඇත්තේ දකුණුපසට හරවන ඕනෑම වාහනයක් එහි මොහොතක් රඳවා ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා රථවාහනවලට ඉඩ ලබා දීමටය. එහෙත් වැගන්ආර් රථය පැමිණි වේගයෙන්ම මාර්ගයේ දකුණුපසට හරවන බවක් පෙනී යයි. රථයේ වේගයත් සමඟ මෝටර් රියේ දකුණුපස පසුපස ටයරය තරමක් මාර්ගයට ඉහළින් එසවී ගමන්ගන්නා බවක් ද එම සී.සී.ටී.වී. දර්ශනයේ සටහන්ව තිබේ. එම දර්ශනය අනුව රථයේ හැසිරීම අනාරක්ෂිතය.
මහාමාර්ගය මධ්‍යයේ වූ තනි සුදු ඉර මගහරවා රථය හරවා ගැනීම සිදුකළ යුතු නමුත් ක්ෂණයකින් දකුණට හරවන රථයට ඉදිරියට යාමට අවස්ථාවක් නොලැබිණි. විරුද්ධ පසින් මාරාවේශයෙන් පැමිණි සුබාරු වර්ගයේ මෝටර් රථය පැමිණි වේගයෙන්ම පාරේ මැදට වන්නට තිබූ වැගන්ආර් රථය ඉදිරියේ වම්පස වේගයෙන් ගැටෙයි. ඒත් සමඟම ආපස්සට කැරකෙමින් විසිවී ගිය වැගන්ආර් රථය මාර්ගයේ මංතීරු තුනක් කෙළවරට ගොස් නැවතිණ. ඒත් සමඟ දෝංකාර නගමින් ගැටුණු සුබාරු මෝටර් රථය වැගන්ආර් රථයේ ගැටී පැමිණි වේගයෙන්ම ඉදිරියට විසිවී ගොස් මාර්ගයේ වම්පසින් තිබූ දුරකථන කුටියක් හා යකඩ ගේට්ටුවක ගැටී එයත් පෙරළා දමමින් ටික දුරක් ගොස් නතර වූයේ රථයේ කොටස් කැබලි ගණනාවකට කැඩී ගැලවී විසිවී ගොස් නතර වූ විටය. ඒත් සමඟ රථයේ රියැදුරු ඉන් බැස පාරේ වම්පස වූ බැම්මක් මත අසුන්ගන්නේ දැඩි කම්පනයකට ලක්වූ ස්වරූපයෙනි. මේ තොරතුරු සහිතව සජීවී පටිගත වීමක් සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණේ අනතුර පිළිබඳ පැහැදිලි සාක්ෂි සටහනක් ඉතිරි කරමිනි.

මාර්ගයේ දකුණුපසට හැරෙමින් තිබූ වැගන්ආර් රථය අනතුරට ලක්වීමත් සමඟ ආපස්සට වේගයෙන් විසිවී යාම පිළිබඳ සිතීමේදී ඉදිරියෙන් පැමිණි සුබාරු රථයේ අධික වේගය සිතාගත හැකිය. එම මෝටර් රථය පදවා තිබුණේ 20 හැවිරිදි තරැණයෙකි. ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පිටකොටුව ව්‍යාපාර ආයතනයක් හා විදේශවලින් ටොෆි චොකලට් වැනි රසකැවිලි ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකි.
අනතුරට පත් වැගන්ආර් රථයේ පැමිණි යුවළේ ඉදිරිපස වම් අසුනේ රැඳී සිටියේ වීණාවි සුලක්ඛනා මාපිටිගම මහත්මියයි. ඇගේ ස්වාමියා රථය පැදවූ අතර අනෙක් මෝටර් රථය ගැටී තිබුණේ ද වීණාවි මහත්මියගේ අසුන ආසන්නයෙනි. විසිවී ගිය රථය මාර්ගය කෙළවර නතර වූයේ ඉදිරි වම්පස දොර විවෘත වීමත් සමඟය. ඒ වන විටත් එහි අසුන්ගෙන සිටි වීණාවි මාපිටිගම මහත්මියගේ හිස සමඟ සිරුර දොරෙන් පසෙකට පහත් වී තිබෙනු දක්නට ලැබිණි. ඒ ආසන පටියට සිරුර තදවීමෙනි. ඒ වන විටත් නිසොල්මන්ව සිටි ඇය එහි රැස්වූ පිරිස් විසින් ඉවතට ගනු ලැබුවේ ආසන පටි කපා ඉවත් කළ පසුවය. වීණාවි සුලක්ඛනා මහත්මියට ඒ මොහොතේ සිහිය නොතිබුණු අතර ඇගේ සැමියා කෘත්‍රීම ශ්වසනය ලබා දීමට උත්සාහ කොට තිබිණි. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ආසන පටියට ගෙල හිරවන අවස්ථාවේ සුෂුම්නාවට හානි වී ඒ මොහොතේම ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවය.
අධික වේගයෙන් පැමිණ අනතුර සිදුකළ නිල් පැහැති සුබාරැ රථය පැදවූයේ 20 හැවිරිදි තරුණයෙකි. “මම දෙමටගොඩ ඉඳලා ආවේ. යාළුවා එයාගේ වාහනෙන් ආවා. මම කිරුළපනේදී ඉස්සර වුණා. යාළුවා කලර් ලයිට් එකේ නැවතුණා. මම වේගයෙන් ආවා. වැගන්ආර් එක ඈතින් එනවා දැක්කා. සිග්නල් දැක්කේ නෑ. මම වේගයෙන් ආව නිසා වැගන්ආර් එක ඉඩ දෙයි කියලා හිතුණා. මම දිගටම ගියා.” යැයි එම තරුණයා පොලීසිය හමුවේ ප්‍රකාශ කළේය.
අනතුරින් පසුව මෙම තරුණයාගේ හිතවතකු එම ස්ථානයෙන් යන අතරතුර අනතුර දැක මොහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර සෙසු පිරිස ප්‍රදේශවාසී පිරිසක් විසින් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
අනතුරින් මියගිය වීණාවි මහත්මිය තිදරු මවකි. ඇය ටෙලිනාට්‍ය හා චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වූවාය. ඇය හා සැමියා කුවේට් ගුවන් සමාගමේ සේවය කරමින් සිටියහ. ඇය පිළියන්දල ගොරකාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඇගේ පියා වන ප්‍රවීණ ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රරත්න මාපිටිගම මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
“අපේ පවුලේ මමයි බිරියයි දරුවො හතර දෙනයි සතුටින් හිටියේ. මියගිය වීණාවි මගේ දෙවැනි දියණිය. මේ අය ආගමට දහමට ලැදිව ජීවත් වුණේ. එදා පුතාගෙ ගෙදර දරුවො තියලා අමතර පන්තියකට සහභාගිවෙලා දුවයි බෑණයි හවස 3.30ට දේව පූජාවට ගිහින් තියෙනවා. ගිහින් එන ගමන් දරුවො ගන්න පුතාලාගේ ගෙදර යද්දී තමයි අනතුර වෙලා තියෙන්නේ. මට බෑණා කෝල් කරලා පණිවුඩය කිව්ව ගමන් මම රෝහලට ගියා. දුව ට්‍රොලියකට දාලා හිටියා. එතකොටත් දුව මියගිහින් කියලා දැනගත්තා. දුවගේ බෙල්ලට හානිවෙලා සුෂුම්නාව බිඳීම නිසා දුව මියගිහින් කියලා වෛද්‍යවරැ කිව්වා. මට දරාගන්න බැරි වේදනාවක ඉන්නේ.”
අනතුරින් තුවාල ලැබූ වීණාවි මහත්මියගේ සැමියා තවදුරටත් ප්‍රතිකාර ලබන අතර අනතුර සිදුකළ රථය පැදවූ තරුණයා ද රෝහල්ගතව සිටියි. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවත්ත පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි පීරිස් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
සමන්ත ප්‍රදීප් විල්තෙර