2020 ජුනි 20 වන සෙනසුරාදා

අපේ සිනමාවේ දේවදූතයා

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

අර්නස්ට් පෝරුතොට පියතුමා

ලාංකේය සිනමාවට මෙන්ම කතෝලික සිනමා සන්නිවේදන පර්ෂදයට විශාල සේවයක් කළ කතෝලික දර්ශනය දේශීය සංස්කෘතිය හා බද්ධ කළ අර්නස්ට් පෝරැතොට පියතුමා ස්වර්ගස්ත වූයේ පසුගිය 16දා අලුයමයි. මියයනවිට පියතුමෝ 89 හැවිරිදි වියේ පසුවූහ. උන්වහන්සේගේ දේහය පසුගිය 18 දා කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප්නේරි දේවස්ථානයෙදී ආදාහනය කෙරෙණි.

1931 අගේස්තු 31දා උපන් ඔහුට ලබාදුන් නම පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු විය. මාරවිල ධීවර ගමේ උන්වහන්සේගේ බාල කාලය ගත විය. පියා වූ පෝරැතොටගේ ජෝකීනු ප්‍රනාන්දු ගුරැවරයෙකි. එමෙන්ම ඔහු ලේඛකයෙක්ද විය. මව සීදූවේ මේරි මාග්‍රට් පීරිස්ය. තම ළමා කාලය ගැන පියතුමා වරෙක සිනමා විචාරක සුනිල් මිහිඳුකුල සමඟ කළ සාකච්ඡාවකදී මෙසේ පවසා සිටියෝය.

හුඟ දෙනෙක් අහනවා මොන කොලේජ් එකේද ඉගෙනගත්තෙ කියලා. ඉතින් මම බොහොම ආඩම්බරයෙන් කියනවා මම ගියේ ගමේ ඉස්කෝලෙට කියලා. මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසල. මට මතකයි තාත්තා එක අතකින් දිනමිණ පත්තරේ කියව කියවා අනෙක් අතින් මාව අල්ලගෙන ඉස්කෝලෙට එක්ක ගියා. තාත්තා තමයි මුල් ගුරුතුමා. තාත්තා පන්ති භාර ගුරැතුමාගේ අතට වේවැල දීලා කිව්වා වරදක් කළොත් මූට හොඳට තලන්න ඕනෑ කියලා.

ඉහත සඳහනින් අපට උන්වහන්සේගේ නිහතමානී ගුණය පැහැදිලි වෙයි. පුවත්පතේ අවශ්‍යතා සඳහා දුරකථනයෙන් ඇමතූ අවස්ථා කිහිපයකදීම පෝරැතොට පියතුමා කාරැණිකව අපගේ අවශ්‍යතා ඉටුකර දුන් අන්දම මට මෙහිදී සිහිපත් වෙයි. අවසානයේ මා අහන්නේ දැන් සිනමාව ගැන කටයුතු කෙසේද යන්නයි. උන්වහන්සේ එවිට චිත්‍රපට නැරඹීම, ඒවාගේ ගුණාගුණ ගැන යළිත් විස්තරයක් කරයි.

මේ අපූරු චරිතය පිළිබඳව අප මුලින්ම අදහස් විමසුවේ සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ගෙනි. ශ්‍රී ලංකාවේ පියතුමන්ලා අතර සිටි සුවිශේෂී පුද්ගලයෙක් තමයි අර්නස්ට් පෝරුතොට පියතුමා. අනෙක් පියතුමන්ලා අතර පෝරැතොට පියතුමා කැපී පෙනුණා. නමුත් අනෙක් පියතුමන්ලාට පෝරැතොට පියතුමාගේ නියම තත්ත්වය වටහා ගැනීමට ලැබුණාද යන්න මම දන්නෙ නෑ. තමන් ජීවත්ව සිටි කාලය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙක්. අපි ඒ පියතුමාගේ චරිතය බොහෝදුරට අගය කරනවා. පියතුමා වෙනස් මගක ගමන් කළ නිසා විවිධ අවස්ථාවලදී විරෝධතාත් පැන නැගුණා. නමුත් පියතුමා තමන්ගේ ගමන් මග ඔස්සේ නිර්භයව ඉදිරියට ගමන් කළ බව පැවසිය යුතුයි. ඒ මග ජනතාවත් ඉතා ප්‍රිය කළා.

චිත්‍රපට තම ජීවිතය බවට පත්කරගත් පෝරැතොට චරිතය ගැන බෙනස්ක්ට් ජෝශප් පියතුමා අදහස් දැක්වූයේ මෙලෙසයි.:

1970 දශකයේ දේශීය සිනමාව එක්තරා ආකාරයක අභිවර්ධන ගමනක යෙදෙනවා. එතැනදී සිනමා අභිවර්ධනය උදෙසා කැපවූ ස්වල්ප ආයතන අතර කතෝලික සිනමා පර්ෂදය ඉදිරියෙන් සිටියා. ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධූරය 1972 සිට 1982 දක්වා දරනු ලැබුවේ ගරු පෝරුතොට පියතුමා විසින්. උන්වහන්සේ ජාතික සිනමාවට ඉමහත් සේවයක් කළේ සැබෑ කතෝලික පියතුමකු ලෙස කලාව, ආගම, දහම සැබෑ ලෙසින්ම සංකලනය කර ගනිමින්. උන්වහන්සේ ඉතා එඩිතර ලෙස ඒ කටයුත්තට උර දුන්නා. ඒ රෝසමල් යහනාවක හිඳ නොවේ. විටින් විට ගැටුම් ඇති වුණා. නමුත් පියතුමකු ලෙස ඒවා සිතෙහි දරාගෙන ජාතික වශයෙන් කළයුතු කාර්යභාරය ඉටු කළා. ජයග්‍රහණය ලැබුවා. 1956 සිදු වූ සංස්කෘතික පෙරළිය නව මංපෙත් ඔස්සේ ඉදිරියට ගෙනයාමට මඟ පෑදූ කෙනෙක් වශයෙන්ද පෝරැතොට පියතුමා වැදගත් වෙනවා. උන්වහන්සේ තරැණ පිරිසට ජනමාධ්‍යයේ සහ සිනමාවේ වැදගත්කම පෙන්නුම් කිරීමට කටයුතු කළා. මමත් සලකන්නේ උන්වහන්සේ මගේ ගුරැවරයකු ලෙසයි.

විශේෂයෙන්ම උන්වහන්සේගේ කාලයේ සිනමාව ජාතික උරුමයක් ලෙස සලකමින් සාකච්ඡා වැඩමුළු පැවැත්වුවා. සම්මාන සාධාරණ ලෙස ලබාදුන්නා. සිනමා සාහිත්‍යයක් ගොඩනැගීමටත් කටයුතු කළා.

පූජකවරයකු වීමේ බලාපොරොත්තුවෙන් මුලින්ම බොරුල්ල ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලට 1944දී ඇතුළත් වූ පෝරැතොට පියතුමා අවසානයේ ඉගෙනගත්තේ මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලේය. ඒ 1955 සිට 1957 දක්වාය. ඔස්වල්ඩ්ගෝමස්, අබා කොස්තා, ඔස්කා අබේරත්න, ටියුඩර් වනිගසේකර, බෙනඩික්ස් ජයතිලක වැනි පූජකවරැ උන්වහන්සේගේ සමකාලීනයෝ වූහ. පසුව 1957 පෙබරවාරි 2දා පූජකවරය ලැබීමෙන් අනතුරැව දෙහියාගත, කැලණිය, කළුතර, කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කඩවත, කිරිමැටියාගාර යන මීසම්වල සේවය කළහ. පසුව 1972දී ජාතික කතෝලික සිනමා පර්ෂදයේ අධ්‍යක්ෂ තනතුරට පත්වීම මෙරට සිනමාවට මෙන්ම ඊට සම්බන්ධ වීමට උනන්දුවන තරැණ පරපුරට ද විශාල ශක්තියක් සැපයූහ.

මුල් කාලයේ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට සිනමා විචාර ලියූ උන්වහන්සේ පසුව චිත්‍රපට වාර්ෂිකය නම් විචාර පොත් පෙළ පළකළහ.

කතෝලික පල්ලියට දේශීයත්වය මුසු කිරීමට පෝරැතොට පියතුමා දැක්වූයේ විශාල දායකත්වයකි. 1967දී මීගමුව බෝලවලාන පල්ලියේ විවාහ උත්සවයකට මඟුල් බෙර සහ ගොක්කොළ සැරසිලි සහිත පෝරුවක් එක්කිරීම එහි මුල් අවස්ථාවයි. එයට සමහර සිංහල පියතුමන්ලා විරුද්ධ වුවද ෆිලික්ස් මෙවෙල් නම් ප්‍රංශ පියතුමා අවසර දුන් බව පෝරුතොට පියතුමා වරෙක පවසා තිබේ. උන්වහන්සේ හා සබැඳි අත්දැකීම් තවදුරටත් විස්තර කරන බෙනඩික්ට් ජෝශප් පියතුමා මෙසේද කීවෝය.:

මම තමයි උන්වහන්සේගේ කාර්යභාරයේ දෙවෙනියා ලෙස බර කරට ගත්තේ. මට අලුතින් හිතන්න දෙයක් තිබුණේ නෑ. උන්වහන්සේ හැම පැතිකඩකින්ම සලකා බලලා මඟ සලකුණු දක්වා තිබුණා. උන්වහන්සේ කිසිම අවස්ථාවකදී චිත්‍රපටවල මිනුම් දණ්ඩක් ලෙස ආගම යොදාගන්තේ නෑ. සම්මාන උළෙලේ තීරණවල ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඕනෑම මතවාදයකට සිනමා ජූරිය තුළ නිදහස ලබාදුන්නා. සිනමා නිර්මාණවල ජයග්‍රාහී හේතු පාඨ ලිවීමේ කලාවත් උන්වහන්සේ හඳුන්වා දුන්නා. ඉන් ගැඹුරැ දර්ශනයක් ඉස්මතු කළා. සිනමා සාහිත්‍යයට නව වචන කෝෂයක් එක් කිරීමටත් පුරෝගාමී වුණා. උන්වහන්සේගේ කලාව පිළිබඳ දැක්ම කිසිම ආගමකට ජාතියකට සීමා නොවූ අදීන දර්ශනයකින් යුක්ත වූවක්.

ලංකාවේ කතෝලිකයන් නොවන වෙනත් ආගමිකයන් අතර ප්‍රකටව සිටි පියතුමන්ලා අතලොස්ස අතරින් අර්නස්ට් පෝරැතොට පියතුමෝ ඉදිරියෙන්ම සිටියහ. කතෝලික සභාව තුළ උන්වහන්සේ ප්‍රකටව ඇත්තේ වෙනස් විදිහට සිතන පෙරළිකාර මතධාරියකු ලෙසිණි. එලෙසට නවීනත්වය නිතර ජීවිතයට ළඟා කරගත් කෙනකු ද විය.

කතෝලික සිනමා පර්ෂදය පිහිටි කොළඹ 12 මල්වත්ත පාරේ පාවුළු මධ්‍යස්ථානයේ මිනි සිනමාශාලාවේ කලකට පෙර සතිපතා ලෝකයේ කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය කළේය. OCIC සිනමා පාඨමාලාව පැවැත්වුණේ ද එහිදීය. මෙම පාඨමාලාව හැදෑරෑ තරුණයන් රාශියක් අද සිනමාවට සහ රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිස සිටිති. එහි තම දස්කම් දක්වති.

පෝරැතොට පියතුමාගේ මරණය සැලවූ පසු මුහුණුපොතේ සටහන් රාශියක් අපට දැකගැනීමට ලැබුණි. ඒ අතරින් සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම තැබූ පහත දැක්වෙන සටහන උන්වහන්සේගේ සහයෝගය ලැබුණු සියලු සිනමා නිර්මාණකරැවන්ට ගැලපේ. නැගිටින්න දඟලපු කාලේ අත දුන් අපේ සිනමාවේ දේවදූතයා.

සිනමාව පමණක් නොව සාහිත්‍යය පිළිබඳව ද පෝරුතොට පියතුමා සතු ගැඹුරැ දැක්ම උන්වහන්සේ ලියූ පහත සටහනින් පැහැදිලි වේ.

ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ආරම්භ කරපු කිතුණු සාහිත්‍යයට මහා සම්ප්‍රදායෙන් වුණු ලොකුම බලපෑම නම් එතෙක් කල් ලතින් භාෂාවෙන් භාවිත වුණු කතෝලික දර්ශනය සිංහල භාෂාවට පරිවර්තනය වීමයි. එහිදී පරණ සිංහල හා මිශ්‍ර සිංහල වෙනුවට නූතන භාෂාව ඉතා සරලව යොදා ගැනීම වැදගත් කාරණයකි. මෙහි ප්‍රතිඵලයක් වුණේ බොහෝදෙනාට අවබෝධ කරගත හැකි ආකාරයට කිතුණු සාහිත්‍යය ගොඩනැගීමයි. ඊටපසු සිංහල භාෂාව හරහා කිතුණු සාහිත්‍යයෙහි වපසරිය පුළුල් වුණා. කවියට, ගීතයට, නාට්‍යයට යන සෑම අංශයකටම එහි ආභාසය ලැබුණි. ඒ නිසා කිතුණු සාහිත්‍යය ජනතාවට සමීප සම්බන්ධතාවක් දක්වන සාහිත්‍යයක් විය. කන්තාරැ ගීතයෙහි නාද රටාව එහි හැඩරැව මගින් ගීත සාහිත්‍යයේ ඉතා සාර්ථක කාර්යභාරයක් ඉටුවිය. මර්සලින් ජයකොඩි පියනම, මෝසස් පෙරේරා පියනම, සුනිල් ශාන්ත, අයිවෝ ඩෙනිස් ඒ අතර ප්‍රධානයි.

අපි අර්නස්ට් පෝරැතොට පියතුමාට ස්වර්ග සම්පත්තිය ප්‍රාර්ථනා කරමු.

 කුසුම්සිරි විජයවර්ධන