
ආනයනික කිරිපිට මිල ඉහළ නැංවිම සඳහා අපේ රටේ කිරිපිටි සමාගම් වෙළෙඳ අමාත්‍යංශයේ සහ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් සිදුකර ඇති බව පසුගිය සතියේ ප්‍රචාරය විය. ඔවුන් කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 100කින් සහ ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 40කින් පමණ ඉහළ නැංවීමට අවශ්‍ය බව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා තිබේ. මෙයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ නිෂ්පාදන වියදම වැඩිවීම නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය පසුගිය සමයේ දිගටම අවප්‍රමාණ වීමය.
දැනට කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකැට්ටුව රුපියල් 945ක සිල්ලර මිලට අලෙවි වන අතර ග්‍රෑම් 400 පැකැට්ටුව විකුණන මිල රුපියල් 380 කි. මේ මිල රජය විසින් පනවනු ලැබ ඇති උපරිම සිල්ලර මිල වෙයි. සමාගම් ඉල්ලා ඇති සංශෝධන මිලට මේවා අලෙවි කරන්නේ නම් කිලෝවේ කිරිපිටි පැකැට්ටුව රුපියල් 1045කට මිල වෙන අතර ග්‍රෑම් 400 පැකැට්ටුව රැපියල් 420කට අලෙවි කිරීමට සිදුවේ. එසේ වුවද මෙතෙක් අප ලබාගෙන ඇති අත්දැකීම් අනුව රජය සමාගම් ඉල්ලන මිලටම කිරිපිටි මිල වැඩි නොකරන අතර යම් පමණක් හෝ වැඩි කිරිමට අවසර දීම සිදුවේ. මෙහිදී දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණීමට යම් කල් මැරීමක් සිදුවන අතර සමාගම් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම අඩු කිරීමෙන් කිරිපිටි හිඟයක් රටේ ඇතිවීම වළක්වා ගැනීම සඳහා අකැමැත්තෙන් වුවද මිල යම් ප්‍රමාණයකට වැඩිකර අලෙවි කිරීමට අනුමැතිය දීමට රජයට සිදුවෙනවා ඇත. ඒ අනුව උපකල්පනය කළ විට ඉදිරියේදී යම් ප්‍රමාණයක මිල වැඩිවීමකට යාමට බොහෝ දුරට ඉඩ තිබේ.
2018 මැයි මාසයේදීද කිරිපිටි සමාගම් රජයෙන් මෙවැනි ඉල්ලීමක් කළේය. එවකට කර්මාන්ත හා වෙළෙඳ ඇමැතිව සිටි රිෂාඩ් බදියුදීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියේද කිලෝවේ පැකැට්ටුව රුපියල් 100කින් සහ 400 පැකැට්ටුව රැපියල් 40කින් වැඩි කරන ලෙසටය. මෙහිදීද සමාගම් මිල වැඩි කිරීමට හේතු ලෙස ඉදිරිපත් කළේ ද මෙවර දැක්වූ කරුණුමය. රජය මිල වැඩි කිරීමට අදිමදි කරන විට ඔවුන් ඉල්ලා සිටියේ අවම වශයෙන් කිලෝවක මිල රුපියල් 75කින් හෝ වැඩි කිරීමට අවසර දෙන ලෙසටය. එහෙත් එම අවසරය ද නොලැබුණු තැන ඔවුන් කළේ කිරිපිටි තොග ආනයනය කිරීම නවතා දැමීමය. ඒ නිසා කූට වෙළෙඳුන් වැඩි මිලට කිරිපිටි අලෙවි කිරීමට පෙළඹුණු අතර රටේ කිරිපිටි හිඟයක් ද ඇතිවිය. අනතුරැව මෙම තත්ත්වයට විසඳුමක් වශයෙන් කිලෝවක මිල රුපියල් 50කින් ඉහළ නැංවීමට එම රජයට සිදුවිය.
මෙලෙස අවුරුදු 2 – 3කට වරක් මිල පිළිබඳ දෙපාර්ශ්වය අතර හෙට්ටු කිරීමක් සිදුව මිල යම් ප්‍රමාණයකට හෝ ඉහළ දැමීම සිදු කෙරේ. කෙසේ වුවද රට තුළ කිරිපිටි ආනයනය කර බෙදාහැරීම විදේශීය වෙළෙඳ සමාගම් කිහිපයක අතට පත්ව තිබේ. ඔවුන් සිදු කරන්නේ කතිපයාධීකාරී වෙළෙඳාමක් වන අතර එයින් අදහස් වන්නේ සමාගම් අතර සමාන මිලක් පැවතීමය. මෙම මිලට යම් බලපෑමක් ඇතිකිරීමට දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම්වලට හැකි නමුත් මෙතෙක් ඔවුන් සිදුකර ඇත්තේ විදේශ සමාගම් මිල වැඩි කළ වහාම තම නිෂ්පාදන ද එම මිලට සමානුපාතිකව වැඩි කිරීමය. මේ හේතුව නිසා මිල වැඩි කිරීමට උඩගෙඩි දීමක් විනා විවෘත වෙළෙඳපොළේ මිල තරගයක් ඇතිවන්නේ නැත.
ජාතික කිරි මණ්ඩලය පැවැති සමයේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ ද, එහි අනුප්‍රාප්තික ලෙස බිහිවූ මිල්කෝ සමාගමේ මෙතෙක් පැවැති අයහපත් කළමනාකරණය නිසා එහි වැඩ කටයුතු පසුගාමී වී තිබෙන අතර පසුගිය සමයේ එම කම්හල ක්‍රියාත්මක වූයේ සතියකට දින 2 – 3 වැනි සුළු කාලයකි. එහි නිෂ්පාදන ධාරිතාව අවම වීම නිසා ගොවියන් සපයන කිරි පාවිච්චි කළ නොහැකිව කාණු පල්ලේ ගිය කතා පසුගිය කාලයේ අසන්නට ලැබුණි. කෙසේ වුවද මේ වන විට නව සභාපති යටතේ එය යම් ප්‍රගතියක් කරා ගමන් කරන බව දැනගන්නට ලැබුණද, විදේශ සමාගම්වලට තරගයක් දීමට කවදා හැකිවේදැයි කිව නොහැකිය.
පෝෂණවේදීන් පවසන්නේ ශ්‍රී ලංකාවට ආනයනය කරන විදේශ කිරිපිටිවල පෝෂ්‍ය පදාර්ථවල ඌණතාවක් තිබෙන බවය. එළකිරිවල ඇති සංඝටකවලින් සියයට 28 – 30 අතර ප්‍රමාණයක් පමණක් ආනයනික කිරිපිටිවල අඩංගු අතර එම රටවල් වැඩි පෝෂ්‍ය පදාර්ථ ඉවත් කරගෙන කෘත්‍රීම රසකාරක යොදා කිරිපිටි නිෂ්පාදනය කරන බව පෝෂණවේදීහු පවසති. පසුගියදා මෙම ගැටලුව පිළිබඳ යම් පමණක ජනමතයක් ප්‍රකාශ වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගිකයන්ට ඔස්ට්‍රේලියාවේ කිරිපිටි නිෂ්පාදනාගාර නැරඹීමට සමාගම් විසින් ආරාධනය කළ බවද අපට මතකය.
කිරිපිටි මිල ඉහළ දැමීමට යම් පියවරක් ගෙන ඇතිදැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමා දන්නා පමණින් එවැනි තීරණයක් ගෙන නැති බවය. කිරිපිටි සමාගම් කළ ඉල්ලීම් සලකා බලා යම් තීරණයක් ගන්නේ නම් එය සිදු කරනුයේ අමාත්‍යංශය මගින් යැයි ඔහු කියයි. පාරිභෝගික සේවා අධිකාරිය කරනුයේ එම තීරණ ක්‍රියාත්මක කිරීම බව ඔහු පෙන්වා දෙයි. තවමත් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔහු කියයි.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ රජය විදේශ කිරිපිටි සමාගම්වලට මිල ඉහළ නැංවීමට මේ අවස්ථාවේදී අවසර ලබා දුනහොත් එය පාරිභෝගිකයාට සහ දේශීය කර්මාන්තයට කරන විශාල අසාධාරණයක් බවය. එයට හේතුව පසුගිය යහපාලන රජය විදේශ සමාගම්වලට කිරිපිටි කිලෝවකට රුපියල් 223ක බදු සහනයක් දී තිබීමය. එම ආණ්ඩුව කිලෝවකට රැපියල් 225ක්ව පැවැති විශේෂ පාරිභෝගික බද්ද රුපියල් 2 දක්වා පහළ හෙළා තිබේ. මෙයින් රටට රුපියල් මිලියන 10,000ක බදු ආදායම අහිමි වී ඇති බව ඔහු කියයි. විදේශ කිරිපිටි සමාගම්වලට ප්‍රදානය කළ බදු සහනය ඔවුන් භුක්ති විඳින නිසා මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල සහ රුපියල අවප්‍රමාණ වීම හේතු ලෙස දක්වා මිල වැඩි කිරීමට ඉල්ලීම විශාල අසාධාරණයක් බව ඔහු කියයි.
පසුගිය ආණ්ඩුව සමයේ විදේශ සමාගම්වලට කිරිපිටි මිල වැඩි කිරීමට අවස්ථාව දුන්නත් දේශීය ආයතනවලට එම අවසරය නොදීම නිසා එම සමාගම් දැඩි අසීරැතාවයකට පත් වුණා. එසේ වුවද මේ රජය බලයට පත්වූ පසු මිල ඉහළ නැංවීමට ඉඩ දීම අගය කළ යුතුයි.
විදේශීය කිරිපිටි සමාගම් විශාල ප්‍රචාරණ වියදමක් දරනවා. එසේම එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ලොකු වැටුප් සහ දීමනා ගෙවනවා. විශාල වශයෙන් යටිතල පහසුකම්වලට වැය කරනවා. ඒවා අඩු කළා නම් රුපියලක්වත් මිල වැඩි කරන්නට අවශ්‍ය නැහැ.
මා නම් විශ්වාස කරන්නේ සමාගම්වල ඉල්ලුම පරිදි විටින් විට මිල වැඩි කරනවා වෙනුවට දේශීය නිස්පාදනය මත පදනම් වූ මිල සූත්‍රයක් කිරිපිටි සඳහා වලංගු කළ යුතු බවයි. එවිට සමාගම්වලට මෙන්ම පාරිභෝගිකයාට ද යම් පමණක සහනයක් සැලසෙන බව මගේ අදහසයි.
2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් අනාවරණය වන්නේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) කිරි නිෂ්පාදනය 2018 දී වාර්තා වූ ලීටර් මිලියන 14.7ක සිට 2019 වසරේදී ලීටර් මිලියන 13.1 දක්වා පහළ ගොස් ඇති බවයි. 2019 වසරේදී මිල්කෝ (පෞද්ගලික) සමාගම විසින් එකතු කරන ලද කිරි ප්‍රමාණය ලීටර් මිලියන 66 දක්වා සියයට 27.5කින් පහළ ගොස් ඇති අතර කිරි ලීටරයක් නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන සාමාන්‍ය පිරිවැය පෙර වර්ෂයේ වූ රුපියල් 47.67ට සාපේක්ෂව 2019 දී ලීටරයකට රුපියල් 51.11 දක්වා සියයට 7.2කින් ඉහළ ගොස් ඇති බව කියයි. එසේම කිරි ලීටරයක් සඳහා ගොවිපළ මිලේ සාමාන්‍ය රුපියල් 69.96 දක්වා සියයට 4.6කින් ඉහළ යාම නිසා ගොවියන්ට ලැබෙන ලාභාංශ අඩුව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කිරි නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ මෙසේ ද පවසා තිබේ.
එක්සත් ජනපද ඩොලර් මිලියන 293.5 ක්වූ කිරිපිටි ආනයනය මෙට්‍රික් ටොන් 93.749 දක්වා සියයට 5.3කින් පහළ ගියේය. දේශීය කිරි නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 38 ක් පමණක් සපුරාලීමට ප්‍රමාණවත් වන බැවින් දේශීය නිෂ්පාදන ක්‍රියාවලීන්ට ඇති බාධක සඳහා පිළියම් යොදමින් දේශීය නිෂ්පාදනය තවදුරටත් දිරිගැන්වීම අවශ්‍ය වෙයි. එයට අමතරව ජාත්‍යන්තර වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යන අවස්ථාවලදී කුඩා ප්‍රමාණයේ කිරි නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනය වැදගත් වන බැවින් එවැනි නිෂ්පාදකයන් දිරිමත් කිරීම කළ යුතුය. (73 පිට)
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පවසා ඇත්තේ එක්සත් ජනපද ඩොලර් මිලියන 293.5 ක්වූ කිරිපිටි ආනයනය මෙට්‍රික් ටොන් 93,749 දක්වා සියයට 5.3කින් පහළ ගොස් ඇති බවය. ඇත්තවශයෙන්ම ආනයනය පහළ බැසීම සුබවාදී ලකුණක් වන අතර එය තවදුරටත් වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතු වෙයි. එවැනි වාතාවරණයක් මත දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු නමුත් සිදුව ඇත්තේ පහළ යාමකි. 2018 වසරේදී ලීටර් මිලියන 477.4 ක් අපේ රටේ නිපදවුවද 2019 වන විට ලීටර් මිලියන 447.6 ක් දක්වා සියයට 6.3කින් පහළ බැස ඇති බව අනාවරණය වෙයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ 2019 වසරේදී දෙනුන්ට වැළඳුණු කුර හා මුඛ රෝග නිසා නිෂ්පාදන ශක්තිය පහළ බැසීමය. මේ කාලයේ කිරි එළදෙනුන් සංඛ්‍යාව 323490 දක්වා සියයට 1.8කින්ද, මී දෙනුන් සංඛ්‍යාව 91740 දක්වා සියයට 4.6කින්ද පහළ වැටී ඇති අතර කිරි ලීටරයක නිෂ්පාදන ගොවිපොළ මිල රැපියල් 69.96 දක්වා සියයට 4.6කින් ඉහළ යාමද දේශීය නිෂ්පාදනයට අහිතකර ලෙස බලපා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවාට පසුව මිල්කෝ ආයතනයට අලුතින් පත්වූ සභාපති ලසන්ත වික්‍රමසිංහ තමා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කටයුතු කරමින් සිටින බව පවසයි. ඔහු පවසන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන රටකිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළට තමා අතගසා ඇති බවය. නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ නංවා ඉල්ලුම වැඩිකර ගැනීමට කටයුතු කර ඇති අතර නිෂ්පාදනය ද ඉහළට ගෙන ඒමට කටයුතු කරමින් පවතී. තමා තනතුරට පත්වන විට දිනකට කිරි ලීටර් 120,000 ක් පමණක් එකතු වුවද පසුගිය මාස 3 තුළ කිරි ලීටර් මිලියන 15 ක් ලබාගැනීමට සමත් වූ බව ඔහු කියයි. එසේම අලුත් නිෂ්පාදනාගාරයක් බඩල්ගම පිහිටුවීමට කටයුතු කර ඇති අතර, හයිලන්ඩ් යෝගට් කෝප්පයක මිල රුපියල් 5කින් වැඩිකර එම මුදල කිරිගොවියාට බෝනස් ලෙස ලබා දීමට ද කටයුතු කර තිබේ. ආයතනයට කිරිගොවියාට ස්ථාවර මිලක් ලබාදීම වෙනුවෙන් රජයෙන් රුපියල් කෝටි 500 ක් ලැබිය යුතු අතර ආයතනය දියුණු කිරීම සඳහා අවම වශයෙන් කෝටි 150 හෝ ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.
යසවර්ධන රුද්රිගූ