
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට වසරකුත් මාස දෙකක් ගතවී තිබේ. පිපිරීම් මාලාවෙන් මියගිය දෙස් විදෙස් මිනිසුන් දෙසිය හැත්තෑ අටදෙනාටත් තුවාල ලැබූ පන්සිය අනූහතර දෙනාටත් තවම සාධාරණයක් ඉටු වී නැත. නමුත් පොලීසියේ නීති කොට්ඨාසය වාර්තා කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ 80%කට වඩා අවසන් බවය. ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගත්තේය. මෙතෙක් අනාවරණය නොවුණු කරැණු රාශියක් පාස්කු ඉරැදින ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දැන් හෙළිවෙමින් තිබේ.
ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් හෂීම් හා සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයෙක් ඉකුත් දා විශේෂ කාර්ය බලකාය විසින් පුල්මුඩේ ජිනාපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. මොහු පාස්කු ප්‍රහාරයට සහාය දුන් බවට සැකපිට සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මෙරටට රුගෙන ආ අබුසාලි අබුබකර් නැමැත්තා සමඟද සබඳතා පවත්වා තිබෙන බව අනාවරණය වී තිබේ.
පසුගිය දින කිහිපයේදී පාස්කු ඉරැදින ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට මෙම පරීක්ෂණ බාරව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ යන පිරිස් මෙතෙක් වාර්තා නොවුණු කරුණු රැසක් හෙළිකර තිබේ.
සහරාන් හෂීම් සමඟ කාත්තන්කුඩි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය පිහිටවූයේ අබ්දුල් රාසික් නැමැත්තෙකි. ඔහු තවමත් එකී අන්තවාදී අදහස් සමඟ කටයුතු කරන බව ඥානසාර හිමියන් කොමිසම හමුවේ කියා ඇත. එසේම මෙම පුද්ගලයා සිංහල හා දමිළ පුරවැසියන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට කටයුතු කරන බවද දන්වා ඇත. එම සංවිධානයේ නායකයන් නවයක් ශාඛා අනූවක් ලියාපදිංචි සාමාජිකයන් දසදහසක් සහ ලියාපදිංචි නොවූ සාමාජිකයන් පනස්දහසක් පමණ සිටින බවද හෙළිකර තිබේ.
දැනට ලංකාවේ මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් ක්‍රියාත්මක බවත් ඊජිප්තුවේ යුසුප් අල් කාදර් නම් අන්තවාදී නායකයාගේ ඉගැන්වීම් මෙරට පාසල්වල 9, 12 හා 13 ශ්‍රේණිවල ඉස්ලාම් ගුරැ මාර්ගෝපදේශ පොතට ඇතුළත් කොට තිබෙන බවක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කොට පවසා ඇත. එසේම ඉස්ලාම් මතවාද දරණ ප්‍රධාන පෙළේ කණ්ඩායම් 4ක් මෙරට සිටින අතර ඔවුන් තබ්ලික් ජමාත් මතවාදය වහබ් මතවාදය සලෆි මතවාදය සහ ජාතේ ඉස්ලාම් හෙවත් ඉහ්වාහ් මුස්ලිම් වශයෙන් පෙනී සිටින බවද හඳුන්ගෙන ඇතැයි කීහ. මේ අතර දරුණුම මතවාදයක් උසුලන්නේ ඉහ්වාහ් මුස්ලිම් කණ්ඩායමය. දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරීම මුස්ලිම් දහමට කරන සුවිශාලම පරිත්‍යාගය බව ඔවුහු අදහති.
ලොව රටවල් 20ක් තහනම් කර ඇති වහබ්වාදය අන්තර්ගත කිතාබුත් තවුහිද් ග්‍රන්ථය ලංකාවේ තවමත් අලෙවි කෙරෙන බවද තහවුරැ වී තිබේ. හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ මෙරට අන්තවාදී ඉගැන්වීම් කරන අරාබි ජාත්‍යන්තර පාසල් රුසක් ක්‍රියාත්මක බවද ප්‍රකාශ වී ඇත.
මේ අතර බස්නාහිර පළාත බාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අප්‍රේල් 21 පාස්කු දිනයේදී කතෝලික පල්ලි සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල වන බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ප්‍රහාරයට පෙර දින සවස හා පසුදින උදේත් දැනුම් දුන් බව පැවසීය. එසේම එම තොරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සිරිවර්ධන මහතා විසින් ද ඔහුට දන්වා තිබූ බව කීය. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් මේ තොරතුර හිටපු පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන අතර නන්දන මුණසිංහ මහතා මගින් නියෝජ්‍ය පොලිස්පතිවරැන් වන නිමල් පෙරේරා, ලලිත් පතිනායක, වසන්ත වික්‍රමසිංහ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ යන අයට දැනුම් දුන් බවද පැවසීය.
එසේම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් නන්දන මුණසිංහ මහතාට පවසා ඇත්තේ මෙතෝදිස්ත පල්ලි සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන ලෙසත් කොල්ලුපිටිය මෙතෝදිස්ත පල්ලියට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවත්ය.
පාස්කු පරීක්ෂණ බාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කළ පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා පසුගිය 10 වැනිදා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කරැණු රැසක් අනාවරණය කළේය. එහිදී ප්‍රකාශ කර තිබුණේ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ අන්තවාදී ත්‍රස්තයන් විසින් පවත්වාගෙන ගිය අවි පුහුණු කඳවුරේ සිට අත්අඩංගුවට ගත් 19 හා 21 වයස්වල තරුණයන් දෙදෙනා නිදහස් කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හා සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ යන අය ඔහුට බලපෑම් සිදුකළ බවය.
වනාතවිල්ලුව කඳවුරේ තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසුව සැකකරැවන් සිවුදෙනකුගෙන් ප්‍රශ්න කර තිබිණ. එහිදී ඔවුන් කියා ඇත්තේ 2020 වසරේදී රටම ලේ විලක් කිරීමට නියමිත බවය. මෙම සැකකරැවන් අබුබකර් යන පෙළපත් නාමය භාවිතා කරන අය බවට හඳුනාගත් බවද කියා තිබිණ. ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා තවදුරටත් හෙළිකර තිබුණේ මෙවැනි පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිලධාරීන් හා පහසුකම් නොමැති බවත් ඒ බව ශානි අබේසේකර මහතාට අවස්ථා කිහිපයකදී පැවසුවද පලක් නොවූ බවත්ය.
වනාතවිල්ලුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වූ විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක සුරේෂ් ප්‍රියංකර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ පෙර කී සැකකරැවන් හතර දෙනා දෙස තමා සෘජු ලෙස බලා සිටි බවය.
සාමාන්‍ය සැකකරැවන් අත්අඩංගුවට පත්වූ විට අසන්නට ලැබෙන බය හා කැළඹිලි ගතිය ඔවුන්ගෙන් නොදුටු බවත් අන්තවාදීන් විසින් ඔවුන්ගේ මොළ සෝදන්නට ඇති බවට සිතුණු බවත් කීය.
මේ අතර කොමිසමේදී හෙළි වූ බවත් කරුණක් වන්නේ සහරාන් හෂීම්ගේ සොහොයුරා වූ රිල්වාන් හෂීම් යන අය බෝම්බයක් අත්හදා බැලීමේදී වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව සිට ඇති බවය. ඒ ව්‍යාජ නමක් ලෙස එම්. අයි. ශාහිඩ් නම භාවිතයෙනි. මේ බව අනාවරණය වී තිබුණේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරැ ඒකකයේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය එම්. කේ. චන්දන මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මොහොතේදීය.
මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කර ඇත්තේ එම්. ඒ. සාදික් නැමැත්තෙකි. ඔහු මාවනැල්ල බුදුපිළිම සිද්ධියේ ප්‍රධාන සැකකරැ වූ සාදික් අබ්දුල්ලා බවට අනාවරණය වී තිබේ. මේ අතර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබුණේ පෙර කී රෝගී පුද්ගලයා පරික්ෂාවට ලක්කළ සියලු වෛද්‍යවරුන් සිය සටහන අවසානයේ ප්‍රශ්නාර්ථයක් දමා තිබෙනු දුටු බවය.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ අප්‍රේල් 11 වැනිදා ඔහුට ලිපි කට්ටලයක් ලැබුණු බවය. එය බුද්ධි තොරතුරක් නොවන අවිනිශ්චිත වාර්තාවක් බවද එම තොරතුර ත්‍රස්ත විමර්ශන ඒකකයට හෝ ලැබී නොතිබූ බවද අජිත් රෝහණ මහතා විසින් ප්‍රකාශ කෙරිණ.
තවදුරටත් පැවැත්වෙන පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම මෙතෙක් හෙළි නොවුණු තොරතුරැ රාශියක් ඉදිරියේදී ද අනාවරණය කෙරෙනු ඇත.
සමන්ත ප්‍රදීප් විල්තෙර